ඞ්ව් සහෝදරයා නොදන්නා ටී.එන්.ඒ. ඉල්ලීම්


     
ඞ්ව් ගුණසේකර සහෝදරයා පසුගිය දිනවල ප‍්‍රසිද්ධියේ ප‍්‍රශ්නකර තිබුණේ නව ව්‍යවස්ථාවේ තිබෙන්නේ කුමක්දැයි නොදැන එය මර උගුලක් බව කියන්නේ කෙසේද? යනුවෙනි. නමුත් කිසිදු පාර්ශ්වයක් ඊට පිළිතුරුදීමට උනන්දුවක් පෙන්වා නැත. මේ ලියුම්කරු ඒ සඳහා උනන්දුවක් දක්වන්නේ සහ ඔහුට සහෝදරයා යැයි අමතන්නේ සැබෑ වාමවාදී අධ්‍යාත්මයකිනි. එසේම ඔහුගේ බොහෝ නිහතාමනී සහ අල්පේච්ඡු වාමාංශික ගුණාංග අගය කරන්නෙකු ලෙසය. පැරණි වමට ඉතා කර්කෂ දේශපාලන විවේචන එල්ලකළ රෝහන විජේවීරයන් පවා තිස්ස විතාරණ, වාසුදේව වැනි වාමාංශික නායකයින් එදිනෙදා දිවි පැවැත්මේදී පෙන්වූ වාමවාදී ගුණය අගය කළේය. ඒ අතර ඔහු දේශපාලනිකව ඔවුන් ජාතික ගැටළුවට අදාලව එදා දැරූ මතය තර්කානුකූලව ප‍්‍රතික්ෂේප කළේය. ඉන්දියානු සහ බටහිර අධිරාජ්‍යවාදීන් විසින් ජාතික ගැටළුව උපයමාර්ගිකව යොදා ගනිමින් රාජ්‍ය බෙදාවෙන්කර ඔවුන්ට පය තබාගැනීමට අවශ්‍ය ගැටුම්කාරී තත්වයක් රටතුළ නිර්මාණය කරන බව විජේවීරයන් විශාල ශාස්ත‍්‍රීය නිබන්ධනයක් මගින් පැහැදිළි කළේය.

                එමෙන්ම අප රටේ වාමාංශික නායකයින් විශ්වාස කරන ආකාරයට බලය බෙදීමේ නාමයෙන් දෙමළ ජාතිවාදී ධනපති පක්ෂ වලට කප්පම් දීමෙන් එම තුමන්ත‍්‍රණය පරාජය කළ නොහැකි බව විජේවීරයන් අවධාරණය කළේය. යම් වාමාංශික කණ්ඩායම් විසින් දෙමළ බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරය විමුක්ති අරගලයක් ලෙස හදුන්වන විට විජේවීරයන් විසින් ඔවුන් හැදින්වූයේ අධිරාජ්‍යවාදී කුලී හමුදාවක් ලෙසය. ජාතිවාදී දෙමළ බෙදුම්වාදී පක්‍ෂ අතට මධ්‍යගත ධනපති රාජ්‍යයේ පොලිස් බලය දිගු කිරීම මගින් පීඩිත දෙමළ ජනයා තවදුරටත් පීඩාවට පත්වන බව ඔහු 1987දී ප‍්‍රකාශ කළේය. ඊට අමතර බලය බෙදීම යනු රට බෙදීමේ ඉල්ලීමට විකල්පයක් නොවන බව සහ එය රට බෙදීමේ මූලික පියවර හෙවත් උපාංගයක් ලෙස යොදාගනු ඇති බවද ඔහු එදා ප‍්‍රකාශ කළේය. ඒ මගින් අවසානයේදී නිර්ධන පංතිය බේදබින්න කිරීම සමාජවාදී විප්ලවයට හතුරු ක‍්‍රියාමාර්ගයක් බවට ද ඔහු තර්ක කළේය. එදා 1987දී ඉන්දු - ලංකා ගිවිසුම හරහා 13 වැනි සංශෝධනය ක‍්‍රියාත්මක කිරීමට විරුද්ධව දියත්කළ මහජන විරෝධය පදනම් වූයේ එම තර්ක මතය. නමුත් එදා ඞ්ව් සහෝදරයා ඇතුළු වාමාංශික නායකයින් අති බහුතරය යෝජනා කළේ ජාතිවාදී, කුලවාදී, ආගම්වාදී ප‍්‍රභූන් අතලොස්සකට ධනපති මධ්‍යම ආණ්ඩුවේ බලය සමසේ බෙදාදුන් විට ප‍්‍රශ්නය විසදෙන බවය. ජාතික ගැටළුව සහ අධිරාජ්‍යවාදී කොල්ලකාරී න්‍යාය පත‍්‍රය අතර පවතින දැඩි සබදතාව එහිදී එම නායකයින්ගේ සැලකිල්ලට ලක්වූයේ නැත. එසේිම සමානාත්මතා පදනමින් සියළු ජාතිකත්ව වලට කුමන භූගෝලිය ප‍්‍රදේශයක ජීවත්වූවත් සමානව සැලකිය යුතුය යන මූලික වාමාංශික න්‍යාය පත‍්‍රය මගින් අධිරාජ්‍යවාදී න්‍යාය පත‍්‍රය පරාජය කිරීමට එදා එම වාමාංශික නායකයින් කල්පනා කළේ, නැත. එම නිසා අවසානයේදී ඉන්දියානු සහ ඇමෙරිකානු අධිරාජ්‍යවාදී රටවල් විසින් ඉතා හොඳයි කියා ඉදිරිපත් කළ ඊනියා විසදුම අත්ඔසවා පිළිගැනීමට වාමාංශිකයන්ට සිදුවිය.

                නමුත් අදවන විට රට බෙදීමේ උවමනාව මත අදිරාජ්‍යවාදී  බලවේග කටයුතු කරමින් සිටින නිරුවත් ආකාරය ඉතා පැහැදිලිව දැකගත හැක. මහාචාර්ය ජී.එල්. පීරිස්, මහාචාර්ය තිස්ස විතාරණ සහ වාසුදේව නානායක්කාර වැනි ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින් අද 87දීට වඩා වෙනස් දේශපාලන ස්ථාවරයක සිට කටයුතු කරමින් සිටින බව පෙනෙන්නේ ඒ අනුව යැයි විශ්වාස කළ හැක. නමුත් ඩිව් ගුණසේකර මැතිතුමන් වැනි අය එම යථාර්ථය පිළිගැනීමට මැලිකමක් දැක්වීම කණගාටුදායකය. එතුමා වැනි ජ්‍යෙෂ්ඨයින්ට පාඩම් කියාදීමට මෙම ලියුම්කරු උත්සාහ කරන්නේ නැත. එසේ වුවත් එදා 13වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් දෙමළ ජනතාවට සාධාරණය ඉටුකළ හැකි යැයි පවසමින් එදා මර්ධනකාරී ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවට සහය දැක්වූ ආකාරයට මෙදා 13න් එහාට යාම සඳහා ඊට වඩා මර්ධනකාරී වන බව පෙනෙන රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුවට සහය දැක්වීම සාධාරණිකරනය කරන්නේ කෙසේද? ඒ මගින් වසර 30කට අධික කාලයක් යුද්ධය නිසා පීඩාවට පත් වූ සහ යුද්ධයෙන් පසුව රජයන් දෙකක් යටතේ තවමත් දුකට පත්වී සිටින උතුර සහ නැගෙනහිර පළාත්වල වෙසෙන අහිංසක දෙමළ ජනතාවට සාධාරණය ඉටුවනවාද?

                සමානාත්මතා පදනමින් ජාතික ගැටළුව විසදීම සඳහා ඉදිරිපත් කළ යුතු වාමවාදී විසදුමට ඒ මගින් සිදුවන හානිය කෙතරම් බරපතලද? වර්තමාන යහපාලන ආණ්ඩුව පත්කිරීම සඳහා ඉන්දියානු සහ ඇමෙරිකානු ඔත්තු සේවා මෙන්ම දෙස් විදෙස් බෙදුම්වාදී රාජ්‍ය නොවන සංවිධාන විසින් ඉටුකළ මෙහෙය ඩිව් සහෝදරයාට රහසක් යැයි මහජනයා පිළිගන්නේ නැත. එම බලවේග විසින් මෛත‍්‍රී - රනිල් ආණ්ඩුවට බාරදී ඇති ප‍්‍රධානතම කොන්ත‍්‍රාත්තුව වන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් මගින් බෙදුම්වාදයට පහසුකම් සලසන රාජ්‍ය ව්‍යුහයක් ස්ථාපනය කිරීම බව ඞ්ව් සහෝදරයා පිළිගන්නේ නැත්ද? මහින්ද රාජපක්‍ෂ රජය පරාජය කිරීම සඳහා බෙදුම්වාදී බලවේග ඒකරාශී කිරීම සඳහා 2013දී අයි.ටී.අයි නැමැති දකුණු අප‍්‍රිකානු රාජ්‍ය නොවන සංවිධානයේ මැදිහත්වීමෙන් සිංගප්පූරුවේදී ඇතිකරගත් එක`ගතාවය ගැන එතුමා නොදන්නේද?

                කරුණු 10ක් අඩංගු ‘‘සිංගප්පූරු එක`ගතාවය’’ නැමති ලියවිල්ලෙන් සමස්ථයක් ලෙස එක`ගවන්නේ නව රජය යටතේ සිදුකළ යුතු ව්‍යවස්ථා සංශෝධනයට අදාළ කරුණු බව එතුමා නොදන්නේද? ඊට සහභාගී වූ වර්තමානයේ ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලියේ ප‍්‍රධාන උපදේශක ලෙස කටයුතු කරන ජයම්පති වික‍්‍රමරත්න මහතා ඊට පසුව 2014දී ලන්ඩනයේදී අමිර්තලිංගම් ගුණානුස්මරණ දේශනය පවත්වමින් කියා සිටියේ ‘‘දෙමළ ජනතාවගේ ප‍්‍රශ්නය’’ විසදීම සඳහා අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනය සිදුකළ හැක්කේ මහින්ද රාජපක්‍ෂ පරාජය කළහොත් පමණක් බවය. එදා 2002දී ඔස්ලෝ එක`ගතාවය ඇතිකර ගැනීමේදී ෆෙඩරල් රාජ්‍යයක් ඇතිකිරීමට පවා එක`ග වූ රනිල් වික‍්‍රමසිංහ මහතා මෙදා එම ගැටළුව විසදීම සඳහා තමා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පත්කරන බව පවසන විට ඔහු යාමට සූදානම් දුර පිළිබඳ ඉ`ගියක් නොලැබේද? ඊට අමතරව ආරම්භ වී ඇති ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය ගැටුම් වැළැක්වීම සඳහා ඉතා වැදගත්වන බවට මානව හිමිකම් කොමසාරිස්ගේ  ප‍්‍රභල ඇගයීමට ලක්විය. ඊට පෙර ශ‍්‍රී ලංකා ඉතිහාසය නැවත ලිවිය යුතුයැයි කියන මහ ඇමති විග්නේෂ්වරන් යෝජනා 15ක් ඉදිරිපත් කරමින් සහ ටී.එන්.ඒ පක්‍ෂය තම මැතිවරණ ප‍්‍රකාශනයෙන් ඉල්ලා සිටින්නේ කැමක්දැයි ඩිව් ගුණසේකර සහෝදරයා විසින් අධ්‍යනය කොට නැත්ද?

                ඒ සියල්ලට පෙර වර්තමාන ව්‍යවස්ථා සම්පාදක ක‍්‍රියාවලියේ ප‍්‍රධානියා වන ජයම්පති වික‍්‍රමරත්න මහතාගේ නායකත්වය යටතේ 2009දී ඉදිරිපත් කළ සර්වපාක්ෂික විද්වත් කමිටු වාර්තාවේ අඩංගු කරුණු සහ ටී.එන්.ඒ. පක්‍ෂය ඊට ඉදිරිපත් කළ යෝජනා එතුමා විසින් අධ්‍යනය කොට නැත්ද? අද එම ඊනියා විද්වතුන් මෙන්ම දේශපාලන නායකයින් සිංගප්පුරු එක`ගතාවයෙන් මෙන්ම වෙනත් ප‍්‍රකාශනවලින් කියන්නේ තමාට ලේබල් වැදගත් නැති බව සහ අවශ්‍යවන්නේ ස්වයං තීරණ අයිතිය පොදු මූලික අයිතියක් ලෙස තහවුරු කිරීම බවය. ඒ අනුව ඒකීය වගන්තිය ඉවත් කිරීම හෝ අන්‍යාගමික රාජ්‍ය ගැන ලාල් විජේනායකලා කියන කථා මහජනයාගේ අවධානය වෙනත් අතකට යොමුකිරීම සඳහා යොදාගන්නා ඝෝෂාවක් පමණක් බවද දැන් පැහැදිලි වේ. එම නිසා ඩිව් සහෝදරයා නොදන්නා බව කියන සහ ටී.එන්.ඒ. පක්‍ෂය සෙසු බෙදුම්වාදී  බලවේග විසින් ව්‍යවස්ථාවට ඇතුල් කිරීමට බලකරන යෝජනා ඔහුගේ පහන් සංවේගය පිණිස මෙසේ ඉදිරිපත් කරනු කැමැත්තෙමි.

                පළමුවෙන්ම කිව යුත්තේ ටී.එන්.ඒ. පක්‍ෂය ඒකීය වගන්තිය හෝ බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය දීම හෝ ජාතික ගීය හෝ ජාතික කොඩිය ගැන කේවල් නොකරන බවය. ව්‍යවස්ථාවේ ඊට අදාල ප‍්‍රතිපාදන සංශෝධනය කෙරෙන බවට ලාල් විජේනායක කමිටුව හරහා මතයක් සමාජගත කරන්නේ පොදු මහජනයාගේ සහ ගෞරයනීය සංඝරත්නයේ පරිභෝජනයට බව පෙනේ. එසේ සංශෝධනය කරන බව කියන වගන්ති සංශෝධනය නොකරන බවට අවසන් මොහොතේදී ප‍්‍රකාශයට පත්කෙරනු ඇත. ඒ පිළිබඳව ටී.එන්.ඒ. පක්‍ෂයට ඉතා හොඳ අවබෝධයක් තිබෙන බව ඊනියා සිංගප්පුරු එක`ගතාවයේදී සහ වෙනත් අවස්ථාවල ප‍්‍රකාශ වූ කරුණු වලින් පිළිගත හැක. ඒ අනුව ටී.එන්.ඒ පක්‍ෂය මූලික වශයෙන් කේවල් කරන බව සහ ආණ්්ඩුව මහජනයාගේ ඇසට වැලිගසා එක`ගවන බව පෙනෙන වෙනත් ප‍්‍රධාන කරුණු 8ක් ඇත. ඒවා සියල්ල 13 වැනි සංශෙෘ්ධනය ඉක්මවා යන ප‍්‍රබල බෙදුම්වාදී බලතල බව පැහැදිලිව තේරුම්ගත හැක.

                ඉන් පළමුවන්න වන්නේ මූලික අයිිවාසිකම් යටතේ සහ ශ‍්‍රී ලංකාවේ ජනතාවගේ සංයුතිය පිළිබඳ සංකල්ප යටතේ දෙමළ ජනතාවගේ ස්වයං තීරණ අයිතිය පොදු අයිතියක් ලෙස පිළිගැනීමයි. එහිදී මූලික අයිතිවාසිකම් පොදු සහ පුද්ගල වශයෙන් බෙදා වෙන්කෙරෙනු ඇත. ඊට අමතරව රටේ ජනතාව පිළිබඳ හැඳින්වීමේදී තිම්පු සංකල්පවල ඉතිරි දෙක වන දෙමළ ජනතාවගේ ෙඓතිහාසික වාසභූමිය උතුරු සහ නැගෙනහිර පළාත් බව සහ ඔවුන් ‘‘ජාතියක්’’ බව ව්‍යවස්ථාවෙන්ම පිළිගන්නවා ඇත. දෙවන මූලික බෙදුම්වාදී ප‍්‍රතිපාදනය වන්නේ උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කොට හදුන්වාදෙන භූගෝලීය ප‍්‍රදේශයේ ජනතාව සහ වෙනත් එවැනි කලාප වල ජනතාව භූක්ති විදින පරමාධිපත්‍ය  බලය සමානව බෙදී යන බව පිළිගැනීමයි. එම සංකල්පය දැනට පවතින් ව්‍යවස්ථාවේ 3වැනි වගන්තිය සම`ග ගැටුමක් ඇති නොවන ලෙස ඇතුල් කෙරෙනු ඇත.

                තුන්වැනි බෙදුම්වාදී ප‍්‍රතිපාදනය වන්නේ දැනට 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ලබාදී ඇති ඉඩම්, පොලිස් සහ මුදල් බලතල තවදුරටත් ස්වාධිනව භුක්තිවිදි හැකි ආකාරයට උතුරු නැගෙනහිර කලාපයට වැඩිබලයක්  ලබාදීමයි. හතරවැන්න අදාල කලාප වල මධ්‍යම රජයේ ආයතන පිහිටුවීම, විශේෂයෙන්ම හමුදා කඳවුරු ස්ථානගත කිරීම සඳහා මෙන්ම එම ප‍්‍රදේශවල ආරක්‍ෂක හමුදා සකි‍්‍රය සේවයට කැදවීම සඳහා අදාල මහ ඇමැතිවරයාගේ අවසරය අවශ්‍ය බවට ව්‍යවස්ථාමය ප‍්‍රතිපාදනයක් පැනවීමය. පස්වැනි බෙදුම්වාදී ප‍්‍රතිපදනය 13 වැනි සංශෝධනයේදී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් ඉතා සුක්‍ෂමව ඉඩ නොදෙන ලද්දකි. එනම් පළාත් හෝ කලාප විශයන් සහ සමාගාමී විෂයන් ලෙස විශයන් ලැයිස්තුගත නොකර ඒවා අහෝසි කොට මධ්‍යම රජයට අයත් විෂයන් පමණක් ලැයිස්තුගත කිරිමය. එවිට මධයම රජයේ ලැයිස්තුවේ අඩංගු සීමා සහිත බලතල ප‍්‍රමාණය භාර සෙසු බලතල සියල්ල ඍජුව පළාත් හෝ කලාප ආණ්ඩුවලට ලැබේ. බෙදුම්වාදීන් ඉල්ලා සිටින සය වැනි ප‍්‍රබල ව්‍යවස්ථාමය ප‍්‍රතිපාදනය වන්නේ විධායක, ව්‍යස්ථාදායක සහ අධිකරණ යන රාජ්‍යයේ බලය නිශ්චිතව මධ්‍යම රජයට සහ පළාත් හෝ කලාප වලට බෙදා වෙන්කිරීමය. ඒ යටතේම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉහලින් ව්‍යවස්ථා අධිකරණයක් පිහිටුවා බෙදුම්වාදී බලතල ක‍්‍රියාත්මක කිරීමේදී ඇතිවන ගැටුම් ඒ මගින් විසදීමට යෝජනා කෙරේ. එම අධිකරණය දැනට පවතින ශ්‍රේෂ්ඨාධිකරණයේ බලතල අත්පත්කරගන්නා අතර ඊට විනිසුරුවරුන් නොවන පුද්ගලයින් පත්කිරීමට ඉඩ ලැබේ. එම ප‍්‍රතිපාදනය මගින් හොරාගේ අම්මාගෙන් නඩු අසන තත්වයක් නිර්මාණය කෙරෙනු ඇත.

                හත්වැනි බෙදුම්වාදී ව්‍යවස්ථාමය ප‍්‍රතිපාදනය වන්නේ හදිසි අවස්ථාවකදී පළාත් හෝ කලාප ආණ්ඩු පාලනය කිරීම සඳහා මධ්‍යම රජයට තිබෙන බලය සීමා කිරීමය. ඒ අනුව එම ක‍්‍රියාමාර්ගය සඳහා ඊනියා ව්‍යවස්ථා අධිකරණයේ අනුමැතිය අවශ්‍ය වනු ඇත. අටවැනි බරපතල ප‍්‍රතිපාදනය වන්නේ ජාතික මුදල් කොමිසමේ අවසරය නොමැතිව මධ්‍යම රජයේ ලැයිස්තුවට අයත් නොවෙන සියළු විෂයන් සඳහා විදේශ විනිමය ලබාගැනීමේ බලයයි. එසේම මධ්‍යම පාර්ලිමේන්තුවේ අවසරය නොමැතිව විදේශ අධාර සහ අයෝජන ලබාගැනීමට මෙන්ම බදු පැනවීමටද පළාත් හෝ කලාප වලට බලය ලැබේ. ඊට අමතරව මහ ඇමතිවරයාට සුවිශේෂී අරමුදලක් ගොඩනගා කළු සල්ලි සුදු කිරීමටද බලය ලැබේ. මූල්‍ය පාලනයට අදාල වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කොට ඇති යෝජනා එක්ව ගත්විට මධ්‍යම රජය කලාප හෝ පළාත් වලට මුදල් දීමට බැදී සිටියද පළාත් හෝ කලාප විසින් ස්වාධින මූල්‍ය පාලනයක් ගෙනයාමට අවශ්‍ය තත්වය ඉල්ලා සිටින බව පෙනේ. මෙම කරුණු සියල්ල එක්ව ගත්විට පළාත් ගුවන්තොටුපල සහ වරායවල් පවා ස්වාධීනව පාලනය කළ හැකි  තත්වයක් නිර්මාණය වේ. ඔවුන් යෝජනා කරන මධ්‍යම රජයේ වශය පථයට අයත් වන්නේ විශයන් 7ක් පමණි. ඒ අනුව මධ්‍යම රජය සම`ග තීරණාත්මක ගැටුමක් ඇතිකරග්නනා තෙක් විශාල බලතල ප‍්‍රමාණයක් භූක්ති විදිය හැකි ආකාරයට වෙනම රාජ්‍යකට සාමන බල ඒකකයක් ලබාගැනීමට එම යෝජනා මගින් අපෙක්ෂා කරන බව පැහැදිලිව පෙනේ. මේ වන විට ජාත්‍යන්තර අධිකරණ විසින් කැනඩාවේ ක්ව්බෙක් සහ නැගෙනහිර ටිමෝරයට අදාලව ලබාදී ඇති නඩු තීන්දු සහ ජාත්‍යන්තර සාමාන්‍ය නීතිය අනුව ස්වයං තීරණ අයිතිය සතු බලඒකකයට එම බලතල ක‍්‍රියාත්මක කිරීමට මධ්‍යම රජය විසින් ඉඩලබා නොදේනම් ඔවුන්ට වෙනම රාජ්‍යයක් ප‍්‍රකාශ කිරිමේ ඉඩ ලැබේ.

                කෙසේ වෙතත් මහජන විරෝධය නිසා ටී.එන්.ඒ පක්‍ෂයේ සියලූ ඉල්ලීම් ව්‍යවස්ථාමය ප‍්‍රතිපාදන බවට පත්කිරීමට ආණ්ඩුවට ඉඩ නොලැබෙන බවට විවාදයක් නැත. එහෙත් බෙදුම්වාදීන්ගේ අපේක්ෂාව කුමක්ද යන්න පිළිබඳව සහ ආණ්ඩුව විසින් මහජන විරෝධයක් නැති තත්වයක් යටතේ ඒවා ලබාදීමට සැදී පැහැදී සිටින බවටද සැකයක් නැත. දැනට ආරම්භකොට ඇති ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය රටට මරඋගුලක් වන්නේ ඒ නිසාය. ව්‍යවස්ථා සම්පාදක සභාවට විපක්‍ෂය ඇතුල්වීම නිසා ඔවුන් එම උගුලට හසුකර ගැනීමේ ඉඩ විවර වේ. විශේෂයෙන්ම එම සභාවෙන් සාමාන්‍ය බහුතරයෙන් සම්මතවන ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට හෝ ජනමත විචාරණයට ඉදිරිපත් නොකර ඍජුව ක‍්‍රියාත්ම කිරීමේ නීතිමය ඉඩක් තිබීම නිසා තත්වය වඩාත් භයානක වේ.

                විවිධ තාක්‍ෂණික හේතු ඉදිරිපත් කරමින් ඒකාබද්ධ විපක්‍ෂයේ යම් පිරිස් තමා කරන වැරුද්ද සාධාරණිකරණය කිරීමට උත්සාහ කළත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සංශෝධනය කළා යැයි විපක්‍ෂය විසින් අගය කරන යෝජනාවේ සඳහන් වන්නේ ඔවුන් ඉල්ලූ දේ නොවේ. එහි සඳහන් වන්නේ ව්‍යවස්ථා සම්පාදක සභාව පාර්ලිමේන්තුවේ කාරක සභාවක් බව නොවේ. ඒ වෙනුවට සඳහන් වන්නේ එම සභාවට කාරක සභාවක් ලෙසද කටයුතු කළ හැකි බවයි. එම සභාව තුළ සිටීමෙන් ආණ්ඩුවේ ක‍්‍රියාවලිය පමා කළ හැකි යැයි බොළඳ තර්ක තවදුරටත් ඉදිරිපත් කළ නොහැක. ඒ අනුව රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන පැකේජය චන්ද්‍රිකාගේ පැකේජයට වඩා භයානක වන බව තේරුම් ගැනීමට අවසන් ලේඛනය දකින තුරු සිටිය යුතුද? එසේම ‘‘රනිල්ගේ පැකේජය’’ යන ලේබලය වෙනුවට ‘‘සමස්ථ පාර්ලිමේන්තුවේ පැකේජය’’ යන ලේබලය ඇලවීමෙන් බෙදුම්වාදී ව්‍යවස්ථාවට සුජාතභාවයක් දීම යනු දේශපාලන සියදිවි නසාගැනීමක් නොවේද?

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර



Comments

Popular posts from this blog

හම්බන්තොට වරාය චීනට, කොළඹ වරාය ඉන්දියාවට, මත්තල ගුවන්තොට ඇමෙරිකාවට : ඊළඟට කුමක්ද?

දේශීය ව්‍යවසායකයා හාන්සි කළ මිල විකෘතිය

යටත් කිරීමට පෙර යටත්වීම සහ බොරු වලවල් කැපීම: