පාර්ලිමේන්තුවේ කතා නොකරන පාන්පිටි සහ කිරිපිටි දේශපාලනය



       යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව පළමු දින 100 තුළ මහජනයා විසින් ඉල්ලා නොසිටි සහ ආන්ඩුව විසින් මහජනයාට ලබා නොදුන් සුවශේෂි ‘‘පොරොන්දුවක්’’ ඉටු කරනු ලැබීය. ශ‍්‍රී ලංකාවේ   ප‍්‍රධාන පෙළේ විදේශීය සමාගමකට අප‍්‍රසිද්ධියේ ලබාදී ඇතැයි සැලකෙන එම පොරොන්දුව ඉටු කිරීම සඳහා ආණ්ඩුවට පළමු වසර තුළ රු. මිලියන 13,000ක බදු මුදලක් අහිමිකර ගැනීමට සිදුවිය. තිරි`ගු පිටි සඳහා පනවා තිබූ විශේෂ පරිභෝජන භාණ්ඩ බද්ද කි. ගෑම් 1ක් සඳහා රු. 10කින් අඩු කිරීම නිසා ආණ්ඩුවට එතරම් විශාල බදු මුදලක් අහිමි වේ. ඒ වන විට වසරකදී රට තුළට ආනයනය කරනු ලැබූ තිරිගු මෙ.ටො. ලක්‍ෂ 13ක් සඳහා ලබාදුන් එම බදු සහනය නිසා 2016 වසරේදී තිරි`ගු පිටි පරිබෝජනය තවත් ලක්‍ෂ 4ක් වැඩි කිරීමට එම සමාගම සමත් විය. ඒ අනුව මෙ.ටො. ලක්‍ෂ 17ක් සඳහා 2016 වසරේදී ලබාදුන් බදු සහනය රු. මිලියන 17000ක් දක්වා වැඩිවිය. එම මුදල වසරකදී සමස්ථ රටේම සමෘද්ධිලාභීන් සඳහා ලබාදෙන සහනාධාරයටත් වඩා වැඩි මුදලකි. 

                අප රට තුළට තිරි`ගු ඇට ක‍්‍රි.ග‍්‍රෑම් 1ක් වරායෙන් ඇතුල්වීමේදී බදු සහ සියළු පිරිවැය අතුළත්ව සමාගමට වැයවෙන්නේ රු. 38 පමණි. නමුත් මේ වන විට සහල් මෝලකින් සහල් කි.ග‍්‍රෑ 1ක් නිපදවීම සඳහා වී මිලදී ගැනීම සඳහා මෝල් හිමියන් විසින් අවම වශයෙන් එම මිල මෙන් දෙගුණයක පිරිවැයක් දැරිය යුතුවේ. වෙළඳපළ තුළ එතරම් විශාල මිල විකෘතියක් තිබියදී තිරි`ගු පිටි පරිභෝජනය වැඩිවීම පුදුමයක් නොවේ. නමුත් මෙ.ටො. ලක්‍ෂ 13ක් වූ තිරි`ගු පිටි පරිභෝජනය මෙ.ටො. ලක්‍ෂ 17 දක්වා ඉහළ දැමීමට පාන්පිටි සමාගම සමත් වන්නේ පාන් සහ පාන්පිටි මිල අඩු කිරීම මගින්  පමණක් නොවේ. අදාළ සමාගම මහජන බදු මුදලින් සහනාධාරයක් ලබාගත්තද කෙටි කෑම වර්ග සහ අනෙකුත් පාන්පිටි ආශ‍්‍රිත ආහාර වර්ග වල මිල ඉහළ ගොස් ඇත. එසේනම් මෙම සමාගම පාන් පිටි ආශ‍්‍රිත ආහාර පරිභෝජනය ඉතා කෙටි කලක් තුළ එතරම් ඉහළ මට්ටකට ගෙන එන්නේ කෙසේද? එම තත්වය වැලැක්වීම හෝ පාලනය කිරීම සඳහා රජය සහ සමාජ ක‍්‍රියාකාරිකයින් මෙන්ම සංවිධාන අසමත් වන්නේ කෙසේද?සෞඛ්‍ය හිතවාදී ආහාර සංස්කෘතියක් ප‍්‍රචලිත කිරීමට උත්සාහ කරන වෛද්‍ය සංගම් පවා ප‍්‍රධාන ප‍්‍රශ්නය වන අධික පාන්පිටි පරිභෝජනය පිළිබඳව වචනයක හෝ සඳහනක් නොමැතිව අධික ලූනු සහ සීනි පරිභෝජනය ගැන පමණක් කථා කරන්නේ කෙසේද? ගොවීන්ගේ අයිතිවාසිකම් පිළිබඳව ‘‘මරාගෙන මැරෙන’’ කථා පවත්වන වමේ දේශපලකයින් පවා වී මිල පහත වැටීමේ ප‍්‍රශ්නය සහ අධික පාන්පිටි පරිභෝජනය අතර පවතින සෘජු සම්බන්ධය පිළිබඳව වචනයකින් හෝ විරෝධය පළනොකරන්නේ  කුමක් නිසාද? උදාහරණයක් ලෙස කි.ග‍්‍රෑම් 30ක් වූ ඒකපුද්ගල පාන් පිටි පරිභෝජනය කි.ග‍්‍රෑ. 80 දක්වා ඉහළ යන විට ඊට සාපෙක්‍ෂව සහල් පරිභෝජනය පහත වැටෙන බව කුඩා ළමයෙකුට වුවද තේරුම්ගත හැක.

                පසුගිය යළ කන්නයේදී ඇති තරම් වැස්ස සහ ජලාශවල වතුර තිබියදී කෘෂිකර්ම අමාත්‍යාංශය මැදිහත් වී හෙක්ටයාර් ලක්‍ෂ 5ක් වන යල කන්නයේ භූමි ප‍්‍රමාණය ලක්‍ෂ 2 දක්වා අඩු කරනු ලැබීය. එම කුමන්ත‍්‍රණයේ ප‍්‍රතිඵලයක් ලෙස එම කන්නයේ අස්වැන්න මෙ.ටො. ලක්‍ෂ 5කින් අඩුවිය. එම ප‍්‍රමාණය දළ වශයෙන් සහල් මෙ.ටො. ලක්‍ෂ3 කට සමාන වේ. පසුගිය දින වල සහල් මිල පාලනය කිරීම සඳහා බව පවසමින් පිටරටින් ආනයනය කළ සහල් ප‍්‍රමාණය එසේ අහිමි කළ අස්වැන්නට දළ වශයනේ සමාන වේ. ඒ අනුව වී වගාව අධ්‍ය_මත් කිරීම මගින් යම් පිරිසක් දෙපැත්තකින් ලාභ උපයන බව පැහැදිලිව පෙනේ. එත් පැත්තකින් සහල් ආනයනය කිරීමේදී විශාල කොමිස් මුදලක් එහා මෙහා වන බව දන්නෝ දනිති. උදාහරණයක් ලෙස මෙ.ටො1ක් සඳහා ඩොලර් 20 බැගින් මෙ.ටෙ.ලක්‍ෂ 3ක් සඳහා රුපියල් මිලියන 900කට ආසන්න කොමිස් මුදල් හුවමාරු වන බව එම ක්‍ෂෙත‍්‍රය පිළිබඳව අධ්‍යනය කරන ව්‍යාපාරිකයෝ  පවසති. අනෙක් පැත්තෙන් පාන්පිටි පරිභෝජනය වැඩි කරන ප‍්‍රමාණයට සාපෙක්ෂව ක‍්‍රමයෙන් වී වගාව විනාශ කිරීමේ උවමනාව ඉටුවේ. එය මූලික වශයෙන් පාන්පිටි සමාගමේ උවමනාවකි. 

                පාන් පිටි ආනයනය වැඩිවන ප‍්‍රමාණයට සාපෙක්ෂව වී වගාව අඩු නොකළහොත් කෘතිම වී අතිරික්තයක් ඇතිවී වී මිල පහත වැටීම මගින් බරපතළ දේශපාලන අර්බුදයක් ඇතිවේ. මෙවර මහ කන්නයේ වැසි හි`ගවීම නිසා වගාව අසාර්ථක විය. එසේ මහකන්නයේදී වී අස්වැන්න තවදුරටත් අඩු වීම නිසා වී මිල පහත වැටීමේ ගැටළුව පැන නැගුනේ නැත. එය වී වගාව විනාශ කිරීම සඳහා කුමන්ත‍්‍රණය කරන පිරිස් වල සතුටට හේතුවක් බවට සැකයක් නැත. අප රටේ වී ඇස්වැන්න 2015 මහ කන්නය වන විට මෙ.ටො. මිලියන 5 ඉක්මවා යන තත්වයකට ලගාවිය. යුද්ධය අවසන් වීමෙන් පසුව වගාකළ භූමි ප‍්‍රමාණය වැඩිවීම සහ වී වගාව අධ්‍ය_යමත් කිරීමේ දැනුම්වත් වැඩ පිළිවෙලක් නොතිබූ බැවින් එසේ ජාතික අස්වැන්න ඉහළ ගිය බව පිළිගත හැක. නමුත් පාන්පිටි සමාගමට දේශපාලන අර්බුදයකින් තොරව ආනයනය ඉහළ දැමීමට නම් වී අස්වැන්න ඊට සාපේක්‍ෂව අඩුකරගත යුතුය. වී වගාව විනාශ කිරීමට කුමන්ත‍්‍රණය කරන පිරිස් ඉටු කරන්නේ  පාන්පිටි සමාගමේ උවමනාවට බව ඉතා පැහැදිලිව පෙනේ.

                රටක ධාන්‍ය අස්වැන්න වැඩිවීම එම රටට මහා ආශිර්වාදයකි. ඉන්දියාව වැනි රටක එවැනි ජයග‍්‍රහණ රටට නිවේදනය කරන්නේ අගමැතිවරයා විසිනි. නමුත් අප රටේ අස්වැන්න වැඩිවීම් කුමන්ත‍්‍රණකාරී නිළධාරීන්ට මෙන්ම ගොවියාටද සාපයකි. එම තත්වය තුළ පළමු වටයේදී අඩු මිලට පාන්පිටි කෑමට ලැබෙන බැවින් නූගත් පාරිභෝගිකයාට එය ආශිර්වාදයක් ලෙස පෙනේ. එහෙත් ඔහුටද අවසානයේදී එය සාපයක් බවට පත්වේ. පාන්පිටි මිල අඩු මට්ටමක තිබියදී සහල් මිල ඉහළයාම සහ පාන්පිටි අධික පරිභෝජනය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටළු නිසා පාරිභෝගිකයා අවසානයේදී දුකට පත්වේ. සහල් මිල ඉහළයාමේ වාසිය ද අවසානයෙව්දී  මහා පරිමාණ මෝල් හිමියන් සහ වෙළඳුන් විසින් ගසා කෑම නිසා ගොවියාට එම වාසිය ලැබෙන්නේ නැත.

                සහල් මිල ඉහළ යාමේ වාසිය කුඩා මෝල් හිමියාටද  ලැබෙන්නේ නැත. මේ වන විට කුඩා පරිමාණ සහල් සහ සහල් පිටි මෝල් හිමියන් 5000කට අධික පිරිසක් තම ව්‍යාපාර අත්හැර ඇත. පාන්පිටි වලින් කෑම හැදිමේදී යම් පහසුවක් ඇත්වීමට හේතුවන තත්වය සහිත සහල් පිටි වර්ගයක් නිදපවීම සඳහා ඉතා සුවිශේෂි සහල් පිටි කර්මාන්ත ශාලාවවක් සඳහා මහා පරිමාණයෙන් ආයෝජනය කළ තරුණ ව්‍යාපාරිකයෙක් අද මහපාරට ඇද වැටී ඇත. සහල්  මිල ඉහළ නිසා යාම ප‍්‍රමිතියෙන් යුතු සහල් පිටි නිපදවන්නාටද වෙළදපළ තුළ පැවතීම පහසු නැත. කෙසේ වෙතත් ඉහත ප‍්‍රශ්නමාලාව විසින් මතකළ ප‍්‍රධාන ප‍්‍රශ්නය වන වෙළඳපල තුළ සිදුකොට ඇති ‘‘පාන්පිටි මිල විකෘතිය’’ පමණක් අධික පාන්පිටි පරිභෝජනයට හේතු වනවාද? යන්නට පිළිතුරු සැපයීය යුතුය. ඒ සඳහා ඉතා සරල ප‍්‍රශ්නයක්ම යොදාගත හැක. එනම් රු. මිලියන 17000ක් උඩ සාක්කුවේ දමාගත් පුද්ගලයකුට හෝ සමාගම් ලොක්කෙක්ට කළ නොහැක්කේ කුමක්ද? ඔහු විසින් මිලදීගත නොහැකි දේශපාලකයින් හෝ  නිලධාරීන් සිටී නම් එය රටට අශිර්වාදයකි.

                එසේම යම් සමාගමක් තමා අනයනය කළ පරිභෝජන ද්‍රව්‍යවලට ඒ වන විට ගෙවිය යුතුව තිබූ බදු මුදල් ගෙවීම සඳහා පැමිණි විට ‘‘භාණ්ඩාගාරයට අවශ්‍යතරම් මුදල් තිබේ. ඔබ බදු ගෙවන්න අවශ්‍ය නැහැ ඒවා ඔබම තියාගන්න’’ යැයි කියන දේශපාලකයින් හෝ නිලධාරීන් සිටියි නම් අප ඔවුන් වෙස්සන්තරලා ලෙස හදුන්වනවාද? මෙම සමාගම විසින් පාන් පිටි තොග මිල ඉතා අඩු මට්ටමක තබා ගනිමින් විවිධ මිලට විවිධ පාන් වර්ග සහ කෙටි කෑම විකිණීම සඳහා බේකරි හිමියාට විශාල සහන ලබා දෙන බව සත්‍යයකි. ඔවුන් විසින් තිරි`ගු පිටි තොග මිල විවිධ බේකරි හිමියන්ගේ පරිමාව අනුව වෙනස් කෙරෙන බවද ප‍්‍රසිද්ධ රහසකි. එසේම සමාගම විසින් එසේ ඉහළ වෙළඳපොල වටිනාකමක් ලබාදෙන බේකරි හිමියන් වෙළඳුන් සහ ඒවායේ ප‍්‍රධාන සේවකයන්ට විදේශ සංචාර ලබාදෙමින් ඔවුන් දිරිමත් කරන බවද රහසක් නොවේ. පසුගිය වසරේ එසේ විදේශ සංචාර වලින් පිදුම් ලැබීමට වාසනාවන්ත වූ පිරිස 500ක් පමණ වූ බව වාර්තා විය.

                පාන්පිට සමාගම විසින් පාන්පිටි මිල සහ පාන් ඇතුළු නිශ්පාදන වල මිල අතර වෙළඳුන් දිරිමත් කරන මිල පරාසයක් පවත්වාගෙන යන්නේ දේශියව ලැබෙන සහනාධාර පමණක් භාවිතා කරමින් නොවේ. එම සමාගම විසින් රු. 38කට තිරි`ගු ඇට කි.ග‍්‍රෑම් එකක් වරායෙන් ඇතුළට ගෙන එන්නේ දේශියව මිලියන 17000ක සහනාධාරයක් ලැබෙන නිසා පමණක් නොවේ. බටහිර රටවල් තිරි`ගු ගොවීන්ට අවම වශයෙන් 20%ක සහනාධාරයක් ලබාදේ. ඒ අනුව ඔවුන්ට තොග මිල 20%කින් අඩු කළ හැක. බටහිර රටවල් තම ගොවීන්ට වසරකට ලබාදෙන සමස්ථ සහනාධාරවල වටිනාකම ඇ.ඩොලර් බිලියන 300 හෙවත් මිලියන ලක්‍ෂ 3 ඉක්මවා යයි.  බටහිර රටවල් සහනාධාර ලබාදී මිල අඩු කරන බැවින් අනිකුත් රටවල්ටද එම ප‍්‍රතිපත්තිය අනුගමණය කිරීමට සිදුව ඇත. එසේ සහනාධාර ලබාදීමට අමතරව වෙනත් වෙළඳපොළ හේතු නිසාද ලෝක වොළඳ පලේ තිරි`ගු මිල තවදුරටත් අඩු විය. උදාහරණයක් ලෙස මෙ.ටෙ. එකක් මිල ඩොලර් 500 සිට 350 දක්වා අඩුවිය. එම නිසා දෙපැත්තකින් ලැබෙන සහනාදාර යොදා ගනිමින් එම සමාගම මිල යුද්ධයක් පමණක් නොව ප‍්‍රචාරණ යුද්ධයක්ද දියත් කිරීමට සමත් වී ඇත. කුඩා පරිමාණ බේකරි හිමියන් පවා යොදා ගිනිමින් දියත්කොට ඇති ප‍්‍රචාරණ යුද්ධයේ තරම ගොවි බිම් ඇතුළු ඈත ගම් දනව් වල සැරිසරන ‘‘චූන් පාන්’’ රථ වලින් මැන ගත හැක. ඉතා කුඩා නගරවල පවා සවසට එවැනි රථ 10-15ක් දැකගත හැක.

                කෙසේවෙතත් මහා පරිමාණ බහුජාතික සමාගමක් සහ රජයක් මැදිහත්වී සිදුකරන වෙළඳ පළ විකෘතිය සහ ඒ මගින් ලබාගන්නා මූල්‍ය ලීවරයතුළින් දියත් කරන ප‍්‍රචාරණ යුද්ධය නැවැත්වීය හැක්කේ මිල විකෘතිය නිවැරදි කිරීම මගින් පමණි. ඒ සඳහා පළමුව 2015දී ලබාදුන් කි.ග‍්‍රැ.1කට රු. 10ක් වූ සහනාධාරය වහා අහෝසිකළ යුතුය. ඉන් පසුව දෙවනුව ලෝක වෙළඳපලේ මිල අඩුවීම මගින් ඇතිවන මිල විකෘතිය නිවැරදි කිරීම සඳහා අවම වශයෙන් තවත් රු. 20ක විශේෂ බද්දක් පැනවිය යුතුය. සැබෑලෙසම වී වගාව සහ වී ගොවියා මෙන්ම රටේ දීර්ඝ කාලීන ආහාර සුරක්ෂිතතාව රැුකගත හැක්කේ එසේ බදු පැනවීම හරහා තිරිගු පිටි තොග මිල සහල් පිටි තොග මිලට වඩා අවම වශයෙන් රු. 20කින් ඉහළ දැමීම මගිනි. ගොවියා පමණක් නොව කුඩා පරිමාණ සහල් පිටි සහ සහල් මෝල් හිමියන්ගේ කණගාටුදායක ඉරණම වෙනස් කළ හැක්කේ ඒ මගින් පමණි. එවිට පාරිභෝගිකයා දුකට පත්වන බවට තර්කයක් මතු විය හැක. නමුත් එම තර්කය ව්‍යාජ පුහු තර්කයක් පමණි.

                පාරිභෝගිකයා තුළ තම ජාතික ආර්ථික වගකීම සහ සෞඛ්‍ය සම්පන්න ආහාර සංස්කෘතියක වටිනාකම පිළිබඳ ප‍්‍රභල මානසික බලපෑමක් ඇතිකළ යුතුය. වෛද්‍ය සංගම් පවා ඊට මැදිහත් විය යුතුය. පළමුවෙන්ම රෝහල් රජයේ ආයතන සහ පාසල් සඳහා ආහාර ප‍්‍රතිපත්තියක් හඳුන්වාදීමට ඔවුන් මැදිහත් විය යුතුය. එහෙත් ජාතික ආර්ථිකය සහ ආහාර සුරක්ෂිතතාව මෙන්ම මහජන සෞඛ්‍ය අවශ්‍යතා සුරැුකීම සඳහා පාන්පිටි පාරිභෝජනය සම්පූර්ණයෙන්ම නැවැත්වීම අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ මෙ.ටො. ලක්‍ෂ 13ක මට්ටමේ තිබූ පාන්පිටි පරිභෝජනය මො.ටො. ලක්‍ෂ 17 දක්වා වැඩිවීම වෙනුවට එය අඩුතරමේ ලක්‍ෂ 7 දක්වා අඩුකර ගැනීමය. එවිට එම ප‍්‍රමාණයට සාපේක්ෂව සහල් පරිභෝජනය ඉහළ දැමිය හැක. මුල් අවදියේදී නිෂ්පාදන හි`ගය පියවීම සඳහා පාන්පිටි වෙනුවට සහල් ආනයනය කළ හැක. පසුව නිෂ්පාදනය ඉහළ යාමට සාපෙක්ෂව සහල් ආනයනය අඩුකළ හැක.

                ජාතික ආර්ථිකය, ආහාර සුරක්‍ෂිතතාව, ගොවියාගේ ඉරණම, මහජන සෞඛ්‍ය ආදී කුමන පැතිකඩකින් බැලූවද පාන්පිටි ආනයනය වෙනුවට සහල් ආනයනය ආදේශ කිරිම තර්කානුකූල වේ. පාන්පිටි ආනයනය මෙ.ටෙ. ලක්ෂ 7දක්වා අඩුකළද බදු වැඩි කිරීම මගින් හෙවත් මිල විකෘතිය අඩු කිරීම මගින් රු. මිලියන 21000ක අදායමක් රජයට ලැබේ. එම මුදලින් අඩු ආදායම්ලාභින්ට සහ වතුකරයේ පාන්පිටි සංස්කෘතියට ඇබ්බැහි වි සිටින ජනතාවට ඉතා පහසුවෙන් සහන ලබාදිය හැක. එම අරමුදලින් කොටසක් යොදාවා බේකරි හිමියන් අතර සහල් පිටි මිශ‍්‍ර ආහාර ප‍්‍රචලිත කිරීම සහ පාරිභෝගික අධ්‍යාපනය සඳහා වැඩසටහන් දියත් කළ හැක. නමුත් ඊට එරෙහිව පවතින ප‍්‍රධාන බාධකය වන්නේ පාරිභෝගික විරෝධයට වඩා පාන්පිටි සමාගමෙන් වාසි ලබාගන්නා නිලධාරීන්ගේ සහ දේශපාලකයනි්ගේ විරෝධය බවට විවාදයක් නැත. නමුත් ඒ සියල්ලට වඩා යම් නිලධාරීන් සහ දේශපාලකයින් පිරිසකගේ හි`ගන මානසික්තවය ප‍්‍රභල බාධාවක් විය හැක. ඔවුන් ටයිකෝට් ඇන්දත් ඔවුන්ගේ එම දුප්පත් මානසිකත්වය වෙනස් කිරීම පහසු නැත. ණය ගෙවා ගැනීමට නොහැකි නිසා හම්බන්තොට වරාය විකිණිමට සැරසෙන මෙම පිරිස් වසරක ණය වාරිකය වන ඇමෙරිකානු ඩොලර් මිලියන 95ට වඩා වැඩි මුදලක් එනම් දළ වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 110ක පමණ සහනාධාරයක් පාන්පිටි සමාගමට ලබාදේ. ඒ අනුව මහජනයා දැන් සොයාගත යුත්තේ තමා සිනාසිය යුත්තේ හෝ හැ`ඩිය යුත්තේ කුමන මුඛයෙන්ද යන්න නොවේද?

                දැන් ‘‘අලි මදිවට හරක්’’ කීවා සේ වී ගොවියාගේ අර්බුදය කිරි ගොවියා දක්වා පුළුල් කිරීමට ආණ්ඩුව කටයුතු කොට ඇත. ඇත්ත වශයෙන්ම වී ගොවියාගේ ප‍්‍රශ්නය සහ කිරි ගොවියාගේ ප‍්‍රශ්නය යනුවෙන් ප‍්‍රශ්න දෙකක් නැත. ශ‍්‍රී ලංකාවේ ගොවියන්ගෙන් 75%ක් සතුව ඇත්තේ අක්කර 2 කකට වඩා අඩු වගාභූමි ප‍්‍රමාණයකි. එම නිසා ඔවුන්ගේ ආදායම් මට්ටම් වැඩි කිරීමේදී භූමිය නම් වූ සාධකය තීරණාත්මක බාධාවක් බවට පත්වේ. එය අතික‍්‍රමණය කළ හැක්කේ බෝිග වගාව සම`ග කිරි ගොවිතැන විධිමත්ව ඒකාබද්ධ කිරීමෙනි. එනම් ලක්‍ෂ 8ක් පමණ වන බෝගවගාවෙන් ජීවත්වන ගොවි පවුල් සියල්ල කිරිගොවි පවුල් බවටද පත්විය යුතුය. ඒ මගින් එම ගොවි පවුල්වල ආහාර සුරක්‍ෂිතතාවයට පිටුවහලක් ලැබෙන අතර ඔවුන්ගේ වගා ක‍්‍රමවලද යහපත් වෙනස්කම් සිදුකළ හැක. උදාහරණයක් ලෙස වස විෂවලින් තොර ගෙවතු වගා සහ අනෙකුත් ගොවිතැන් ක‍්‍රම ප‍්‍රචලිත කිරිම සඳහා කිරි ගොවිැතන මගින් මහත් පිටුවහලක් ලැබේ. නමුත් යහපාලන ආණ්ඩුවේ බදු ප‍්‍රතිපත්ති ඊට එරෙහිව පවතින ප‍්‍රධාන බාධකය බවට පත් වී ඇත.

                යහපාලන  රජය බලයට පත්වීමෙන් පසුව ආනයනික කිරිපිටි බද්ද ඒ වන විට පැවැති කි.ග‍්‍රෑම් 1කට රු. 225 මට්ටමේ සිට කි.ග‍්‍රෑම්  1කට රු.45 දක්වා විශාල ප‍්‍රමාණයකින් අඩුකර ඇත. ඒ මගින් කිරිපිටි ආනයනය කරන මහා සමාගම්වලට දළ වශයෙන් රු. මිලියන 14,000 පමණ සහනාධාරයක් ලබාදී ඇත. එනම් එපමණ මුදලක් මහජන බදු මුදලින් එම සමාගම් වලට සහන ලෙස ලබාදී ඇත. නමුත් එම සහනයෙන් පාරිභෝගිකයාට ලබාදී ඇත්තේ ඉතා සුළු පුතිශතයකිි. ඒ අනුව ආණ්ඩුවේ වෙස්සන්තරලා එතරම් විශාල මුදලක් සම්පූර්ණයෙන්ම දන්දෙන බව පිළිගත හැකිද? ආණ්ඩුවේ ‘‘බදු සහන කර්මාන්තය’’  යම් අයට ඉතා ලාභදායී විය හැකි බව නම් කුඩා දරුවෙකුට වුවද තේරුගත හැක.

                කෙසේවෙතත් මෙම බදු සහන කර්මාන්තය නිසා දේශිය කිරි සකස් කිරීමේ කර්මාන්තය විශේෂයෙන්ම කිරිපිටි කර්මාන්තය කඩා වැටෙන බව පැහැදිලිව පෙනේ. කිරි ආර්ථිකය දියුණු කිරීම සඳහා සැපයුම් පැත්තෙන් නිෂ්පාදනය වැඩි කිරීම සඳහා කරනු ලබන මැදිහත්වීම ඵල ලබන්නේ ඉල්ලූම පැත්තෙන්  ඕනෑම කිරි ප‍්‍රමාණයක් නිශ්චිත මිලකට  මිලදී ගැනීමේ සහතිකය ලබාදීමෙනි. ඒ සඳහා වන පූර්ව කොන්දේසිය වන්නේ රට පුරා අවම වශයෙන් කිරි පිටි කර්මාන්තශාලා 5ක් පවත්වාගෙන යාමයි. ආයනික කිරිපිටි වලට බදු සහන දෙමින් ඒවා අඩු මිලට වෙළඳපලට නිදහස් කරන විට රටක දේශිය කිරිපිටි කර්මාන්තය පවත්වාගෙන යන්නේ කෙසේද?

                ඊට අමතරව ආනයනික කිරිපිටි සමාගම් රු. මිලියන 14,000ක් වූ බදුසහන  හෙවත් ජනතාවගෙන් උදුරා ගන්නා මුදල හෙවත් සහනාධාරය උඩ සාක්කුවේ දමාගෙන ප‍්‍රචාරණ යුද්දයක් දියත් කරන විට දේශිය සමාගම් ඊට ඔරොත්තු දෙන්නේ කෙසේද? ඒ අනුව කිරි ලීටරයක් සඳහා රු. 60ක සහතික මිල ගෙවිය හැක්කේ තව කොපමණ කාලයකටද යන්න පිළිබඳව කිසිදු සහතිකයක් කිසිවකුට දිය නොහැක. රටේ දැනට පවතින පෞද්ගලික හා රජයේ සමාගම් 02 විසින් ‘‘තවදුරටත් ගොවියාගෙන් කිරි මිලදී ගත නොහැක’’ යන බෝඞ් ලෑල්ල කර්මාන්ත ශාලාවේ එල්ලන දිනය වැඩි ඇතක නොවේ. දැනටමත් රජයේ කර්මාන්ත ශාලාවේ අතිරික්ත කිරි ලබාදෙන්නේ පෞද්ගලික ආයතනයටය. එම ආයතනය වහා පුළුල් නොකළහොත් ගොවියාට සිදුවන්නේ කිරි මහපාරේ හැලීමටය. පවතින තත්වය තුළ දේශිය කිරි කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට යම් ආයෝජකයෙක් කල්පනා කරයි නම් ඔහුට මොළේ අමාරුවක් තිබිය යුතුය.

                ඊට අමතරව කිරි පිටි පමණක් නොව අනයනික ෆාම් තෙල්වල තිරුබදු සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම නිසා ඉතිහාසයේ කිසි දිනෙක ශ‍්‍රි ලංකාවේ පැන නොනැගුනු මහා පරිමාණ ගැටළුවක් දැන් පැනනැගී ඇත. ඉතා අඩු මිලට ශ‍්‍රී ලංකාවට ආනයනය කෙරෙන ගුණාත්මක තත්වයෙන් අඩු ෆාම්තෙල් යොදා ගනිමින් කෘතිම දියර කිරි නිපදවීමේ කර්මාන්තයක් දැන් ආරම්භ වී ඇත. පිටකොටුවේ යම් කූඨ වෙළඳුන් කිහිප දෙනෙකු සහ නැගෙනහිර පළාතේ ජාවාරම්කාරයින් පිරිසක් එක් වී මෙම කෘතිම දියර කිරි නිස්පාදන කර්මාන්තය ආරම්භ කොට ඇති බව වාර්තාවේ. ඒ සඳහා ඔවුන් ෆාම්තෙල් වලට අමතරව යූරියා, සීනි, කොස්ටික් සෝඩා සහ ෂැම්පු වර්ගයක් භාවිතා කරන බව එළිදරව් වී ඇත. එම ද්‍රව්‍ය සියල්ල අවශ්‍ය ප‍්‍රමාණවලින් වට්ටෝරුවක් සහ උපදෙස් සහිතව පිටකොටුවේ වෙළඳුන්ගෙන් ලබාගත හැකි බවට සාක්‍ෂි ඇත.

                ඒ ආකාරයට කෘතිමව හදන දියර කිරි ලීටරයකට රු. 30ක් පමණ වැය වුවත් ස්වභාවික කිරි සම`ග මිශ‍්‍රකොට ඒවා තොග වෙළඳුන්ට විකුණන්නේ සහතික මිල වන රු. 60කටය. ආනයනික කිරි පිටි සඳහා විශාල වශයෙන් බදු අඩුකොට ඇති බැවින් සහ කල් ඉකුත්වූ බාල කිරිපිටි ඉතා අඩු මිලට ජාත්‍යන්තර වෙළඳපලෙන් ලබාගත හැකි බැවින් එසේ මිශ‍්‍ර කිරීම සඳහා ස්වභාවික කිරි වෙනුවට එම බාල කිරි පිටි දියකර සාදාගන්නා ව්‍යාජ දියර කිරි යොදාගන්නා බවද වාර්තාවේ. මෙම තත්වය වෙනස් කිරිම සඳහා භාණ්ඩාගාර නිලධාරීන් කෙසේ වෙතත් සෞඛ්‍ය බලධාරීන් හෝ මැදිහත් නොවුණහොත් දේශිය කිරි කර්මාන්තය ‘‘වලපල්ලට’’ යන බවට කිසිදු සැකයක් නැත. එය කිරිපිටි ආනයය කරන සමාගම්වල ප‍්‍රර්ථනාව බවට කිසිදු සැකයක් නැත. ඒ නිසාම එය අප රටේ භාණ්ඩාගාර නිලධාරීන්ගේද ප‍්‍රර්ථනාව බවට පත්වී ඇත.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර
    

Comments

Popular posts from this blog

හම්බන්තොට වරාය චීනට, කොළඹ වරාය ඉන්දියාවට, මත්තල ගුවන්තොට ඇමෙරිකාවට : ඊළඟට කුමක්ද?

දේශීය ව්‍යවසායකයා හාන්සි කළ මිල විකෘතිය

යටත් කිරීමට පෙර යටත්වීම සහ බොරු වලවල් කැපීම: