‘‘අතුරුදහන්වූවන්ගේ කාර්යාල’’ පනතේ රණවිරුවන් පාවාදෙන මාරක වගන්ති 10ක්
ශ‍්‍රී ලංකාවේ එක`ගතාවයෙන් ශ‍්‍රී
ලංකාවට විරුද්ධව ජිනිවා මානව හිමිකම් සමුළුවට ඇමෙරිකාව විසින් ඉදිරිපත් කළ යෝජනාව
අනුව යුද සමයේදී අතුරුදහන් වූවන් ලෙස සැලකෙන පිරිස් පිළිබඳ සොයා බැලීම සඳහා
කාර්යාලයක් පිහිටුවීමට ආණ්ඩුව එක`ගවී ඇත. යෝජනාව දෙස බැලූ බැල්මට පෙනෙන්නේ එය ඉතා අහිංසක
ඉල්ලීමක් බවයි. එනම් අතුරුදහන් වූ පුද්ගලයින් ජීවත්ව සිටීද යන්න සොයා බලා ඔවුන්
ජීවත්ව නොසිටීනම් ඊට අදාළ සහතිකයක් නිකුත් කිරීමයි. ඒ මගින් ඥාතීන්ට මනෝවිද්‍යාත්මකව
තම මතක පරිජ්ජේදය වසා දමා සිත හදා ගැනීමට ඉඩ ලැබේ. නමුත් ඒ ටෝජන් අශ්වයා තුළ ස`ගවා ඇති ආයුධ
මොනවාදැයි පැහැදිලි වන්නේ පනත් කොටුම්පත ගැසට් කිරිමෙන් පසුවය. අතුරුදහන් වූවන්
පිළිබඳ සොය බැලීම සඳහා කාර්යාලයක් පිහිටුවන බව පනතේ හැදින්වීමේ සඳහන් වේ. එහෙත්
එහි අඩංගු වන බරපතල වගන්ති වලින් ඉතා පැහැදිලිව පෙනෙන්නේ අතුරු දහන් වූවන් පිළිබඳ
පරික්‍ෂණ පවත්වනු ලබන කොමිසමක් ස්ථාපනය කෙරෙන බවය.
අතුරුදහන් වූවන්
පිළිබඳ සොය බලා ඔවුනට සහතික නිකතු කිරීමේ උවමනාව ඉටුකරගැනීම සඳහා නම් මේ වන විට ක‍්‍රියාත්මක
වෙමින් පවතින් ජනාධිපති කොමිසම හෙවත් පරණගම විනිසුරුතුමාගේ නම නිසා ‘‘පරණගම කොමිසම’’
ලෙසත් හැ`දින්වෙන ආයතනයට
හැකියාව ඇත. එම කොමිසමට මේ වන විට පැමිණිලි 20,000කට ආසන්න ප‍්‍රමාණයක් ලැබී තිබුණි. නමුත්
පිටරටවලට පැනගොස් තිබෙන දහස් ගණනක් කොටි ත‍්‍රස්තවාදී සැකකරුවන් සහ සාමාන්‍ය
සිවිල් පුරවැසියන් පිළිබඳ කිසිදු තොරතුරක් නිළ වශයෙන් ලබාදීමට අදාළ රටවල් ක‍්‍රියා
කළේ නැත. එම කොමිසමේ ක‍්‍රියාකරකම් සහ බලඅධිකාරිය වැඩි කිරීම සඳහා අවශ්‍යතාවයක්
තිබුනානම් ඒ සඳහා කළ යුතු වූයේ ජනාධිපතිතුමා විසින් නියෝගයක් නිකුත් කිරීම පමණි.
නමුත් ඒ වෙනුවට නව පනතකින් ආයතනයක් පිහිටුවීමේ සැබෑ අරමුණ කුමක්දැයි එමගින්
අපෙක්ෂිත ක‍්‍රියාකාරීත්වය සහ එම ආයතන ව්‍යුහයේ අරමුණ ඉතා කූඨ සහ දුෂ්ඨ එකක් බව
දැනටමත් විවිධ විද්වතුන් විසින් ප‍්‍රකාශයට පත්කොට ඇත. එවැනි පනතක් ශ‍්‍රීලංකාවේ
නීති කෙටුම්පත් අංශ වලින් නිර්මාණය කළායැයි සිතිය නොහැකි බව එම විද්වතුන්ගේ
අදහසයි. පසුවගිය වසර 12ක කාලය තුළ
පනත් කෙටුම්පත් ත‍්‍රිත්වයක් සකස් කිරිමේ කමිටුවල නායකත්වය දරා ඇති මෙම
ලියුම්කරුගේ දැනුම අනුවද එම චෝදනාව ඉතා සාධාරණ බව කිව හැක. එම පනතේ ප‍්‍රතිපාදන
සැබෑ ලෙසම ක‍්‍රියාත්මක වීම ආරම්භවන විට එය ජාත්‍යන්තර, දේශිය හෝ හයිබි‍්‍රඞ් යන කුමන ආකාරයක යුද
අපරාධ අධිකරණයකටත් වඩා භයානක බව පෙනෙනු ඇත. එම ඊනියා කාර්යාලය අර්ධ අධිකරණ බලය
සහිත කොමිසමකි. ඒ මගින් ආරක්‍ෂක හමුදා සාමාජිකයින් යම් අතුරුදහන් වීමකට අදාළ
චූදිතයින් ලෙස නම් කොට චෝදනා එල්ල කිරීමට සහ ඒවා සනාත කිරීම සඳහා බොරු සාක්ෂි
ඉදිරිපත් කොට ඔවුන් වරදකරුවන් බවට පත්කළ හැක.
එම ක‍්‍රියාවලිය තුළම
ඇතුළත් කොට ඇති ඉහත භයානක ප‍්‍රතිපාදන ප‍්‍රධාන වශයෙන් 10ක් හදුනාගත හැක. ඉන් පළමු වැන්න මෙම අර්ධ
අධිකරණ බලය සහිත කොමිසමේ ක‍්‍රියාකාරීත්වයට සාක්ෂි ආඥාපනත සහ තොරතුරු දැනගැනීමේ
අයිතිය පනත අදාල නොවීමයි. ඒ අනුව නිර්නාමික සාක්ෂි කරුවන්ගේ සාක්ෂි මත ආරක්‍ෂක
හමුදා සාමාජිකයින් වරද කරුවන් කිරිමේ හැකියාව ඇත. එම කාර්යාලයේ ක‍්‍රියාකාරීත්වයට
අදාළ තොරතුරු කිසිවක් අධිකරණය මගින් හෝ ලබාගැනීමේ ඉඩක් නැත. එවැනි තත්වයක් තුළ
සිදුවන දෙවන භයානක ක‍්‍රියාවලිය වන්නේ දැනටමත් විවිධ රාජ්‍ය නොවන සංවිධාන විසින්
තොග වශයෙන් එකතුකොට ඇති බොරු සාක්ෂි ඉදිරිපත් කරමින් ඕනෑම ආරක්‍ෂක හමුදා සාමාජිකයකුට හෝ කණ්ඩායමකට
විරුද්ධව චෝදනා එල්ල කිරීමට හැකියාව ලැබීමයි. ඒ අනුව චෝදනා එල්ල කිරීම සඳහා
දැනටමත් නම් වශයෙන් හදුනාගෙන ඇති යුද්ධය වෙනුවෙන් ජීවිත පරිත‍්‍රාගයෙන් දායක වූ
රණවිරුවන්ට විරුද්ධව එවැනි බොරු සාක්ෂි තොග වශයෙන් ඉදිරිපත් වන බවට කිසිදු සැකයක්
නැත. එහිදී මේවන විට දරුස්මාන් වාර්තාව මගින් සහ ඊට පසුව මානව හිමිකම් කොමසාරිස්
විසින් පත්කළ විමර්ශන කණ්ඩායම විසින් ඉදිරිපත් කළ වාර්තාව ආශ‍්‍රත චෝදනා සහ ඊට
අදාළ සාක්ෂි ද නැවත වටයකින් තෝරාගත් රණවිරුවන්ට එරෙහිව ඉදිරිපත් කෙරෙන බවට කිසිදු
සැකයක් නැත. එම ක‍්‍රියාවලිය තුළ දක්නට ලැබෙන තුන්වන භයානක ප‍්‍රතිපාදනය වන්නේ
අදාල කොමිසමට පත්වන සාමාජිකයින් හත්දෙනාම අවශ්‍යනම් විදේශීය රාජ්‍ය නොවන සංවිධාන
වලින් තෝරාගැනීමේ ඉඩකඩ ලබාදීමයි. ඒ අනුව නඩු අහන්නේ හොරාගෙන් අම්මා විසින් බවට
ද සැකයක් නැත.
මෙම පනතේ අඩුංගු හතරවන
භයානක ප‍්‍රතිපාදනය වන්නේ ඊනියා කාර්යාල විසින් ඍජුව අපරාධ හෝ සිවිල් නඩු පැවරීමක්
සිදු නොකරන බවට ලබාදී ඇති ව්‍යාජ ආරක්‍ෂාවයි. එමගින් රණවිරුවන් පාවාදීමට සූදානම්
වන පුද්ගලයින්ට බියකින් තොරව පාපෝච්චාරණය කිරීමට අවස්ථාව සලසා ඇත. නඩු පැවරීමක්
සිදු නොකරණ බවට එක් පැත්තකින් පෙන්වන නමුත් සත්‍ය වශයෙන්ම සිදුවන්නේ ඊට සමාන ක‍්‍රියාවලියකි.
ඒ අනුව පනතේ අඩංගු පස්වන භයානක ප‍්‍රතිපාදනය වන්නේ බොරු සාක්ෂි මත වරදකරුවන් වන
රණවිරුවන් පිළිබඳ විස්තර නීතිපතිවරයාට සහ අදාල ආරක්‍ෂක හමුදාවල ප‍්‍රදානීන්නට නිළ
වශයෙන් වාර්තා කිරීමයි. එම ප‍්‍රතිපාදනයේ අරමුණ පැහැදිලි වන්නේ ඊනියා ශ‍්‍රී ලංකා
ඇමෙරිකානු යෝජනාවේ අටවැනි වගන්තිය දෙස බලන විටය. ඊට අනුව චෝදනා එල්ලවන රණවිරුවන්ට
එරෙහිවන අධිකරණ ක‍්‍රියාවලියකින් තොරව පරිපාලන වශයෙන් ද`ඩුවම් කළ යුතුය. ඒ අනුව මෙම පනත යටතේ බොරු
සාක්ෂි මත චෝදනාවට ලක්වන රණවිරුවන්ට එම චෝදනා සැකයකින් තොරව ඔප්පු නොවූවද සේවයෙන්
පහ කිරිමේ අනතුරට මුහුණ දීමට සිදුවේ. සේවයෙන් පහ කිරීමට තරම් චෝදනාව බරපතල
නොවන්නේනම් උසස්වීම් අහිමි වන අතර විදේශ සංචාර අධ්‍යාපන වැඩසටහන්වලට සහභාගීවිමේ
අවස්ථාව සහ විදේශ සාම හමුදා සේවය සදහා වන අවස්ථාවද අහිමිවනු ඇත. මනව හිමිකම්
කොමසාරිස්ගේ 2015 වාර්තාව
මගින් සහ 2016 වාචික
වාර්තාව මගින් එසේ චෝදනා එල්ලවන ආරක්‍ෂක හමුදා නිලදාරින්ට එරෙහිව පරිපාලන වශයෙන් ද`ඩුවම් කළ යුතු බවට
විශේෂයෙන් අවධාරණය කොට ඇත. ඒ අනුව ඔවුන්ගේ සැබෑ අරමුණ කුමක්දැයි ඒ මගින් ඉතා
හොදින් පැහැදිළිවේ. එම තත්වය තුළ මෙම කාර්යාලය රණවිරුවන්ටඑරෙහිව චෝදනා නිෂ්පදනය
කෙරෙන ‘‘චෝදනා
කර්මාන්ත ශාලාවක්’’ වන බවට කිසිදු
සැකයක් නැත.
මෙම ක‍්‍රියාවලියේ
පවතින සයවැනි භයානක ප‍්‍රතිපාදනය වන්නේ විදේශ අරමුදල් ඍජුව ලබාගැනීමට බලය
පැවරීමයි. විදේශ අධාර හෙවත් මූල්‍ය උපංග සැම විටම යොදා ගන්නේ අදාල ක‍්‍රියාවලිය
පාලනය කිරිමේ මෙවලමක් ලෙසය. ඒ මගින් අතුරුදහන්වූවන්ගේ කාර්යාලය සම්පුර්ණයෙන්ම මානව
හිමිකම් කොමසාරිස්ගේ සහ බටහිර අරමුදල් මත යැපෙන ඊනීයා මානව හිමිකම් විකුණගෙන කන
රාජ්‍ය නොවන සංවිධාන වල අත්අඩංගුවට පත්වනු ඇත.
සත්වන භයානක ප‍්‍රතිපාදනය සයවැන්නේම දිගුවකි. ඊට අනුව එම කාර්යාලයේ ක‍්‍රියාකාරකම්
පවත්වාගෙන යාම සඳහා විවිධ විදේශී රාජ්‍ය නොවන සංවිධාන සම`ග ගිවිසුම් වලට එළබීමේ හැකියාව ඇත. ඒ මගින්
පනතේ වෙනත් ප‍්‍රතිපාදන මගින් ලබාදී ඇති භයානක බලතල බරපතල ලෙස රණවිරුවන්ට එරෙහිව
යොදා ගැනීමේ හැකියාව ලැබේ. උදාහරණයක් ලෙස ඒ මගින් හමුදාකඳවුරු පරික්‍ෂා කිරීම,
රණවිරුවන්ගේ පෞද්ගලික
නිවාස පරික්‍ෂ කිරීම, ඊනියා සමූහ
මිනීවලවල් උත්සවාකාරයෙන් ගොඩ දැමීම වැනි ක‍්‍රියාකාරකම් සඳහා විදේශීය රාජ්‍ය නොවන
සංවිධාන වල සේවකයින් යෙදවීමේ හැකියාව ලැබේ.
ඊනියා අතුරුදහන් වූවන්
ගැන සොයා බලන කාර්යාලයේ ක‍්‍රියාවලිය ජාත්‍යන්තර මැදිහත්වීමක් සහ ඔවුන්ගේ
පිළිගැනීම ලැබෙන ආකාරයට සිදුකෙරෙන බැවින් රණවිරුවන්ට එරෙහිව එල්ල කෙරෙන චෝදනා වලට
ජාත්‍යන්තරව සුජාත භාවයක් ලැබේ. ඊට අමතරව ජීනිවා යෝජනාවේ එක`ගතාවය අනුවද එසේ චෝදනා
ලබන පිරිස් ජාත්‍යන්තර අධිකරණ බලයට යටත්වනු ඇත. එනම් අතුරුදහන් වූවන්ගේ කාර්යාලයේ
චෝදචනා වලට ලක්වූ රණවිරුවෙකුට එම චෝදනා සහ ඊට අදාල සාක්ෂි මත ජාත්‍යන්තර
අධිකරණයකදී නඩු පලැවරීමේ හැකියාව ලැබේ. මානව හිමිකම් මහකොමසාරිස් තම 2015 වාර්තාව මගින් ලෝකයේ
අනෙක් රාජ්‍යවලින් ඉල්ලීම් කොට ඇත්තේ චෝදානාවලට ලක්වන රණවිරුවන්ට ඒ ඒ රටවලදී යුද
අපරාධ චෝදනා එල්ලකොට දඩුවම් කරන ලෙසය. ඒ අනුව චෝදනා වලට ලක්වන රණවිරුවන්ට විදේශිය
රටකදී අත්වන ඉරණම පැහැදිලිවේ. මෙම දුෂ්ඨ ප‍්‍රතිපාදනය පනතේ අඩංගු අටවන භයානක ප‍්‍රතිපාදනය
ලෙස හඳුනාගත හැක.
පනතේ අඩංගුවන නම වැනි
භයානක ප‍්‍රතිපාදනය වන්නේ රණවිරුවන් හෝ රජයේ වෙනත් නිලධාරීන් ඊනියා කාර්යාලය හෙවත්
කොමිසම විසින් තොරතුරු ලබාදෙන ලෙසට කරනු ලබන නියෝග පැහැර හරිනු ලැබුවහොත් එය පනත
යටතේ වරදක් බවට පත්කිරීමය. ඒ අනුව ඔවුන් අභියාචනා අධිකරණයට අපහාසයක් කළවුන්සේ සලකා
ඔවුනට විරුද්ධව අභියාචනා අධිකරණය ඉදිරියේ නඩු පැවරෙනු ඇත. එමගින් රණවිරුවන්ට
එරෙහිව සිදුකෙරෙන බියවැද්දීමේ තරම සහ එම කාර්යාලයේ නිලධාරීන් තමාවෙත ආරෝපනය
කරගන්නා වූ බලයේ තරම පැහැදිලි වේ.
පනතේ තවත් භයානක මෙන්ම
හාස්‍ය ජනක ප‍්‍රතිපාදනයක් ඇත. එම දසවැනි ප‍්‍රතිපාදනයේ දුෂ්ඨ අරමුණ වන්නේ ව්‍යාජ
චෝදනා සහ සාක්ෂිවලට අමතරව මූලික වශයෙන් ව්‍යාජ පැමිණිලි ඉදිරිපත් කිරීමට ඉඩ
සැලසීමයි. මෙම කාර්යාලයට යම් අතුරුදහන් වූවෙකු පිළිබඳ පැමිණිලි කරන විට ඔහු සත්‍ය
වශයෙන්ම වෙනත් නමකින් ජීවත්වනවා විය හැක. එවැනි උදාහරණ රාශියක් පසුගිය කාලයේදී
වාර්තා විය. පරණගම කොමිසමට පවා බොරු පැමිණිලි ඉදිරිපත් කරමින් වෙනත් නම් වලින්
ජීවත්වන පිරිස් පිළිබඳ සොයා බැලීමට විදේශීය රටවල සහායෝගය ලැබුණේ නැත. මෙම පනත යටතේ
ද එම සහයෝගය නොලැබෙන බවට සැකයක් නැත. ඊට අමතරව ඊනියා අතුරුදහන් වූවන් ජීවත්වන බවට
සාක්ෂි ලැබුණහොත් ඔහු ජීවත් වන බව ප‍්‍රකාශ කිරීමට අදාල පුද්ගලයාගේ කැමැත්ත අවශ්‍යවේ.
එවැනි තත්වයකදී අදාල පැමිණිල්ල සහ චෝදනාව ඉවත් කෙරෙන බවටද සහතිකයක් නැත. එමගින්
ඊනියා අතුරුදහන් වූවන්ට වෙනත්නම් වලින් ජීවත්වන අතර රණවිරුවන්ට එරෙහිව චෝදනා එල්ල
කිරීමට සහ ඔහුගේ හෝ ඇයගේ නියම නමට අදාලව රජයෙන් වන්දි ලබාගැනීමේ හැකියාවද ලැබේ. ඊට
අමතරව මෙම පනත ක‍්‍රියාත්මක වන්නේ උතුරු නැගෙනහිර පළාත් වල අතුරුදහන් වූවන්ට පමණක්
වීමද විශේෂත්වයකි. එය සැබවින්ම වි්‍යවස්ථා විරෝධි ප‍්‍රතිපාදනයකි. රටේ එක් ජනතාවකට
හෝ ප‍්‍රදේශයකට පමණක් විශේෂිතව සැලකීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත්
කිරීමට අවස්ථාව අහිමි වන්නේ ඒකාබද්ධ විපක්‍ෂය පනත පළමුවර කියවීම පිළිබඳ අවධානයෙන්
නොසිටීම නිසාය. රට පුරා අතුරුදහන්වීම් වලින් විශේෂයෙන්ම බටලන්ද වදකාගාරය තුළ සිදුවූ අතුරුදහන්වීම් වලින් විශාලම
වන්දියක් ගෙවා ඇති ජනතා විමුක්ති පෙරමුණද රණවිරුවන් පාවාදෙන මෙම ව්‍යවස්ථා විරෝධී
පනතට එරෙහිව වචනයක්වත් කතා කරන්නේ නැත. ඔවුන් අද දේශපාලන වශයෙන් පල්ලම් බැස සිටින
ස්ථානයද ඒ මගින් පැහැදිලි වේ.
පනතේ ක‍්‍රියාකාරීත්වය
ආරම්භවීමට පෙර ආණ්ඩුව විසින් කරන ලද පෙර ක‍්‍රියා දෙකක් නිසාද ආණ්ඩුවේ දුස්ඨ අරමුණ
පැහැදිලිවේ. පළමු වැන්න මෙතෙක් ක‍්‍රියාත්මක වූ අතුරුදහන්වූවන් පිළිබඳ සොයාබලන
ජනාධිපති කොමිසම අතහිටුවීමයි. දෙවැන්න ඊට ලැබූ පැමිණිලි 20.000ක ප‍්‍රමාණයට අභියෝග
කරමින් එය හැටපන්දහසක් වන බවට විදේශ අමාත්‍යාංශය විසින් ප‍්‍රකාශයක් කිරීමය. ඒ
මගින් රණවිරුවන්ට එරෙහිව එල්ලකරන බොරු චෝදනා ප‍්‍රමාණය වැඩි කිරීමට දොරක් විවෘත
වේ. මෙවැනි අරුම පුදුම ගුණ මකු සහ දුෂ්ඨ
පනතක් ලෝකයේ කිසිදු රටක රජයක් විසින් එම රටේ හමුදාවට එරෙහිව සම්මතකොට නැති බවට නම්
කිසිදු සැකයක් නැත. වසර 30ක යුද්ධයේ
ශාපයෙන් රට ගලවාගත් සහ අවසන් සටනේදී ලක්‍ෂ
3ක අහිංසක ප‍්‍රාණ
ඇපකරුවන් මුදා ගැනීම සඳහා තම ජීවිත පරිත‍්‍ර්‍යාකළ හමුදාවකට එසේ කිරීම මහ පොළව
නුහුලන අපරාධයකි. මෙම පනතට අත් ඔසවන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුනට රට වෙනුවෙන්
දිවිදුන් සහ අතපය අහිමිකරගත් 60,000කට ආසන්න රණවිරුවන්ගේ ඥාතීන්ගේ සාපයෙන් ගැලවිය නොහැක.
සැබැ ලෙසම අතුරුදහන් වූවන් ගැන සොය බැලීම සඳහා මෙවැනි දුෂ්ඨ පනතක් අවශ්‍ය වන්නේ
නැත. දැනට ක‍්‍රියාත්මකවන ජනාධිපති කොමිසමට අවශ්‍ය බලය සහ පහසුකම් ලබාදීම මගින් ඒ
අරමුණ ඉතා හොදින් ඉටුකරගත හැක.
වෛද්‍ය
කේ.එම්. වසන්ත බණ්ඩාර
Comments
Post a Comment