ව්‍යවස්ථා සිංදුව සුසර කිරීම හෙවත් 13ූ දෙන 20 වැනි සංශෝධනයට 2/3 ගැනීම


      ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය විසින් පත්කළ උපකමිටු 06ක් වාර්තා එළිදරව් වීමත් ඊට එරෙහිව මතු වූ විරෝධතා හමුවේ ආණ්ඩුව පියවරක් පසු පසට තබා ඇත. ඒ අනුව ව්‍යවස්ථා සභාවේදී ආරම්භවීමට වියමිතව තිබූ අනුකමිටු වාර්තා 06 පිළිබඳ විවාදය දින නියමක් නොමැතිව කල්දමා ඇත. එම විවාදය එසේ කල්දමන්නේ විරෝධතා සමනය කර ගැනීමෙන් හෝ වෙනත් පැත්තකට යොමු කිරිමෙන් පසුව අදාළ ක‍්‍රියාවලිය වෙනත් ආකාරයකට නැවත ආරම්භ කිරීම සඳහා බව පැහැදිලිව පෙනේ. නමුත් ආණ්ඩුව ඒ පිළිබඳව කිසිදු ප‍්‍රකාශයක් සිදුකොට නොමැති අතර ජාතික ආණ්ඩුවේ මෛත‍්‍රී පාර්ශවයේ ඇමතිවරු හරහා ව්‍යවස්ථාව පිළිබඳ වෙනස් මතයක් ඉදිරිපත් කොට ඇත. එනම් ජනමත විචාරණයකින් තොරව සම්මත කළ හැකි වෙනස්කම් සඳහා පමණක් ඔවුන් පෙනි සිටින බවය. එසේම 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක කිරීමට තමා එක`ගබව ඔවුන් විසින් ප‍්‍රකාශකොට ඇත. ඒ අතර 13ූහෙවත් 13ට යමක් එකතු කිරීමට තමා සූදානම් බව ලක්‍ෂමන් කිරි ඇල්ල ඇමතිවරයා පවසා ඇත.

                ඒ සියළු පෙළගැසීම් විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ ආණ්ඩුවේ රනිල් සහ මෛතී‍්‍ර යන යන පාර්ශ්ව දෙකම එක`ගතාවයෙන් ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ  එම නව මතය එළිදක්වන බවය. නමුත් ඔවුන් දෙපාර්ශ්වයම මහජනයාට ලබාදුන් ප‍්‍රධාන පොරොන්දු දෙක වන විධායක ජානාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සහ මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම පිළිබඳ කිසිදු සඳහනක් දක්නට නැත. ඒ අනුව පැන නගින ප‍්‍රධාන ප‍්‍රශ්නය වන්නේ අනු කමිටු වාර්තා 06 මගින් ඉදිරිපත් කළ සහ මහජන අදහස් කමිටුවෙන් ඉදිරිපත් කළ යෝජනා වලට සිදුවන්නේ කුමක්ද යන්නයි. ඒවා සියල්ල ඉවත දමා ජනමතවිචාරණයක් නොමැතිව ලබාදිය හැකි 13 වැනි සංශෝධනයට එහා යන යම් බලතල ප‍්‍රමාණයක් පමණක් ලබාදෙනවාද? එසේ නොමැතිව එම යෝජනාවලින් අති බහුතරය ජනමත විචාරණයකින් තොරව විශේෂ බහුතරයෙන් පමණක් ලබාදිය හැකිද? එවිට සුමන්තිරන් මන්ත‍්‍රීවරයා කියන බුද්ධාගමට මුල්තැනදීම හෝ ඒකීයභාවය යන ‘‘ලේබල්’’ වලට කුමක් සිදුවේද? එම විසදුම බාර ගැනීමට බෙදුම්වාදී බලවේග එක`ග වේද? ඒ ආකාරයට ප‍්‍රශ්න මාලාවක් මහජන මනසේ පැන නැගීම වැළැක්විය නොහැක. නමුත් විරෝධතා වලට බියවී ආණ්ඩුව විසින් ව්‍යවස්ථා සම්පාදක ක‍්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අකුලාගනු ඇතැයි යමෙක් සිතනවානම් එය බලවත් මුලාවකි. එම තාවකාලික පසුබැසීම ආණ්ඩුවේ මූලික උපායමාර්ගික සැලසුමේ කොටසක් ලෙස තේරුම් ගැනීම වඩා ප‍්‍රඥාගෝචර වේ. 

                එවැනි තත්වයක් තුළ අවසානයේදී සිදුවිය හැක්කේ  කුමක්දැයි පැහැදිලි කරන්නේ කෙසේද? එදා හයෙන් පහක අති බහුතර බලයක් සහිතව පවා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට ඉන්දු ලංකා ගිවිසුම අනුව 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ හැකි වූයේ මළ කදන් මතින් පැනයමින් සහ ලේ ගංගාවක පිහිනා යමිනි. ඉන්පසුව එම ජනාධිපතිවරයා හෝ වෙනත් කිසිදු ජනාධිපතිවරයෙක් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක කිරීමට ධෛර්මත් වූයේ නැත. විශේෂයෙන්ම පොලිස්, ඉඩම් සහ මහ ඇමති අරමුදල් ප‍්‍රඥප්ති සම්මත කිරීමට හෝ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම සඳහා ජනමත විචාරණ පැවැත්වීමට ඒ කිසිවෙක්ට දේශපාලන අවකාශයක් ලැබුණේ නැත. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය ‘‘පැකේජය’’ නමින් 13 වැනි සංශෝධනය ඉක්මවා යන බලතල පළාත් සභා වලට ලබාදීමට යෝජනා කළේය. එහෙත් ඇයට ඒ වන විට ව්‍යවස්ථාගතව තිබූ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක කිරීමට එරෙහිව පැවැති බාධක ඉවත් කිරීමට දේශපාලන ධෙ_ර්යක් තිබුණේ නැත. ඊට හේතුව ජාතික බලවේග විසින් බෙදුම්වාදී බලය බෙදීමට එරෙහිව ගොඩනගා තිබූ මතවාදය බහුතර සිංහල සමාජය තුළ ඉතා ප‍්‍රභල ලෙස බලපැවැත්වීමය.

                එවැනි තත්වයක් තුළ මහින්ද රාජපක්‍ෂ රජය පහසුවෙන් පරාජය කළත් 13 වැනි සංශෝධනය මගින් ව්‍යවස්ථාගත කළ ෆෙඩරල් හෙවත් සන්ධිය බලතල වලට වඩා බොහෝ දුර යන කොන්ෆෙඩරල් හෙවත් සහසන්ධිය බලතල සහිත ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමේ  අමාරුව බෙදුමාවදීන් නොදන්නවා යැයි විශ්වාස කළ හැකිද? මහින්ද රාජපක්‍ෂ බලයේ සිටින තුරු 13 වැනි සංශෝදනයෙන් එහාට යාම කෙසේ වෙතත් ඊට එරෙහිව පවතින බාධක ඉවත්කර ගැනීමටවත් හැකියාවක් නොමැති බව බෙදුම්වාදී බලවේග ඉතා හොදින් දැනි සිටියේය. වර්තමාන ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලියේ පියා ලෙස සැලකෙන එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න මහතා 2014දී ලන්ඩනයේදී අමිර්තලිංගම් අනුස්මරණ දේශනය පවත්වමින් කියා සිටියේ කුමක්ද? ඔහු ඉතා පැහැදිලිව එහිදී සඳහන් කරන්නේ මහින්ද රාජපක්‍ෂ බලයේ සිටින තුරු ‘‘දෙමළ ජනතාවගේ ප‍්‍රශ්නය’’ විසදීම සඳහා ව්‍යවස්ථාමය විසදුමක් ඉදිරිපත්කළ නොහැකි බවයි. ඒ අනුව මහින්ද රාජපක්‍ෂ මහතා බලයෙන් පහ කිරීමට දෙස් විදෙස් බෙදුම්වාදී බලවේග එක පෙළකට සිට ගන්නේ වර්තමානයේ දියත්කොට ඇති නව ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය කෙසේ හෝ ආරම්භ කිරීම සඳහාමය.

               
                එම මහා පින්තුරය තුළ රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් බෙදුම්වාදී රිලේ බැටන්එක 2004දී ඔහු නතර  කළ තැනින් ඉදිරියට රැුගෙන දුවනු ඇතැයි බෙදුම්වාදීන් තුළ විශ්වාසයක් ගොඩනැගීම පුදුමයට කාරණයක් නොවේ. ඒ මගින් බෙදුම්වාදී මාර්ග සිතියම ඔස්සේ 13 වැනි සංශෝධනයෙන් ඔබ්බට වැඩි දුරක් ගමන් කළ හැකි බවට විවාදයක් නැත. නව ව්‍යවස්ථාවක් මගින් 13 වැනි සංශෝධනය ඉක්මවා යන  බරපතළ බෙදුම්වාදී ප‍්‍රතිපාදන නීතිගත කර ගැනීම මගින් ඒකපාර්ශ්වීයව වෙනම රාජ්‍යයක් ප‍්‍රකාශයට පත්කිරීම දක්වා යන ගමන පහසුවේ. එනම් ඒ ඔස්සේ නීත්‍යානුකූලව යන දුර වැඩිවේ. එවිට නීත්‍යානුකූල නොවන ලෙස ගැටුම් සහිතව යා යුතු දුර සහ ඒ මගින් ඇතිවන දුෂ්කරතාව අඩුවේ. නමුත් බහුතර සිංහල ජනතාවගේ කැමැත්ත සහ බෙදුම්වාදීන්ගේ උවමනාව අතර පවතින හිදැස පිරවීම පහසු බව ඉතිහාසය පුරාම ඔප්පු වී ඇත.

                ඒ අනුව නව ව්‍යවස්ථාවක් යනු බෝනස්එක්ක මිස මූලික අරමුණ ලෙස සලකා කටයුතු කිරීමට තරම් බෙදුම්වාදී න්‍යායාචාර්යවරුන් අඳබාලයින් නොවේ. සහ - සන්ධියනව ව්‍යවස්ථාවනැමැති බෝනස් එකලබාගැනීම සඳහා දැඩි ලෙස උත්සාහකරන අතර 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක කිරීම මගින් ලැබෙන සන්ධිය බලතලනැමැති වැටුප් වැඩිවීමකෙසේ හෝ ලබාගැනීම ඔවුන්ගේ මූලික සහ අවම අපෙක්ෂාව බවට සැකයක් නැත.  13 වැනි සංශෝධනයෙන් ඔබ්බට යම් දුරක් යාම යනු එම වැටුප් වර්ධකයතවදුරටත් වැඩිකර ගැනීමකි. ඒ නිසා තත්වයන් අනුව බෝනස් අතහැර වැටුප් වැඩිවීම පමණක් හෝ ලබාගැනීම සඳහා බෙදුම්වාදීන් යථාර්තවාදීව ක‍්‍රියාකරනු ඇත. දැන් නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයා කියන්නේ මෛත‍්‍රී පාර්ශ්වය එම වැටුප් වර්ධකය ලබාදීමට සුදානම් බවය. එනම් ඒ සඳහා අවශවන  පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරය ලබාදීමට ඔවුන් සූදානම් බවය. එවැනි තත්වයක් තුළ බෝනස් ඉල්ලමින් රණ්ඩුකළහොත් විශේෂ බහුතරය අහිමි වී සමස්ථය පරාජය විය හැති බව බෙදුම්වාදී බලවේග දැනටමත් තේරුම්ගෙන ඇති බවට සැකයක් නැත. නමුත් ඔවුන් තම ඉල්ලීම් සාදාරනීකරණය කිරීම සඳහා බෝනස් ඉල්ලීමේ ‘‘රන්ඩුව’’ දිගටම පවත්වාගෙන යනු ඇත.

                ඒකාබද්ධ විපක්‍ෂය කල්මැරීමසඳහා හෝ තොරතුරු දැනගැනීමේ නාමයෙන් ව්‍යවස්ථා සම්පාදක සභාව තුළ තොරම්බල් වෙමින් සිටියදී ජාතික බලවේග ආණ්ඩුවට පමණක් නොව ඒකාබද්ධ විපක්ෂයට එරෙහිවද යුද්ධ ප‍්‍රකාශ කළේය. ඉදිරියේදී එම විරෝධතා තවදුරටත් ඉහළ යාම තුළ ඒකාබද්ධ විපක්‍ෂයටද නව ව්‍යවස්ථාව මෙන්ම අදාළ ක‍්‍රියාවලියද සමස්ථයෙන් ප‍්‍රතික්ෂේප කිරීමට සිදුවන බව බෙදුම්වාදීන්ට රහසක් නෙවේ. එනම් ඒකාබද්ද විපක්ෂයට බෙදුම්වාදී ලක්ෂණ පිටතට පෙනෙන නව ව්‍යවස්ථා කෙටුම්පතක් බලහත්කාරයෙන් ගිල්ලවීමට උත්සාහ කළහොත් එය සමස්ථයක් ලෙස ප‍්‍රතික්ෂේප වීමට වැඩි ඉඩක් ඇත. එවැන් තත්වයක් තුළ ඒකාබද්ධ විපක්ෂය ව්‍යවස්ථා සම්පාදන සභාවෙන් එළියට පැමිණ බෙදුම්වාදී නව ව්‍යවස්ථාවට එරෙහිව යුද්ධ ප‍්‍රකාශ කළහොත් මහජනයා ඒ වටා පෙළගැසෙනු ඇත. එවිට මෛත‍්‍රී පාර්ශ්වයේ යම් පිරිසක් ජනමතයට හිස නමනු ඇත. එහි අවසාන ප‍්‍රතිඵලය වන්නේ පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරය ආණ්ඩුවට අහිමි වීමය. මහින්ද රාජපක්‍ෂයන් ව්‍යවස්ථා විරෝධි ජන බලවේගයට සක‍්‍රියව නායකත්වය ලබාදුනහොත් තත්වය වඩා බරපතළ වේ. ඒ සියල්ල කෙළවර වන්නේ නව ව්‍යවස්ථාවේ පරාජයෙන් පමණක් නොව ආණ්ඩුවේද පරාජයෙනි.

                ඒ අනුව ඒකාබද්ධ විපක්‍ෂයෙන් සහ මෛත‍්‍රී පාර්ශ්වයේ සිටින මහජන මතයට සංවේදී මන්ත‍්‍රිවරුන්ගෙන් මස් රාත්තලම ඉල්ලා සිටියහොත් බොදුම්වාදීන්ට සියල්ල අහිමි වනු ඇත. එවිට නව ආණ්ඩුවක් යටතේ සිංහල දෙමළ මුස්ලිම් සියලූ ජනතාවට සමානව සලකන සහ බෙදුම්වාදීන්ට කප්පම් නොදෙන නව ව්‍යවස්ථා කෙටුම්පතක් ඊළ`ග මැතිවරණයට ඉදිරිපත් කිරීමට මහින්ද පාර්ශ්වයට අවකාශය ලැබේ. එය වැළැක්විය හැක්කේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක කිරීමට සහ හැකිනම් යම් දුරක් ඉන් ඔබ්බට යා හැකි සංශෝධන ප‍්‍රමාණයකට විශේෂ බහුතරය ලබාගැනීම මගිනි. රනිල් විරෝධය නැමැති සිනි තවරා ඒ විෂ මාත‍්‍රාව ඒකාබද්ධ විපක්‍ෂයට කෙසේ වෙතත් මෛත‍්‍රී පාර්ශ්වයේ මන්ත‍්‍රිවරුන්ට ගිල්ලවිය හැකි බව බෙදුම්වාදී න්‍යායාචාර්යවරු ඉතා හොඳින් දනිති.      

                ඉහත සඳහන් ආකාරයට බෙදුම්වාදී බලවේග වල අවම සහ අත්‍යවශ්‍ය ඉල්ලීම වන 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක කිරීමට එරෙහිව පවතින බාධක ඉවත්කර දීමේ කොන්ත‍්‍රාත්තුව මෛත‍්‍රී පාර්ශ්වය විසින් දැනටමත් බාරගෙන ඇත. එම පාවාදීම සාදාරණිකරණය කිරීම සඳහා ඔවුන් තමා බුද්ධාගමට හිමි තැන සහ ඒකීය භාවය වෙනස් කිරීමට දිවි හිමියෙන් ඉඩ නොදෙන බවට හඩනගනු ඇත.  ව්‍යවස්ථාවේ අන්තර්ගතය මිස ලේබල් තමාට වැදගත් නැති බව පවසන ටී.එන්.ඒ පක්‍ෂය ‘‘ඉබ්බා දියේ දමන විට ඇන්නෑවේ’’ කිවා සේ ව්‍යාජ විරෝධයක් පෙන්වා ඊට එක`ග වනු ඇත. ඔවුන්ගේ පැත්තෙන් ගත්විට 1987 සිට මේ වනතුරු පැවැති බාධක සියල්ල ඉවත්කර ගැනීම යනු ප‍්‍රබල ජයග‍්‍රහණයකි. මෛත‍්‍රී පාර්ශවයද තමාගේ මැදිහත්වීමෙන් රටේ ඒකීය භාවය සහ බුද්ධාගමට හිමි තැන ආරක්‍ෂා කර දීම රටේ ජයග‍්‍රහණයක් ලෙස හුවා දක්වා එහි ගෞරවය තමාවෙත ආරෝපණය කරගනු ඇත. ජනමත විචාරණයක් අවශ්‍ය වන බරපතළ බෙදුම්වාදී ප‍්‍රතිපාදන පරාජය කළේ තමා විසින් බවට මෛත‍්‍රී පාර්ශ්වය උදම් අනනු ඇත. රනිල් වික‍්‍රමසිංහ මහතාට එම පරාජ උරුම කළේ තමන් යැයි ඔවුන් විසින් විපක්‍ෂ භූමිකාවද අතට ගනු ඇත. එවිට ඒකාබද්ධ විපක්‍ෂයට ඉතිරි වන්නේ බෙදුම්වාදීන් විශේෂ බහුතරයෙන් තමාට අවශ්‍ය දේ සම්මතකර ගන්නා විට තමාගේ ඡුන්දය පමණක් නොදී සිටීමෙන් හෘදසාක්ෂිය පමණක් බේරා ගැනීමටය. නමුත් ඒ මගින් ඔවුන්ගේ වරද නිසා බෙදුම්වාදී ව්‍යවස්ථා සංශෝධනය  පරාජය කිරීමට නොහැකි වීමේ පාපයෙන් ඔවුන්ට නිදහස් විය නොහැක. 

                එම කණගාටුදායක ඉරණම වෙනස් කළ හැක්කේ ආකාර දෙකක් මගිනි. පළමු වැන්න, ඒකාබද්ධ විපක්ෂය  ව්‍යවස්ථා සම්පාදක සභාව තුළ සිටිමින් ආණ්ඩුවේ ‘‘ක‍්‍රීඩා සැලසුමට’’ පහසුකම් සැලසීම වහාම නවත්වා ආන්ඩුවේ උපාය මාර්ගය රටට එළිදරව්කොට එම සභාවෙන් ඉවත්වීමය. දෙවැන්න 13 වැනි සංශෝධනය ක‍්‍රියාත්මක කිරීමට එරෙහිව පවතින බාධක ඉවත් කිරීම සඳහා ආණ්ඩුව අනුගමනය කිරීමට නියමිත ක‍්‍රියාවලිය සහ එහි භයානක කම එළිදරව් කිරීමය. එදා 13 වැනි සංශෝධනයට එරෙහිව නඩු තීන්දුව ප‍්‍රකාශයට පත්කළ හිටපු අගවිනිසුරු රාජා වනසුන්දර මහතාට අනුව එම සංශෝධනය මගින් ඉන්දියාවටත් වඩා බරපතළ ෆෙඩරල් හෙවත් සන්ධිය ලක්‍ෂණ අප රටේ ව්‍යවස්ථාවට ඇතුල්කොට ඇත. ඒවා සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක කළ නොහැක්කේ ඊට එරෙහිව විධායක ජනාධිපති බලතල යොදාගත හැකි බැවිනි. එම බාධක ඉවත් කළහොත් බිහිවන්නේ  ඕනෑම අවස්ථාවක බෙදී වෙනිවය හැකි ෆෙඩරල් හෙවත් සන්ධීය රාජ්‍යයකි. එවැනි තත්වයක් තුළ 19 වැනි සංශෝධනය මගින් දැනටමත් විධායක බලතල යම් පමණකට කප්පාදු කොට ඇති බැවින් තවදුරටත් බාධක ඉවත් කිරීම සඳහා ඉටුකළ යුත්තේ කොන්දේසි දෙකක් පමණි. පළමුවැන්න ආණ්ඩුකාරවරයාගේ බලතල යම් පමණකට දියාරු කිරීමය. විශේෂයෙන්ම පළාත් ප‍්‍රඥප්ති ආපසු හරවා යැවීමට ආණ්ඩුකාරවරයාට තිබෙන බලය දියාරු කිරීමය. දෙවැන්න හදිසි අවස්ථාවකදී පළාත් ආණ්ඩුවකට එරෙහිව තීරණ ගැනීම සඳහා ජනාධිපතිවරයා සතු බලතල දියාරු කිරීමය. ඒවා ඉතා සූක්‍ෂම ලෙස සහ අනතුරු දායක බවක්් නොපෙනේන ලෙස සිදුකළ හැක. 19 වැනි සංශෝධනයට කාරක සභා අවස්ථාවේදී සංශෝධන ඉදිරිපත් කළ කූඨ ආකාරයට වචන හරඹ මගින් එය සිදුකළ හැක. ඒවා විධායක බලයට එරෙහිවන ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංශෝධන ලෙස සාධාරණීකරනය කෙරෙනු ඇත.

                ඊට අමතරව 13න් එහාට යාම හෙවත් ‘‘තර්ටීන් ප්ලස්’’ මගින් බෙදුම්වාදී ප‍්‍රතිපාදන තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඔවුන් විසින් ඉටුකරගත යුත්තේ කොන්දේසි 3ක් පමණි. පළමු වැන්න සමගාමී ලැයිස්තුව ඉවත් කිරීමය, දෙවැන්න සංවෘත ලැයිස්තුවෙන් ජාතික ප‍්‍රතිපත්ති හැදිමේ බලය ඉවත් කිරීමය, තුන් වැන්න ව්‍යවස්ථා අධිකරණයක් පිහිටුවීමය. එහිදීද 19 වැනි සංශෝධනය සිදුකළ ආකාරයම ඉදිරිපත් කරන කෙටුම්පත සහ අවසානයේදී සම්මත කරගන්නා ලේඛනය අතර බරපතළ වෙනස්කම් හිතා මතා සිදුකළ හැක. උදාහරණයක් ලෙස පළමු වටයේදීම ව්‍යවස්ථා අධිකරණය ඉතා සාධාරණ සහ අහිංසක බව පෙනෙන ආකාරයට කෙටුම්පත ඉදිරිපත් කළ හැක. නමුත් කාරක සභා අවස්ථාවේ සංශෝධන ඉදිරිපත් කිරිමේදී ඉතා සූක්‍ෂමව එහි බලතල වෙනස්කළ හැක. විශේෂයෙන්ම වචන හරඹ මගින් හදිසි අවස්ථාවකදී පළාත් ආණ්ඩුවකට එරෙහිව පියවර ගැනීම සඳහා ජනාධිපති සතු බලතල එම නව අධිකරණයේ අනුකම්පාවට යටත්කළ හැක.

                13ූ සඳහා තුනෙන් දෙකේ විශේෂ බහුතරය ලබාගැනීමේ මෙම මෙහෙයුම 20 වැනි සංශෝධනය ලෙස එළිදැක්වීමට ඉඩ ඇත. එය වඩාත් වර්ණගැන්වීම සඳහා මානව හිමිකම් වලට අදාලව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස් ඉදිරිපත් කළ නිර්දේශ සහ ‘‘ජී.එස්.පී. ප්ලස් කොන්දේසි’’ යම් ප‍්‍රමාණයක්ද එම සංශෝධනයට ඇතුළත් කිරීමට ඉඩ ඇත. එසේම පළාත් සභා මන්ත‍්‍රිවරුන්ගේ සහය ඊට ලබාගැනීම සඳහා මහ ඇමති බලතල වැඩි කිරීම සහ ඇමති තනතුරු වැඩිවීම වැනි ‘‘කැරට් අල’’ ද එහි එල්ලීමට ඉඩ ඇත. එම අරමුණු පෙරදැරිව ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයට අදාල සංකල්ප සහිත වාර්තාවක් ඉදිරිපත් කොට පළමු වටයේදීම එම ක‍්‍රියාන්විතය අනුමත කිරීම සඳහා එහිදී විශේෂ බහුතරය ලබාගැනීමට ඉඩ ඇත. එම වාර්තාව මගින් අදාල සංශෝධන පවතින ව්‍යවස්ථාව යටතේ 20 වැනි සංශෛා්දනය ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය යන්න නිර්දේශ කළ හැක. එවිට ව්‍යස්ථාන සංශෝධන කෙටුම්පත සකස් කිරීම සඳහා එය ඍජුව අමාත්‍ය මණ්ඩලයට යොමුකළ හැක. ඒ මගින් ව්‍යවස්ථා සභාවේදී ලබාගත් විශේෂ බහුතරය පාර්ලිමේන්තුවේදී නැවත ලබාගත හැකි බවට තවදුරටත් විශ්වාසය තහවුරු වේ.

                මෙම භයානක තත්වය තේරුම්ගෙන ව්‍යවස්ථා සම්පාදනයට අදාල ආණ්ඩුවේ නව ක‍්‍රිඩා සැලසුම එළිදරව් කොට එය පරාජය කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය වහා ක‍්‍රියාත්මක නොවුනහොත් ආණ්ඩුවට විශේෂ බහුතරය රැුක ගනිමින් බෙදුම්වාදී මන දොල පිනවීමට සහ එමගින් ගිලිහීයන බලය ආරක්‍ෂා කර ගැනීමට පහසු ඉඩක් ලැබෙනු ඇත.

විශේෂ ලියුම්කරුවෙකි විසිනි

               

Comments

Popular posts from this blog

හම්බන්තොට වරාය චීනට, කොළඹ වරාය ඉන්දියාවට, මත්තල ගුවන්තොට ඇමෙරිකාවට : ඊළඟට කුමක්ද?

දේශීය ව්‍යවසායකයා හාන්සි කළ මිල විකෘතිය

යටත් කිරීමට පෙර යටත්වීම සහ බොරු වලවල් කැපීම: