අතීසාරයට අමුඩ ගසන ඖෂධ අධිකාරිය


    අහඹු ලෙස තෝරාගත් ඖෂධ වර්ග 48ක් සඳහා උපරීම සිල්ලර මිලක් නියම කිරීමෙන් පසුව තමා වෙත බොහෝ පැසසුම් ගලා එනු ඇතැයි ගරු සෞඛ්‍ය අමාත්‍යතුමා කල්පනා කරන්නට ඇත. නමුත් ඉතා කණගාටුදායක ලෙස ඊට ප‍්‍රතිවිරුද්ධ දේ සිදුවෙමින් ඇත. ඒ අනුව අදාල ඖෂධ වර්ග 48 තෝරාගත් ආකාරය පිළිබඳව යම් වෛiවරු තම අසතුටු පළකරති. ඒ අතර ගුණාත්මක ඖෂධ වෙළඳපොලෙන් ඉවත්වන බවට සහ මිල අඩු ඖෂධවල මිල ඉහළ යන බවටද චෝදනා එල්ල වේ.  වර්තමාන යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මහජනයා තුළ ඉතා විශාල බලාපොරොත්තු දල්වමින් සම්මත කළ පළමු පනත වූයේ ඖෂධ අධිකාරී පනතයි. එම පනත සකස් කිරීමේදී එහි අන්තර්ගත විය යුතුව තිබූ ප‍්‍රධාන බලතල 10ක් ඖෂධ මාෆියාවේ  බලපෑම මත දුර්වල කිරීමට කටයුතු කර ඇති බවට ජනමාධ්‍ය මගින් එළිදරව් කොට තිබුණි.        නමුත් එම පෙන්වාදීම් පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදක්වා සේනක බිබිලෙගේ අපෙක්ෂාවන්ට පිටුපාමීන් එම පනත ‘‘නපුංසක’’ පනතක් ලෙස සම්මත කිරීමට වාමාංශික පක්‍ෂ වල පවා සහයෝගය ලැබුණි. ඒ මගින් එම පක්‍ෂ විසින් තම දේශපාලන පෙරගමන්කරු පාවා දුන් බවටද අප විසින් චෝදනා කරන්නට යෙදුනි. දැන් මහාචාර්ය අසිත  සිල්වා මහතා උත්සාහ කරන්නේ එම නපුංසක පනත මගින් දරුවකු බිහි කිරීමටය.
  

                ඖෂධ අධිකාරී පනතේ නිවැරදි කළ යුතු බවට හෙවත් සංශෝධනය කළ යුතු බවට හදුනාගෙන ඇති බලතල 10 අතුරින් ප‍්‍රධාන එකක් වන්නේ ඖෂධ වල මිල නියම කිරීම සඳහා පාරිභෝගික අධිකාරියේ බලය ඉක්මවා යන බලයක් ලබානොගැනීමේ ගැටළුවයි. පසුගිය කාලයේදී වර්තමාන ජනාධිපති සහ හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතාට උසාවිවල බංකු මත රස්තියාදු වීමට සිදුවූයේ. දුම්වැටි පෙට්ටිවල රූපමය අවවාද මුද්‍රණය කළ යුතු බවට අදාල පනත යටතේ රෙගුලාසියක් පැනවීමට උත්සාහ කිරීම නිසාය. වර්තමාන අමාත්‍යවරයාටද ඒ දේම සිදුවීමට බොහෝ ඉඩක් ඇතත් සිදුකොට ඇති ව්‍යාජ මිල පාලනයට ඖෂධ මාෆියාවේ යම් පිරිසකගේ අනුමැතිය ලැබී ඇති බව කියවෙන හෙයින් එසේ නොවීමටද ඉඩක් ඇත.

                මෙම මිල පාලනය ව්‍යාජ උත්සාහයක් බවට බොහෝ පාර්ශ්ව වලින් චෝදනා එල්ල වන්නේ කුමක් නිසාද? ඊට පිළිතුරු සොයා ගැනීම සඳහා පැතිකඩ දෙකකින් එම උත්සාහය දෙස බැලිය යුතුය. පළමුවැන්න, අදාල ක‍්‍රමවේදයේ පවතින තාක්‍ෂණික සහ නීතිමය දුර්වලකම් හදුනා ගැනීමය. දෙවැන්න සැබෑ ලෙසම ඖෂධ මිල පහළ දමන අතර ගුණාත්මක බවද සහතික කිරීම සඳහා ගතයුතු නිවැරදි ක‍්‍රියා පිළිවෙත කුමක්ද යන්න සොයා බැලීමයි. ඒ අනුව පළමුව මහාචාර්ය අසිත සිල්වා මහතාගේ ‘‘නිර්මාණශිලී’’ මිල පාලන ක‍්‍රමවේදය තාක්ෂණිකව විමසා බැලිය යුතුය. මෙම මිල පාලන ක‍්‍රමවේදය තුළ ඖෂධ වර්ග 48කට අයත් විවිධ වෙළඳ නාම සහ ඖෂධ නාම මිල මට්ටම අනුව පෙලගස්වා එම පෙළගැසීම් වල හරි මැද ඇති මිල උපරිම සිල්ලර මිල ලෙස තෝරා ගෙන ඇත. එහිදී ඔවුන් කුමන මිල මට්ටමක පවතින වෙළදනාම හෝ ඖෂධ නාම බහුලව භවිතා වනවාද යන මූලික කරුණවත් සැලකිල්ලට ගෙන නැත. එසේ බහුලව භාවිතා වන නාමයේ මිල අනුව හෙවත් ඊට සාපෙක්ෂව උපරිම මිල නියම කිරීම තුළ යම් සාධාරණයක් සිදුවනු ඇතැයි තර්ක කළ හැක. එවිට එම මිල මට්ටම අඩු වන ප‍්‍රමාණයට සාපෙක්ෂව බහුතරයක් මහජනයාට සහන සැලසෙන බවට තර්කයක් ගොඩ නැගිය හැක.

                නමුත් දැන් සිදුවන්නේ උපරිම මිල සහිත වෙළදනාමයේ මිල මෙපමණ ප‍්‍රමාණයකින් අඩුවූවා යැයි උදම් ඇනීමය. ඒ අනුව ඉහළම මිල සහිත වෙළඳ නාම භාවිතා වන්නේ 10%ක් නම් මිල අඩුවීමේ වාසිය ලැබෙන්නේ එම පිරිසට පමණි. එවැනි තත්වයක් තුළ එසේ අඩුවන මිල එම ඖෂධ වර්ගය භාවිතා කරන සියලූ දෙනාටම ලැබෙන බවට ගණන් හදා පෙන්වීම විජ්ජාවක් නොවේ නම් අමු තක්කඩි කමකි. උදාහරණයක් ලෙස අධික රුධිර පීඩනය සඳහා භාවිතා වන ඖෂධ අතුරින් එක් වර්ගයක් වන ‘‘ලොසාටන්’’ නැමති ඖෂධයේ වෙළඳනාම 23ක් ලියාපදිංචි වී ඇත. ඒ අතුරින් ඉහළම මිල පෙත්තකට රු 28ක් වන අතර පහළම මිල රු. 2කි. දැන් මෙම මිල විජ්ජාව අනුව රු28 සහ ඒ ආශ‍්‍රිත ඉහළ මිල මට්ටම සහිත වෙළදනාම වල මිල රු. 10 දක්වා අඩු කෙරේ. ඒ මගින් රු. 2ට විකුණන වෙළඳනාම සහ ඒ ආශ‍්‍රිත පහළ මිල මට්ටම සහිත වෙළඳනාම වල මිල රු. 10 දක්වා වැඩි කිරීමට පෙළඹවීමක් ඇතිකෙරේ. එසේ වැඩිකිරීමට ඉඩනොදෙන බවට අමාත්‍යවරයා සහ සභාපතිවරයා විසින් වහසිබස් දෙඩා ඇතත් නීතිය අනුව එය වැළැක්වීමට හැකියාවක් නැත.

                එම උදාහරණට අනුව වැඩි වශයෙන් පරිභෝජනය කෙරෙන්නේ රු. 10ට අඩු වෙළඳනාම නම් මෙම ඊනියා මිල පාලනයෙන් මහජනයාට ලැබෙන වාසිය කුමක්ද? එවැනි තත්වයකදී බහුතරයක් ජනතාවට එම ඖෂධ සඳහා දැනට ගෙවනවාට වඩා වැඩි මිලක් ගෙවීමට සිදුවේ. එය අපෙක්ෂා කළ අරමුණට සම්පූර්ණයෙන්ම පටහැනි ප‍්‍රතිඵලයකි. ඊට අමතරව මිල වැඩි එහෙත් ගුණාත්මක අ`ගය ඉතා ඉහළ මට්ටමක තිබෙන ඖෂධ තිබේනම් ඒවායේ මිල අහුඹු ලෙස අඩු කිරීමට සිදුවීම නිසා ඒවා වෙළඳපලෙක් ඉවත් වීමටද ඉඩ ඇත. අනෙක් පැත්තෙන් න්‍යායාත්මකව ගත්විට ඖෂධ යනු සාමාන්‍ය පාරිභෝගික භාණ්ඩයක් මෙන් මහජනයා තම කැමැත්තෙන් නිදහසේ  මිලදී ගන්නා භාණ්ඩයක් නොවේ. ඒවායේ පරිභෝජනය උත්තේජනය කරන්නේ සැපයුම්කරුවා විසිනි. ඒ අනුව මිල සාධකයේ වෙනස අනුව මහජනයා විසින් තේරීම් කිරීමට නම් තවත් විශාල තොරතුරු ප‍්‍රමාණයක් ඔවුන් වෙත මුදා හැරිය යුතු අතර ඔවුන් ආරක්‍ෂා කිරීම සඳහා සහ ඔවුන්ට ම`ග පෙන්වීම සඳහා වෙනත් යාන්ත‍්‍රණ නිර්මාණය කළ යුතුය. කෙසේ වෙතත් ඉහත සඳහන් කළ ආකාරයටම පනත තුළ දුර්වලකොට ඇතැයි සැලකෙන  බලතල 10 අතරින් 08ක්ම මිල පාලන ක‍්‍රියාවලියට උපකාරී වේ.

                ඉන් පලමු වැන්න  පාරිභෝගික අධිකාරියේ බලතල ඉක්මවා යන ආකාරය මිල පාලනය සඳහා නිශ්චිත මෙන්ම ප‍්‍රභල ප‍්‍රතිපාදනයක් නොමැති වීමය. එම නිසා මිල පාලන ක‍්‍රියාමාර්ග වලට නීති මගින් අභියෝග කිරිමේ ඉඩක් ඇත. කලයුතු හොදම දේ වන්නේ පනත සංශෝධනය කර එම ප‍්‍රතිපාදනය බලවත් කිරීමය. මිල පාලනයට අදාල පනතේ පවතින දෙවන දුර්වලකම වන්නේ ශ‍්‍රී ලංකා ඖෂධ සංග‍්‍රහය සහ අත්‍යවශ්‍ය ඖෂධ ලැයිස්තුව සකස් කිරීමට සහ පනත යටතේ ඒවා නීතිගත කිරීම සඳහා ප‍්‍රතිපාදනයක් නොමැතිවීමයි.එම තත්වය තුළ මිල පාලනයට යටත් කෙරෙන ඖෂධය තේරීම පිළිබඳ නීතිමය ගැටළුවක් මතුවේ. ඊට අමතරව ඒ මගින් එම ඖෂධවල මිල ප‍්‍රදර්ශනය කිරීමට සහ ඊට අදාලව තොරතුරු ලබාදීම අනිවාර්ය  කිරිමේ නියෝග පැනවීමේදී නීතිමය බාධා ඇතිවේ.

                තුන්වන දුර්වලතාවය වන්නේ ඖෂධ ලියාපදිංචි කිරිමේදී ඖෂධයේ ගුණාත්මක තත්වය සම`ග මිල සාධකය එකට ගැටගසා තීන්දු ගැනීම සඳහා ප‍්‍රතිපාදනයක් පනතේ අඩංගු නොවීමයි. නාමිකව සහ සංකල්පීය ලෙස එවැන්නකට ඉඩ ඇතැයි තර්ක කළ හැකි වුවත් ඊට අදාලව නිශ්චිත ප‍්‍රතිපාදන පනත මගින් පනවා නැත. ඖෂධ වල ගුණාත්මක තත්වය පිළිබඳව නිවැරදිව සහතිකය ලබාදීමේ වගකීම ඇත්තේ ඖෂධ අධිකාරියටය. මහජනයාගේ පැත්තෙන් ගත්විට  ගුණාත්මක ඖෂධ තේරීමේ තොරතුරු ඔවුන්ට ගෝචර නොවන අතර ඔවුන් විසින් ප‍්‍රායෝගිකව ඒවා භාවිතා කිරිමේ ඉඩක් නැත. ඖෂධ අධිකාරිය එම සහතිකය ලබාදෙන්නේ ලෝක වෙළඳ පොළේ ඉහලම මිල සහිත ඖෂධ වලට නම් ඒවා ගුණාත්මක තත්වයෙනේ කෙතරම් ඉහළ වුවත් මිල සාධකය බාධාවක් බවට පත්වේ. එම නිසා ගුණාත්මක ඖෂධ සාධාරණ මිලට යන නිර්නායකය මත අධිකාරිය ක‍්‍රියා කළ යුතුය. ලියාපදිංචිය ලබාදුන් සියලූ ඖෂධ වල තත්වය අඛණ්ඩබව පරික්‍ෂා කිරිමේ ක‍්‍රමවේදයක් මගින් මහජන විශ්වාසය තහවුරු කෙරෙන්නේ නම් මහජනයා අවම මිල සහිත ඖෂධය තෝරාගැනීමට බිය වන්නේ නැත. එහෙත් ඊට අදාල පූර්ව කොන්දේසියක් වන්නේ මිල සංසන්දනය කිරීම සඳහා තොරතුරු නිදහසේ ලබාදීමයි.

                 
                ඒ අනුව පනතේ හතරවන දුර්වලකම වන්නේ එසේ අකණ්ඩව ගුණාත්මක භාවය පරික්‍ෂාවට ලක් කිරීම මගින් තත්වය සහතික කිරීමට අදාල නිශ්චිත ප‍්‍රතිපාදන පනත තුළ අඩංගු නොවීමය. උදාහරණයක් ලෙස ගුණාත්මක තත්වය බිඳ වැටීම පිළිබඳ වාර්තා කිරීම, ඒවා පිළිබඳ තොරතුරු මහජනයාට ලබාදීම සහ ඊට අනුව ලියාපදිංචිය අත්හිටුවීම ආදී ක‍්‍රියාමාර්ග සඳහා පැහැදිලි ප‍්‍රතිපාදන පනතට ඇතුල්කොට නැත. ශ‍්‍රී ලංකාව තුළ පමණක් නොව වෙනත් රටවල සිදුවන තත්ව පාලන බිදවැටීම් වලට අදාල තොරතුරු ද නිරන්තරයෙන් ලබාගෙන ඖෂධ වෙළඳනාම ‘‘ආවේක්‍ෂණය’’ කිරිමේ ක‍්‍රමවේදයක් පනත මගින් හදුන්වාදී නැත. ඒ සඳහා අවශ්‍ය තොරතුරු ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහ දියුණ  රටවල ඖෂධ අධිකාරී මගින් නිරන්තරයෙන් ලබාගත හැක. ඒ අනුව අසාදු ලේඛනගත වන ඖෂධ සමාගම් වලට වොළඳපොලෙන් ඉවත්ව යාමේ පීඩනය ඇතිවේ. ඒ මගින් එම සමාගම්වලට තම ඖෂධවල ගුණාත්මක තත්වය ඉහළ දැමීමට පෙළඹවීමක් ඇතිවේ. ඒ අනුව ඖෂධ සාපයුම්කරුවන්ගේ නිෂ්පාදන සමාගම් පිළිබඳ තොරතුරු ලබාගැනීම සහ ඒවායේ ‘‘හොද කර්මාන්ත පුරුදු’’ නිරන්තරයෙන් පරික්‍ෂාවට ලක්කිරිමේ ප‍්‍රතිපාදනද නිශ්චිතව පනතට ඇතුල්කළ යුතු වේ.

                පනතේ පස්වැනි දුර්වලතාවය නිවැරදි කිරීම සඳහා ඖෂධ නාමයෙන්ම වට්ටෝරු ලිවීම අනිවාර්ය කෙරෙන ප‍්‍රතිපාදනය තුළට  ඖෂධ නාමය ඉංග‍්‍රීසි කැපිටල්අකුරින් ලිවිය යුතු බවට හෝ පරිගණකය මගින් මුද්‍රණය කළ යුතු බවට නිර්නායක පැනවිය යුතුය. එහිදී අවශ්‍යනම් වෛiවරයා වඩා සුදුසුයැයි සලකන වෙළඳනාමය  ද වරහන් තුළ පමණක් ලිවීමට අවසර දිය හැක. ඖෂධ නාමය සහ වෙළඳ නාමය අතර ගුණාත්මක වශයෙන් වෙනසක් නොමැති බවට අධිකාරිය මගින් නිවැරදි සහතිකය ලබාදෙනවානම් මහජනයාට වැදගත් වන්නේ මිල සාධකය පමණි. නමුත් මහජනයාට වෙළඳනාම සහ ඖෂධ නාම කියවාගත නොහැකි නම් ඒවා අතර පවතින මිල වෙනස සහ ඒවා සහ වෙනත් වෙළඳනාම අතර පවතින මිල වෙනස සන්සන්ධනය කිරීමට ඉඩ ලැබෙන්නේ නැත. එවැනි තත්වයක් තුළ මිල තොරතුරු නිදහසේ ලබාදුන්නත් මහජනයාට ඉන් සැබෑ ප‍්‍රතිලාභයක් ලැබෙන්නේ නැත.

                කෙසේවෙතත් මිල මට්ටම අඩු කිරිමෙන් ලැබෙන ප‍්‍රතිලාභයට  අදාලව ප‍්‍රභල බලපෑමක් ඇතිකරන මූලික සාධකයක් වන්නේ ඖෂධ සමාගම් විසින් වෛiවරුන් වෙත කරනු ලබන බලපෑමයි. එසේ සමාගම් විසින් වෛiවරුන් මිලදී ගැනීම වැළැක්වීම සඳහා ඖෂධ සමාගම්වල නියෝජිතයන් සහ වෛiවරුන් අතර බැදීම් ඇතිවීම හැකිතාක් අධ්‍යර්මත් කළ යුතුය. ඒ සඳහා අචාර ධර්ම මුල්කරගෙන අඩු තරමින් රෝහල් පරිශ‍්‍රය තුළ එවැනි හමුවීම් වැළැක්වීම සඳහා පනත මගින් ප‍්‍රතිපාදන සැලසිය යුතුය. නමුත් එවැන්නක් පනතට ඇතුල් නොවීම පනතේ පවතින හයවැනි මූලික දුර්වලතාවය ලෙස හදුනාගත හැක. එසේම මිල පාලනයට අදාල හත්වැනි දුර්වලතාවය වන්නේ තර්කානුකූලව, නිවැරදිව සහ සාක්‍ෂි සහිතව ඖෂධ නිර්දේශ කිරීම දිරිගැන්වීම සඳහා අධිකාරිය විසින් කළයුතු මැදිහත්වීම් පනතට ඇතුල් නොකිරීමය. ඒ සඳහා වෛiවරුන්ට ප‍්‍රශස්ත ඖෂධ භාවිතය පිළිබඳ අඛණ්ඩ අධ්‍යාපනය ලබාදීමේ බලතල සහ  ඖෂධ පිළිබඳව සහ ඒවායේ මිල පිළිබඳ මූලික තොරතුරු මහජනයාට ලබාදීම සඳහා අවශ්‍ය යන්ත‍්‍රණ පිහිටුවීමේ බලය පනත මගින් අධිකාරියට ලබාදිය යුතුවේ. එවැනි නීතිමය ප‍්‍රතිපාදනයක් වැදගත් වන්නේ අධිකාරිය එම යුතුකම ඉටු නොකරන විට මහජනයාට අධිකරණයේ සහය පැතීමට ඒ මගින් ඉඩක් විවරවන බැවිනි.

                අධිකාරියේ වගකීම ඉටු කිරීම සඳහා සහ වගවීම තහවුරු කිරීම සඳහා අවශ්‍ය වන මහජන බලපෑම පනත මගින්ම දිරිගැන්විය යුතුය. මහජනයාට තොරතුරු ලබාදීම නීති මගින් සහතික කළ යුත්තේද ඒ සඳහාමය. ඖෂධ මිල පාලනයට වැදගත් වන පනතේ අඩංගු විය යුතු එහෙත් අඩංගු වී නොමැති අට වැනි ප‍්‍රතිපාදනය වන්නේ මහජනයාට මිල තොරතුරු ලබාදීම සහ අත්‍යවශ්‍ය ඖෂධ ලැයිස්තුවේ ඖෂධ තොග අකණ්ඩව පවත්වාගෙන යාම ඖෂධ වෙළඳ සැල් වලට අනිවාර්ය කිරීමයි.  ඖෂධ වෙළඳ සැල් විසින් වැඩි ලාභ ලැබෙන වැඩි මිල සහිත ඖෂධ පමණක් විකුණන බව රහසක් නොවේ. ඒ සඳහා ද ඉහත සඳහන් කළ ආකාරයට අත්‍යවශ්‍ය ඖෂධ ලැයිස්තුව නීතිගත කිරීම පූර්ව කොන්දේසියක් බවට පත්වේ.

                මේ කරුණු සලකා බලන විට සැබෑ ලෙසම මහජනයාට ගුණාත්මක ඖෂධ සාධාරණ මිලට ලබාදීම සඳහා පනත මගින් ඉටුකළ යුතු මූලික වගකීම් ඉටු නොකර ඒ වෙනුවට සිදුකරන ඇස්බැන්දුම් විජ්ජා වලින් පළක් නොමැති බව පැහැදිලි වේ. එම බොරුව ඉතා කෙටි කලකින් මහජනයා විසින් තේරුම්ගනු ඇත. මිල පාලනයට අදාල ඉහත සඳහන් කළ මහා පින්තුරය සම්පූර්ණ කල විට මීට පෙර අසාර්ථක වූ මිල සුත‍්‍ර ක‍්‍රමයද අවශ්‍ය නොවන බව මහජනයා තෙරුම්ගනු ඇත. 

                 
වෛi කේ.එම්. වසන්ත බණ්ඩාර  

Comments

Popular posts from this blog

හම්බන්තොට වරාය චීනට, කොළඹ වරාය ඉන්දියාවට, මත්තල ගුවන්තොට ඇමෙරිකාවට : ඊළඟට කුමක්ද?

දේශීය ව්‍යවසායකයා හාන්සි කළ මිල විකෘතිය

යටත් කිරීමට පෙර යටත්වීම සහ බොරු වලවල් කැපීම: