රට වෙනස් කරන යහපාලන පනත් 23ක්


       මේ වන විට අග‍්‍රාමාත්‍යවරයාගේ සුවිශේෂී විද්වත් මණ්ඩලවල ම`ග පෙන්වීම යටතේ නව පනත් 14ක් සහ මහජන විරෝධය නිසා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා විසින් විසිකර දැමැණු බීජ පනත ඇතුළත්ව පනත් කෙටුම්පත් 15ක් එක පිට එක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කඩිනම් ක‍්‍රියාවලියක් දියත්වී ඇත. බොහෝ විට ආණ්ඩුවට උපදෙස් දෙන මූල්‍ය අරමුදල ඇතුළු විවිධ රාජ්‍ය නොවන සංවිධානවල බලපෑම මත ඒවා සියල්ල මෙම වසර අවසන් වීමට පෙර ඉදිරිපත් කෙරෙනු ඇත. ඊට අමතරව මේ වන විට යහපාලන ආණ්ඩුව විසින් තවත් පනත් 7ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඉන් 4ක් සම්මතකොට ගෙන ඇත. එසේම දැනට වැට් බදුවලට එරෙහිව පනවා ඇති නඩුව ජයග‍්‍රහණය කළහොත් වැට් බදු සංශෝධන පනත සම`ග සමස්ථයක් ලෙස පනත් 24ක් විසින් අප රටේ බරපතල සමාජ ආර්ථික සහ දේශපාලන පරිවර්ථනයක් කරනු ඇත. (උපත්, මරණ ලියාපදිංචි සංශෝධන පනත ආදී බරපතල නොවන පනත් ඊට අයත් නැත*

                එම පරිවර්ථනයේ හැඩතල එදා යළිපුබුදමු ශ‍්‍රී ලංකා වැඩසටහනින් බලාපොරොත්තු වූවාට වඩා සිය දහස් ගුණයකින් වෙනස්වනු ඇත. එම පනත් ඉතා යහපත් අරමුණු ඉදිරියට දමමින් සකස් කෙරෙන නමුත් බරපතල යටි අරමුණු ඒවා තුළ සැගවී ඇත. උදාහරණයක් ලෙස තොරතුරු දැනගැනීමේ පනත ආණ්ඩුව විසින් ගෙන එන්නේ සහ විවිධ සිවිල් සංවිධාන විසින් ඉල්ලා සිටින්නේ මහජනයාගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීමටය. නමුත් අවසානයේදී සිදුවන්නේ දැනට අවිධිමත්ව ලබාගැනීමට ඉඩකඩ ඇති වඩා වැදගත් තොරතුරු පවා වාරණයකට ලක් කිරීමය. එසේම ගොවියාගේ බීජ අයිතිය තහවුරු කිරීමට බීජ පනත ගෙනඑන බව පැවසුවත් අවසානයේදී ගොවියා තමා විසින් නිපදවන බීජ අහුරක් අසල්වැසියකුට විකුණුවහොත් ඔහු රු.50,000 දඩයකට සහ මාස 06ක සිරදඩුවමකට යටත් වේ. 

                එම නිසා මෙම පනත් 23ට අදාල ප‍්‍රකාශිත අරමුණු සහ යටි අරමුණු අතර පවතින අහසට පොළව මෙන් වූ වෙනස යම් පමණකට හෝ වටහා ගැනීම මහජනයාට ඉතා වැදගත් වේ. එම පනත් ඉදිරිපත් කෙරෙන විට ඊට අදාල මහජන සංවාදය දිරිගැන්වීම සඳහා ඒවා පිළිබඳව යම් මූලික අවබෝධයක් ලබාදීම මෙම ලිපියේ අරමුණ වේ. පළමුවෙන්ම යහපාලන ආණ්ඩුව මෙතෙක් සම්මත කළ ප‍්‍රධාන පනත් 4 මගින් මහජනයාට ලැබී ඇති දේ විමසා බැලිය යුතුය. ෙඖෂධ අධිකාරී පනත ගතහොත්  බරපතල නව ව්‍යුහයකට මහජන මුදල් වැඩිවශයෙන් වියදම් කිරීම හැර පැරණි ආයතනයෙන් කළදේට වඩා කිසිවක් කිරීමට නව පනතේ ප‍්‍රතිපාදන අඩංගුව නැත. ෙඖෂධ මාෆියාව ඒ නව පනතේ අත්‍යවශ්‍ය බලනහර 10ක් කපාදමා එය නපුංසක පනතක් බවට පත් කිරීම නිසා සභාපතිවරුන් මාරුකිරීම හැර අන් යමක් කිරීමට අමාත්‍යවරයාටද බලයක් නැත. තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීම සඳහා ගෙනඑනු ලැබූ පනතින් දැනටමත් අවිධිමත්ව සොයගත හැකි යම් තොරතුරු ප‍්‍රමාණයක් විධිමත්ව ලබාගැනීමේ අවස්ථාව උදාවී ඇත. එහෙත.් රටේ ආර්ථිකයට සහ ජාතික ආරක්‍ෂාවට අහිතකර ලෙස බලපාන ඉතාවැදගත් තොරතුරු කිසිවක් අවිධිමත්ව හෝ දැනගැනීමේ අයිතිය ඒ පනත මගින් උදුරාගෙන ඇත.
               
                තුන්වන පනතවන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය කිරිම මගින් වඩා කාර්ය්‍යක්‍ෂමව සහ වැඩි තොරතුරු සහිත හැඳුනුම්පත් නිකුත් කිරිමේ ඉඩ ලැබේ. එහෙත් ලෝකයේ බෝහෝ රටවල විරෝධයට ලක්වී ඇති අනාගත පොලිස් රාජ්‍යයකට අවශ්‍ය මූලික දත්ත ගබඩාවක් ගොඩනැගීම ඒ මගින් සිදුවේ. පුද්ගලයින්ගේ පෞද්ගලික සහ රහසිගත ජෛව මැනුම් බලහත්කාරයෙන් ලබාගැනීම අමෙරිකාව හැර සෙසු ‘‘ශිෂ්ඨසම්පන්න’’ ලෝකයේ මිනිසුන් අනුමත කරන්නේ නැත. හතරවනුව සැලකිල්ලට ගත යුතු සම්මත වූ පනත වන්නේ සාක්‍ෂිකරුවන් සහ වින්දිතයින් ආරක්‍ෂා කිරිමේ පනතයි. ඒ මගින් සාක්‍ෂිකරුවන්ට සහ වින්දිතයින්ට සහනයක් ලැබෙන බව මතුපිටින් පෙනේ. එහෙත් මානව හිමිකම් කවුන්සිලයේ සහ දෙමළ ඩයස් පෝරාවේ බලපෑම මත කඩිනමින් ගෙනඑන ලද එම පනත මගින් ජාතික ආරක්‍ෂාවට අදාලව පියවර ගැනීමේදී ආරක්‍ෂක හමුදා නිලධාරීන්ට දෙවරක් කල්පනාකාරීවීමට බලපෑමක් එල්ලවේ. සුළු අත්වැරදීමකින් හෝ බලවත් සංවිධාන විසින් හිතා මතා චෝදනා ගොනු කිරීම මගින් ඔවුන්ට හිරේ විලංගුවේ වැටීමට සිදුවිය හැක. එම තත්වය බෙදුම්වාදී න්‍යයාය පත‍්‍රය ඉදිරියට ගෙනයාම සඳහා අවශ්‍ය පූර්ව කොන්දේසියක් මිස සැබෑ ලෙසම ජනතාවට අයිතිවාසිකම් ලබාදීමට සද්භාවයෙන් නිර්මාණය කෙරෙන්නක් නොවේ.

                ගැසට් කිරීමෙන් පසුව මහජන විරෝධය නිසා අකුලා ගැනීමට සිදුවූ පනත් 03ක් අතුරින් පළමුවැන්න වූ භික්‍ෂුකථිකාවත්් පනත මගින් ශාසනය අප කිර්තියට පත් කෙරෙන ආකාරයට කටයුතු කරන ශ‍්‍රමන වේශධාරීන් සසුනින් ඉවත් කිරීමට ඉඩ ලැබෙන බව පැවසේ. එහෙත් එසේ කළ හැක්කේ ලියාපදිංචි භික්ෂුන් වහන්සේ නමකගේ වැරදි හැසිරීමකට අදාලව පමණි. බාහිර පුද්ගලයකු සිවුරක් දමාගෙන සසුන අපකිර්තියට පත්කිරිමේ අවස්ථාවක ඊට එරෙහිව පියවර ගැනීමේ බලයක් එම පනතට නැත. ඊට එරෙහිව පියවරගත යුත්තේ සාමාන්‍ය නීතිය යටතේමය. නමුත් එම පනත මගින් සංඝ භෙදය ඇතිකරනවාට අමතරව තේරවාදී සහ මහායාන වශයෙන් බෙදීමක් ඇතිකොට මහායාන භික්ෂූන් පනතින් නිදහස් කිරිම මගින් මහායානය ප‍්‍රචලිත කිරීමක්ද සිදුවේ.

                එසේ අකුලාගත් දෙවන පනතවූ විහාර දේවාලගම් සංශෝධන පනත මගින්ද භික්ෂූන් වහන්සේලාගේ සිවුර ගැලවීමේ ප‍්‍රතිපාදන වලට මුල්තැනක් දුන්නත් අවභාවිතාවන සඝසතු දේපල ආපසු පවරා ගැනීම සඳහා යෝජනා වූ ප‍්‍රතිපාදන දියාරු කෙරිනි. ඊට අමතරව ඒ තුළ මහා විහාර සම්ප‍්‍රදාය සමග සෙසු සම්ප‍්‍රදායන් ගැටෙන ආකාරයේ ප‍්‍රතිපාදනද අඩංගු විය. ඒ අනුව එම පනත් කොටුම්පත ඒ ආකාරයට සම්මත වූවානම් ඇතිවන්නේ තිබුනාටත් වඩා නරක තත්වයක් මිස හොඳ තත්වයක් නොවේ. අකුලාගත් තුන්වන පනත ද්වේශ සහගත අදහස් ප‍්‍රකාශ කිරීම වැළැක්වීම සඳහා වූ දණ්ඩනීති සංග‍්‍රහයට ගෙනඑන ලද සංශෝධනවලට අදාලවේ. ඉතා සරලව ගතහොත් ඒ මගින් මහාවංශය පිළිබඳව කාථිකාරීමද සිරගතවීමට තරම් වූ වරදක් විය හැක. එය ඉතා පැහැදිලිවම ජාතිකවාදී මත ප‍්‍රකාශකරන්නන් තුළ මානසික බාධක පැනවීමේ ව්‍යවස්ථා විරෝධි පනතකි.

                රජය විසින් ඉදිරි කාලය තුළ ගෙන ඒමට නියමිත පනත් 15න් එකක් වන්නේ මහින්ද රාජපක්‍ෂ රජය විසින් මහජන විරෝධය හමුවේ හකුලාගත් බීජ පනතයි. එය ඉතා පැහැදිලිවම බීජ වල ගුණාත්මකභාවය තහවුරු කිරිමේ නාමයෙන් ඓතිහාසිකව ගොවියා සතුවූ බීජ පිළිබඳ අයිතිය ඔහුට අහිමි කිරීම සඳහා ගෙන එන්නා වූ දුෂ්ඨ පනතකි. නැවත වටයකින් එය පරාජය කිරීම සඳහා ගොවියාට සටන් කිරීමට සිදුවීම යනු යහපාලන සංකල්පයේ සැබෑ පිළිඹිඹුවකිි. අභිනවයෙන් ගෙන ඒමට රජය විසින් සැලසුම් කරන සෙසු පනත් 14න් පළමු වැන්න ආර්ථික සංවර්ධන විශේෂ විදිවිධාන පනතයි. එය රටේ පවතින විවිධ පනත් 13ක් අභිභවා ක‍්‍රියාත්මක වන අයෝජන මණ්ඩල පනත සහ උපාය මාර්ගික සංවර්ධන පනත යන පනත් දෙකටම වඩා ඉහළින් පවතින බලවත් පනතකි. එය නව ලිබරල් කොල්ලකාරී ආර්ථිකය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසියකි. එම පනත මගින් සර්වබලධාරී සුපිරි අමාත්‍යවරයකු බිහිවන අතර ඔහුට ගැසට් නිවේදනයක් මගින්  ඕනෑම ඉඩමක් පවරා ගැනීමට මෙන්ම ඒවා විදේශිකයකුට වුවද පවරාදීමට බලය ලැබේ. එමෙන්ම රාජ්‍ය ආයතනයක යම් ක‍්‍රියාවලියක් පෞද්ගලික ආයතනයකට පවරාදීමේ බලය මෙන්ම දිස්ත‍්‍රික් මායිම් වෙනස් කිරිමේ බලයද එම අමාත්‍යවරයා සතුවේ.

                තුන්වන නව පනත වන්නේ විදේශ විනිමය පාලන සංශෝධන පනතයි. ඒ මගින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග්ධන ගිණුම සම්පූර්ණයෙන්ම විවෘත කෙරෙන අතර රට තුලට  ඕනෑම විදේශ විනිමය ප‍්‍රමාණයක් ගෙන ඒමට මෙන්ම රටින් පිට කිරීමටද නිදහස ලැබේ. එවිට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය වෙලඳපොල ජෝර්ජ් සෝරොස් වැනි ජාත්‍යන්තර මූල්‍ය ජාවාරම්කරුවන්ගේ අනුකම්පාවට යටත්වන අතර  ඕනෑම වෙලාවක බාහිර උවමනාව මත කඩාවැට්ටවීමේ අනතුරට ගොදුරුවේ. හතරවන නව පනත සංශෝධිත බැංකු පනත වන අතර එය ඊට පෙර චන්ද්‍රීකා බණ්ඩාරනායක කුමාරතුංග සමයේදී ගෙන ඒමට උත්සාහ කොට බැංකු සේවක විරෝධය නිසා අකුලාගත් පනතකි. ඒ මගින් රාජ්‍ය බැංකු සියල්ල පෞද්ගලීකරණය කිරීමට අවශ්‍ය නීතිමය පසුබිම සකස් කෙරේ.

                පස්වන නව පනත රේගු ආඥා සංශෙෘ්ධන පනත වන අතර දැනටමත් ඊට රේගු නිලධාරීන්ගේ විරෝධය පළවී ඇත. එම පනත මගින් ජාවාරම්කාර හොර ආනයනකරුවන්ට සහ මත්කුඩු ජාවාරම් කරුවන්ට ගෙවීමට සිදුවන දඩ මුදල් සහ සිර දඩුවම් පවා අඩුකෙරේ. ඊට අමතරව වංචා ¥ෂණ මැඩලීම සඳහා රේගු නලධාරීන්ට ලබාදී ඇති බලතල කප්පාදුවක්ද නව සංශෝධන මගින් සිදුවේ. පසුගිය වසරක කාලය රේගු ඉතිහාසයේ බරපතලම වංචා සිදුවූ සහ නිලධාරීන්ට බලපෑම් සිදු වූ කාලයක් ලෙස රේගු නිලධාරීහු සඳහන් කරති. ඒ අනුව නව සංශෝධන එම වංචා දුෂණ නීතිගත කිරීම සඳහා ඉදිරිපත් කෙරෙන්නක් බවට චෝදනා එල්ලවේ.

                නව පනත් අතුරින් සය වැනි පනත යහපාලන රජය විශේෂයෙන් පොරොන්දු වූවකි. 19වැනි ව්‍යවස්ථා සංශෙෘ්ධනය අනුව ක‍්‍රියාත්මක විය යුතු විඝණන කොමිසම ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කිරීම සඳහා එම පනත අවශ්‍යවේ. නමුත් එම පනතට යෝජනා වූ ¥ෂණ වංචා වැළැක්වීමේ සහ රජයට සිදුවන පාඩු අදාල වංචනිකයන්ගෙන් අයකර ගැනීම සඳහා වන ප‍්‍රතිපාදන එම පනතින් ඉවත්කොට එය දියාරු කොට ඇති බවට චෝදනා එල්ල කරන්නේ විඝනකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසිනි. ඒ අනුව ඒම පනතද ඖෂධ පනත මෙන් නපුංසක පනතක් බවට පත්වීම නිසා ඒ මගින් අපේක්‍ෂිත සැබෑ ජාතික අරමුණ ඉටු නොවනු ඇත. නව පනත් ගොන්න අතුරින් හත්වැන්න සෞඛ්‍ය සේවා අධිකාරී පනතයි. එම පනත මගින් සෞඛ්‍ය සේවා වෙළඳපොලක් බිහිකෙරන අතර රජයේ ප‍්‍රධාන රෝහල් පෞද්ගලික රෝහල් මෙන් ස්වාධිනව කළමනාකරණය කිරිමේ ක‍්‍රමවේදයක් සකස්වෙනු ඇත. ඊට අමතරව දායක රක්‍ෂණක‍්‍රම හරහා පුද්ගලික සහ රජයේ අරමුදල් මෙන්ම ඊට අමතරව ඍජුව රජයේ අරමුදල්  ද සේවා කොන්ත‍්‍රාත් මත පෞද්ගලික සහ රජයේ ස්වාධින රොහල්වලට සමානතා පදනමකින් ලබාදීමට නව පනත මගින් ඉඩ ලැබේ. එම පනත මගින් දැනට රජය විසින් ඉටුකරන අරමුදල් සැපයීම සහ සේවා සැපයීම යන කර්තව්‍යයන් වෙන්කොට කළමනාකරණය කිරීම සිදුවේ. ඊට අමතරව දැනට ක‍්‍රියාත්මකවන පෞද්ගලික රෝහල් කළමනාකරණ පනතේ විධිවිධාන සහ යෝජිත පුද්ගලික ලේ බැංකු පනතේ ප‍්‍රතිපාදන ද එම නව පනත යටතට ගැණෙනු ඇත.

                අට වන නව පනත වන්නේ පාසල් සංවර්ධන සමිති පනතයි. එය රනිල් වික‍්‍රමසිංහ මහතා අධ්‍යාපන ඇමතිවරයා ව සිටියදී ධවල පත‍්‍රකාව යටතේ ක‍්‍රියාත්මක  කිරීමට සැලසදුම්කල සංකල්පයකි. ඒ මගින් ජාතික මට්ටමේ ප‍්‍රධාන පාසල් සියල්ල ස්වාධිනව කළමනාකරනය කෙරෙන ආකාරයට පාසල් සංවර්ධන සමිති වලට බලය ලබාදෙනු ඇත. එවිට රජය මගින් ශිෂ්‍ය සංඛ්‍යාව අනුව නිශ්චිත මුදලක් ලබාදෙන අතර ගුරුවරු බඳවා ගැනීම, වැටුප් තීරණය කිරීම සහ අනෙකුත් පිරිවැය තිරණය කිරිමේ බලය සහ ඉන් කොටසක් සිසුන්ගෙන් අයකර ගැනීමේ බලය එම සමිති වලට ලැබේ. එහිදී දැනට රජයේ සිටින ගුරුවරු පමණක් විශ‍්‍රාම වැටුප් සහිතව එම පාසල්වලට කැමැත්ත අනුව බඳවා ගැනෙනු ඇත. සෙසු ගුරුවරු පිටරටකින් වුවද බදවා ගැනීමේ බලය එම සමිතිවලට ලැබේ. එවිට ‘‘එට්කා’’ ගිවිසුම ක‍්‍රියාත්මක වුවහොත් ඉන්දියානුවන් වුවද ඍජුව බදවා ගැනීමට බලය පාසල් වලට ලැබේ. නමවැනි නව පනත බුද්ධිමය දේපල සංශෝධන පනතකි. ඒ මගින් ජෛව නිෂ්පාදන බීජ සහ රෝපන ද්‍රව්‍යයවලට පවා බුද්ධිමය දේපල අයිතිය ලබාගැනීමට මහා සමාගම්වලට ඉඩ ලැබේ. එවිට දැනට ප‍්‍රාග්ධන සහ බෙදාහැරීම් බලය මෙන්ම තාක්‍ෂණික රහස් මගින් පවත්වාගෙන යන බීජ ඒකාධිකාරිය නීතිය මගින්ද තහවුරු කරගැනීමට ඉඩ ලැබෙනු ඇත. ඒ මගින් රටේ බීජ සුරක්‍ෂිතතාවයට සහ ගොවියාගේ බීජ අයිතියට බරපතල නිශේධාත්මක බලපෑමක් සිදුවේ.

                දස වැනි නව පනත ජාතික සෞඛ්‍ය පර්යේෂණ සභාවක් පිහිටුවීමේ පනතයි. ඒ මගින් රටේ දැනටමත් විවිධ ආයතන හරහා සිදුවන පර්යේෂණ ක‍්‍රියාවලියට විධිමත් කිරීම සහ පවතින තත්වය දියුණු කිරීම අපෙක්ෂා කෙරේ. නමුත් එහි පවතින ප‍්‍රධාන යටි අරමුණක් වන්නේ ජෛව සම්පත් විශේෂයෙන්ම ද්ශීය ඖෂධ ආශ‍්‍රිත පර්යේෂණ ආශ‍්‍රීතව ජෛව පර්යේෂණ ද්‍රව්‍ය පිටරට යැවීම සඳහා බලය දීමේ ආයතනයක් පිහිටුවීමයි. දැනට සිදුවන ආකාරයට විවිධ ආයතන හරහා අවසර ගැනීමේ ක‍්‍රමවේදය වෙනුවට එක් ආයතනයක් හරහා අවසර ගැනීමේ ක‍්‍රමවේදය සහ පාලනය කිරිමේ ක‍්‍රමවේදයක් ඇති කිරීම මහා පරිමාන ජාත්‍යන්තර පර්යේෂණ ආයතනවල මූලික අවශ්‍යතාවයකි. ඒ මගින් ජාන කොල්ලයට ඉඩ සැලසේ. සායනික පර්යේෂණ පනත එසේ ගෙන ඒමට නියමිත එකොලොස්වැනි නව පනතයි. ඒ මගින් ශ‍්‍රී ලංකාවේ නව ෙඖෂධ අත්හදා බැලිමේ වෙළදපලක් බිහි කිරීම අරමුණු කෙරේ. වෙනත් වචන වලින් කියන්නේනම් දියුණු රටවලින් එලවා දමන සමාගම්වලට පර්යේෂණ සඳහා පර්යේෂණාගාර මීයන් සපයන රට බවට ශ‍්‍රී ලංකාව පත්වනු ඇත.

                සෙසු නව පනත් 4 දේශපාලන වශයෙන් බරපතල අන්දෝලනයකට ලක්වනු ඇත. ඒවා සියල්ල ජාත්‍යන්තර මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ සහ සෙසු බටහිර රටවල බලපෑම මත ඉදිරිපත් කෙරෙන බව ඉතා පැහැදිලිව පෙනේ. 2015දී ඇමෙරිකාව විසින් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත්කළ යෝජනාවලියේ මෙන්ම මෙවර 2016 ජුනි 29දා මහකොමසාරිස්වරයා විසින් ඉදිරිපත්කළ වාචික වාර්තාවේද එම පනත් පිළිබඳ කරුණු අඩංගු විය. ඒ අතරින් පළමු වැන්න හෙවත් නව පනත් ගොන්නේ දොළොස් වැන්න ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කොට ඒ වෙනුවට ගෙන එනු ලබන නව ජාතික ආරක්‍ෂක පනතයි. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ පවතින ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී අංග නිසා නව පනතක් අවශ්‍ය බව පැවසුවත් සැබෑ හේතුව එය නම් රජය විසින් කළයුත්තේ අදාල පනත සංශෝධනය කිරීමය. නමුත් නව පනතක් ගෙනඒම මගින් නව ප‍්‍රතිපාදන ඇතිකරනවාට අමතරව පැරණි පනත යටතේ චෝදනාවට ලක් වූ සහ දඩුවම් ලබන පිරිස් නිදහස් කිරීමට ඉඩ ලැබේ. ඒ අනුව ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේග විසින් මානව හිමිකම් නාමයෙන් ගෙන ඒමට බලකරන මෙම පනතේ සැබෑ අරමුණ තේරුම් ගැනීම අමාරු නැත.

                නව පනත් අතුරින් දේශපාලන වශයෙන් වැදගත් වන ඊළ`ග පනත හෙවත් මහජන ආරක්‍ෂක සංශෙෘ්ධන පනත 13 වැනි පනත ලෙස ගණන් ගත හැක. ඒ මගින් විශේෂයෙන්ම හදිසි තත්වයකදී පළාත්සභා පාලනය කිරීම සහ බෙදුම්වාදී ක‍්‍රියාමාර්ග මැඩ පැවැත්වීම සඳහා ජනාධිපතිවරයාට ලබාදී ඇති බලතල දියාරු කිරීම අපෙක්ෂා කෙරේ. බටහිර බෙදුම්වාදී බලවේග වලට අනුව නිදහසටත් පෙර සම්මත කළ එම පනත බරපතල ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පනතකි. දාහතර වැනි නව පනත අතුරුදහන්වූවන්ගේ කාර්යාලය ස්ථාපනය කිරිමේ පනතයි. එයද ජාත්‍යන්තර මානව හිමිකම් කොමසාරිස්වරයා සහ ඔහුගේ විශේෂ බලයලත් නිලධාරීන් විසින් නිතර මතක් කළ පනතකි. මෙවන් පනත් කෙටුම්පත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකොට ගැසට් නිවේදනයක් මගින් ප‍්‍රකාශයට පත්කොට ඇත. ඒ පනත ක‍්‍රියාත්මක වුවහොත් ඒ මගින් ඇමෙරිකානු යෝජනාෙවි අටවැනි වගන්තිය ප‍්‍රකාරව හමුදා නිලධාරීන්ට අධිකරණ ක‍්‍රියාදාමයකින් පරිභාහිරව පරිපාලන වශයෙන් දඩුවම් කිරීම සඳහා අවශ්‍ය චෝදනා නිෂ්පාදනය කරන චෝදනා කර්මාන්ත ශාලාවක් බිහිවනු ඇත. පහලොස්වන නව පනත යුද අපරාධ අධිකරණ පනත වේ. මේ වන විට මානව හිමිකම් මහ කොමසාරිස්සහ ටී.එන්.ඒ පක්‍ෂය වාද කරන්නේ එවැනි අධිකරණයකට විදේශීය විනිසුරන් ඇතුල් කිරීම සඳහා ව්‍යවස්ථාව සංශෝධනය කිරීම අවශ්‍ය නොවන බවයි.

                කෙසේ වෙතත් මූල්‍ය වංචා මැඩපැවැතව්ීම සඳහා මූල්‍ය ගනුදෙනු වාර්තා කිරිමේ පනත සංශෝධනය කිරීමට ආණ්ඩුව එතරම් උනන්දුවක් නොපෙන්වන බවද සඳහන් කළ යුතුය. ඉහත සඳහන් කළ නව පනත් 15 ඉතා කෙටිකලක් තුළ සම්මත කරගැනීමට ආණ්ඩුව සමත් වුවහොත් අද පවතින රට ආර්ථික, සමාජීය සහ දේශපාලන වශයෙන් කණපිට පෙරලූනු රටක් බවට පතත්වන බවට විවාදයක් තිබිය හැකිද? විවාදයක් තිබිය හැකිනම් එසේ තිබිය හැක්කේ එම උත්සාහය පරාජය කළ හැකිද සහ කරනවානම් ඒ කෙසේද යන්න පිළිබඳව පමණි.

                - වෛi කේ.එම්. වසන්ත බණ්ඩාර        

  

Comments

Popular posts from this blog

හම්බන්තොට වරාය චීනට, කොළඹ වරාය ඉන්දියාවට, මත්තල ගුවන්තොට ඇමෙරිකාවට : ඊළඟට කුමක්ද?

දේශීය ව්‍යවසායකයා හාන්සි කළ මිල විකෘතිය

යටත් කිරීමට පෙර යටත්වීම සහ බොරු වලවල් කැපීම: