ළඟ ළඟම එන ලාම්පු කළගෙඩි සෙල්ලම තුළ විපක්‍ෂයේ අභියෝගය


   එදා 2000 වසරේදී චන්ද්‍රිකාගේ ව්‍යවස්ථා ‘‘පැකේජයට’’ රනි ්වික‍්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේදී ගිනිතබා එය පරාජයට පත් කළේය. එම නිසා එම ෆෙඩරල් ව්‍යවස්ථා කෙටුම්පතට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ අනුමැතිය නොලැබුණු අතර ඒ නිසාම එය ජනමතවිචාරණයකට ඉදිරිපත් කිරිමේ ඉඩ ඇහිරී ගියේය. රනිල් වික‍්‍රමසිංහ මහතා එදා තමා ප‍්‍රතිපත්තිමය වශයෙන් එක`ගවන එම පෙඩරල් ව්‍යවස්ථාව පරාජය කිරීමට කටයුතු කළේ තමා බලයට පත්වූ පසුව එම ක‍්‍රියාවලියට නැවත පණදීමේ අරමුණිනි. එම ක‍්‍රියාව එදා සිටි යම් ‘‘පැකෙජ් වාදීන්ගේ’’ පැත්තෙන් ගත්විට පටු දේශපාලන අරමුණින් සිදුකරන ලද්දකි. අද ‘‘රනිල්ගේ පැකේජයට’’ සුජාතභාවය ලබාදීම සඳහා ඊට ‘‘සමස්ථ පාර්ලිමේන්තුවේ පැකේජය’’ නම් වූ ලේබලයක් ඇලවීමට රනිල් වික‍්‍රමසිංහ මහතාට උදව්කරන වර්තමාන විපක්‍ෂ බලවේගවලට ඒ මහතාගෙන් ඉගෙන ගැනීමට බොහෝ දේ ඇති බවට එම ඉතිහාස කථාවෙන් පැහැදිළි වේ.
         

                කෙසේ වෙතත් 2002දී රනිල් වික‍්‍රමසිංහ මහතා බලයට පත්වීමෙන් පසුව පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරය ලබාගැනීමට හෝ ජනමතවිචාරණයක් ජයග‍්‍රහණය කිරීමට විභවයක් නොතිබිනි. ඒ නිසා ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේග විසින් ඔහුට නිර්දේශ කළේ එක්තරා ආකාරයක ‘‘හයිබි‍්‍රඞ් හෙවත් දෙමුහුන් න්‍යාය පත‍්‍රයකි. එනම් ව්‍යවස්ථාව මගින් ඒ වන විටත් ලබාදී තිබූ 13 වැනි සංශෝධනය මත පදනම්ව ව්‍යවස්ථාවට පරිභාහිර පිහිටුවනු ලබන යාන්ත‍්‍රණයක් මගින් බෙදුම්වාදීන් සතුටු කිරීමය. එදා සටන් විරාම ගිවිසුමට මුවාවී තාවකාලික ආණ්ඩුව සහ ඉන්පසු සුනාමි සහන මණ්ඩලය වැනි නව පළාත් රාජ්‍ය පාලන ව්‍යුහ හඳුන්වාදීමට රනිල් වික‍්‍රමසිංහ රජය උත්සාහ කළේ එම හයිබි‍්‍රඞ් ක‍්‍රියාවලිය අනුවය. යුද්ධයේ කේවල් කිරිමේ බලය සහ ජාත්‍යන්තර මැදිහත්වීම හරහා දියත් වූ එම දේශපාලන උපායමාර්ගික මෙහෙයුම පරාජය කිරීමට එදා පැවැති ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රමුඛ ජාතික බලවේග සමත් විය. එම බෙදුම්වාදී විරෝධී ජාතික සටනේම දිගුවක් ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා බලයට පත්කොට බෙදුම්වාදීන්ගේ යුධමය කේවල් කිරිමේ බලය සුනු විසුනු කිරීමටද ජාතික බලවේග සමත්විය. නමුත්  ඉන්පසුව ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේග විසින් මානව හිමිකම් කෙවිට කේවල් කිරීමේ උපාංගයක් ලෙස යොදා ගනිමින් අසරණව සිටි සම්බන්දන්ලා වැනි දේශපාලන කප්පම් කරුවන්ට නව කේවල් කිරිමේ බලයක් ලබාදුනි. එය බෙදුම්වාදීන්ගේ ජයග‍්‍රහණයකට වඩා බෙදුම්වාදී විරෝධි බලවේග වල පරාජයක් ලෙස අර්ථ දැක්වීම වඩා සාධාරණ වේ. වර්තමාන ව්‍යවස්ථා සම්පාදක ක‍්‍රියාවලියේ ප‍්‍රධාන උපදේශකයා වන ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න මහතා 2014දී ලන්ඩන් නුවර පැවැති අමිර්තලිංගම්  ගුණානුස්මරණ දේශණය පවත්වමින් කියා සිටියේ මහින්ද රාජපක්‍ෂ බලයෙන් පහ කිරීමෙන් තොරව උතුරේ ජනතාවට ව්‍යවස්ථාමය දේශපාලන විසදුමක් ලබාදිය නොහැකි බවය. ඒ අනුව වර්තමාන ව්‍යවස්ථා සම්පාදක ක‍්‍රියාවලියෙන් බලාපොරොත්තු වන අවසන් ප‍්‍රතිඵලය කුමක්දැයි ඉතා හොඳන් පැහැදිළි වේ.

                දැන් මහින්ද රාජපක්‍ෂ මහතා පරිජය කිරීමට අභ්‍යන්තරයේ සිටිමින් උදව් කළ පිරිස් සහ ඔහුගේ භාහිර සතුරන් එක්ව ජයම්පති වික‍්‍රමරත්න මහතා කියන ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයෙන් සම්මත කිරීම සඳහා ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇත. එසේම පිටත සිට ඊට උදව් කිරීමට නිලවිපක්‍ෂ නායකවරයා සහ ඔහු පත්කළ විපක්‍ෂ සංවිධායකවරයා සැදී පැහැදී සිටිති. ඊට අමතරව සැබී විපක්‍ෂයේ යම් පිරිසක් මහින්ද රාජපක්‍ෂ පරාජයෙන් උපත ලැබූ ව්‍යවස්ථා සම්පාදක සභාව තුළට රිංගා රනිල් වික‍්‍රමසිංහ මහතාට උදව්කළ යුතුය යන ස්ථාවරයකප සිටියි. එම ක‍්‍රියාව මහින්ද රාජපක්‍ෂ මහතා පාවාදීමක් ලෙස අර්ථ දැක්විය හැකි වුවත් දැන් ඊට අකමැති පිරිස් වලටද පොදු සමගිය වෙනුවෙන් ඒ තුළ හිර වීමට සිදුවී ඇත. ඒ අනුව රනිල් වික‍්‍රමසිංහ මහතා චන්ද්‍රිකාගේ පැකේජයට කලදේට ප‍්‍රතිවිරුද්ධ දේ කිරීමට වර්තමාන සැබෑ විපක්‍ෂ බලවේග වලට පසිදුවීම ඉතිහාසයේ සරදමක්ද? කෙසේ වෙතත් එදා එකම මතයේ සිටි විපක්‍ෂය දිනා ගැනීමට චන්ද්‍රිකා අසමත් වුවත් මෙදා විරුද්ධ මතධාරී විපක්‍ෂ බලවේග පවා දිනා ගැනීමට රනිල් වික‍්‍රමසිංහ මහතා සමත්වී ඇති බව පිළිගැනීමට සිදුවේ. රනිල් වික‍්‍රමසිංහ මහතාගේ දක්‍ෂකම හෝ වාසනාව කෙතරම්ද යත් විපක්‍ෂ බලවේග ලවා බෙදුම්වාදී බලවේගවල මූලික සහ ප‍්‍රධාන ඉල්ලීමක් නිල වශයෙන් ව්‍යවස්ථා සම්පාදක සභාවට ඉදිරිපත් කරවා ගැනීමටද ඔහු සමත් වී ඇත. ජාතික ඒකාබද්ධ කමිටුවේ මාධ්‍ය නිවේදනයකට අනුව ඒකාබද්ධ විපක්‍ෂයේ, ශ‍්‍රීලංකා නිදහස් පක්‍ෂයේ කණ්ඩායමක් විසින් ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කළ යෝජනාවලියක් මගින් පළාත්සභා බලතල ලැයිස්තු ඉවත් කිරීමට එක`ගවී ඇත. එම ඉල්ලීම එදා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා 13 වැනි සංශෝධනයට එක`ගවූ අවස්ථාවේදී පටන්ම ඉදිරිපත් වූවකි.

                නමුත් එදා සිටි රටට ආදරේ කරන ඉහළ රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකුගේ සහ එච්.එල්.ද සිල්වා සහ එස්.එල්. ගුණසේකර වැනි විද්වතුන්ගේ මැදිහත්වීම මත ජේ.ආර්. ජයවර්ධන මහතා ඊට එක`ග නොවීය. අද වන විට එම ඉල්ලීම පළාත් ලැයිස්තුව සහ සමගාමී ලැයිස්තුව යන පළාත් බලතල අඩංගු ලැයිස්තු දෙකම ඉවත්කොට මධ්‍යම රජයේ ලැයිස්තුව පමණක් ඉදිරිපත්කළ යුතුය යන ස්ථාවරය දක්වා වර්ධනය වී ඇත. එම ඉල්ලීම් දෙක මගින්ම බෙදුම්වාදීන් බලාපොරොත්තු යන්නේ මධ්‍යම රජයේ බලතල සහ පළාත් බලතල නිශ්චිතව ‘‘ඉරගසා’’ වෙන්කිරීමය. ඒ මගින් මධ්‍යම රජයට පළාත් සභාවේ යම් බලතල වලට ‘‘ඇගිලි ගැසීමට’’ හෝ ඒවා ඉක්මවා යාමට තිබෙන අවස්ථාව අහිමි වේ. මධ්‍යම රජයේ ලැයිස්තුව පමණක් ඉතිරි කිරීම මගින් මධ්‍යම රජය නිශ්චිතව කොටු කෙරෙන අතර ඉන් පරිභාහිර සියළු බලතල පළාත් සභාවලට ලැබේ. මෙම අවශ්‍යතාව හුදු බලතල ලබාගැනීමේ අරමුණට එහා යන එකකි. ඒ මගින් රට බෙදීමේ මූලික සංකල්පයක් තහවුරු කිරීමද සිදුවේ. දැන්ටමත් පළාත් සභා සතුව තිබෙන සහ අනාගත ව්‍යවස්ථාම මගින් ඊට එකතු කිරීමට බලාපොරොත්තු වන ෆෙඩරල් බලතල යම් කාලයක් භුක්ති විදීමෙන් පසුව වෙනම රාජ්‍යයක් ප‍්‍රකාශයට පත්කිරිමේ උවමනාව ජාත්‍යන්තරව සාධාරණීකරණය කෙරෙන මූලික සංකල්ප 4ක් ඇත. ඉන් 03ක් තිම්පු සංකල්පය ලෙස හැදින්වේ. එනම් උතුරු නැගෙනහිර දෙමළ ජනතාව වෙනම ජාතියක් බව එම භූගෝලීය ප‍්‍රදේශ ඔවුන්ගේ නිජභූමිය බව සහ ඔවුන්ට ස්වයංතීරණ අයිතිය තිබෙන බව පිළිගැනීමය. හතරවැන්න වන්නේ ශ‍්‍රී ලංකාවේ පරමාධිපත්‍යය රටේ සමස්ථ ජනතාව සහ එම භූමි ප‍්‍රදේශයේ ජනතාව අතර ‘‘බෙදී’’ යන බව පිළිගැනීමය. බලතල ලැයිස්තු ඉවත් කිරිම වැදගත් වන්නේ එසේ පරමාධිපත්‍ය බෙදී යාමේ සංකල්පය ප‍්‍රායෝගිකව තවහුරු කිරීම සඳහාය. ඒ අනුව එතරම් බරපතළ කරුණක් පිළිබඳ කිසිදු සංවාදයකින් තොරව යම් මන්ත‍්‍රී කණ්ඩායමක් විසින් පමණක් තීන්දුවක් ගැනීමේ ක‍්‍රියාව පැහැදිලි කරන්නේ කෙසේද?

                ව්‍යවස්ථා සම්පාදක සභාවට ඇතුල්වීම මගින් විපක්‍ෂය බෙදුම්වාදී මරඋගුලට එක් පයක් තබා ඇති බව සහ ඉන් ගැලවෙන ලෙස සමාජමතයක් පවතින අවස්ථාවක යෝජනාවලියක් ඉදිරිපත් කිරීම මගින් අනෙක් පයත් උගුල මතට තැබීමේ ක‍්‍රියාව පැහැදිලි කිරීම පහසු නැත. නමුත් පළමු පය තැබීමට උපදෙස් දුන් අයට දෙවන පයත් තැබීමට උපදෙස් දුන් බවට සැකයක් නැත. සැකයක් තිබේනම් එසේ වන්නේ සමස්ථ ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය තුළ ආණ්ඩුව සහ විපක්‍ෂයට යන කොට්ඨාස දෙකටම එකම පිරිසක් උපදෙස් දෙනවාද යන කරුණ පිළිබඳව පමණි. මෙම සිදුවීම මගින් පැහැදිලි වන තවත් වැදගත් කරුණක් ඇත. එනම් මේ පවතින තත්වය තුළ බෙදුම්වාදීන්ට ඉතා සුක්‍ෂමව තමාට අවශ්‍ය ප‍්‍රතිපාදන සහ සංකල්ප නව ව්‍යවස්ථාවට ඇතුල් කිරිමේ ඉඩක් විවර වී තිබෙන බවය. මෑතකැලීනව සිංගප්පුරුවේදී පැවැති බෙදුම්වාදීන්ගේ උපාය මාර්ගික සංවාද කවයකදී සුමන්තිරන් මන්ත‍්‍රීවරයා පවසා ඇත්තේ සිංහලයා, විශේෂයෙන්ම භික්ෂූන් වහන්සේලා කරදර වන්නේ ව්‍යවස්ථාවේ අඩංගු වන ලේබල්පිළිබඳව පමණක් බවය. ඒ අනුව ඔහු යෝජනා කරන්නේ ඒ මෝඩයින්ට ‘‘ලේබල්’‘ දී තමා ‘‘අයිතීන්’’ ලබාගත යුතු බවය. ඒ අනුව ඔහු කියන ‘‘මෝඩයින්’’ ව්‍යවස්ථාවේ  නාමිකව පවතින ඒකීය වගන්තිය ඉවත් කිරීම හෝ අනාගාමික රාජ්‍යයේ සංකල්පය හෝ ජාතික ගීය සහ ජාතික කොඩිය වෙනස් කිරීම ගැන හ`ඩ නගන විට ඊට මුවාවී පවතින 13 වැනි සංශෝධනය රැුකගනිමින් ඊට එකතුකරගතහැකි උපරිමය එකතුකර ගැනීම යනු ‘‘මහ අමාරු කාරියක්’’ නොවේ. ඒ මගින් ඒකීයභාවය හෝ බුද්ධාගම දිවි හිමියෙන් පාවා නොදෙන බව කියමින් වීරයකු වීමට ජනාධිපතිතුමාටද අවස්ථාවක් ලැබේ. ඉදිරියේදී සමස්ථ පාර්ලිමේන්තුවේ නමින් ගෙන එන්නේ රනිල්ගේ පැකේජය බැවින් සහ ජයග‍්‍රහණය කිරීමට බලාපොරොත්තු වන්නේ රනිල්ගේ ජනමත විචාරණය බැවින් ජනාධිපතිතුමාටද ඒ තුළ යම් ඉඩක් ලබාදීම වැදගත් වේ.

                ඒකීය වනග්තිය නාමිකව එසේ තිබියදී ව්‍යවස්ථාවට තව දුරටත් ෆෙඩරල් බලතල ප‍්‍රමාණයක් ඇතුල් කිරීමේ තාක්ෂණික ගැටළුවක් මතු නොවන බව හිටපු අගවිනිසුරු රාජා වනසුන්දර මහතා ඔහුබ අසාධ්‍යව අවසන් මොහොතේ ලෙඩ ඇදේ සිටියදී පවා පැවසූ දෙයකි. 13 වැනි සංශෝධනයේ පවතින ඉන්දියාවේ ෆෙඩරල් බලතල පවා ඉක්මවා යව යම් ෆෙඩරල් බලතල ව්‍යවස්ථාවට ඇතුල් කිරීමට ජයවර්ධන මහතා සමත්වූයේ ‘‘ඒකීය වගන්තිය’’ ව්‍යවස්ථාවේතිබූ තැන තිබූ පරිධිම තිබියදීය. සුමන්තිරන් මන්ත‍්‍රිවරයාගේ මහ මොළයට ඉතා නිවැරදිව තේරු යන පරිදි ලේබලයක් ඉවත් කිරීමට ගොස් බෝතලයේ අන්තර්ගතය බිම හලා ගැනීම අනුවන කමකි. ලේබලය එසේ තිබියදී අන්තර්ගතය වෙනස් කිරීමට එකතු කළ යුත්තේ ඉතා කුඩා ‘‘විෂ’’ ප‍්‍රමාණයක් පමණි. එසේ එකතුකරනු ලබන විෂවල දුර්ගන්ධයක් දැනේනම් එය සමනය කිරීම සඳහා එකතු කළ බොහෝ සුන්ධවත් සංකල්ප ඇත. නව මානව හිමිකම්, ආර්ථිකඅයිතිය, ඡුන්ද ක‍්‍රමය වෙනස් කිරීම සහ ජනාධිපති ක‍්‍රමයේ තටු ගැලවීම ආදී බොහෝ සුගන්ධවත් සංකල්ප ඒ සඳහා යොදාගනු ඇත. මහින්ද රාජපක්‍ෂ හිතවාදීන්ගේ උපදෙස් අනුවද කෙසේ හෝ ජනාධිපතික‍්‍රමයේ තටු කිහිපයක් කපාගතහොත් මහින්ද මහතාට ලැබෙන අගමැතිකම ජනාධිපතිකම සේ කරගෙන යා හැක. ඔවුහු තමා කතුරක් රැුගෙන ව්‍යවස්ථා සම්පාදක සභාවේ ‘‘කරක් ගැසිය’’ යුත්තේ ඒ සඳහා යැයි තර්ක කරති. නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සිහින දකින මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ ඊළ`ග ජනාධිපතිවරණයට දැන් පටන්ම සූදානම්වන රනිල් වික‍්‍රමසිංහ මහතා ඔවුන් තටු කපනතුරු තම තටු දික්කරගෙන සිටිනවා යන උපකල්පනය ඊට හේතු වී ඇත. නමුත් පසුගිය දිනවල අතුරුදහන්වූවන්ගේ කාර්යාල පනත සම්මතකරගත් ආකාරය අනුව එම දෙපල තටු ගසනු ඇත්ද එසේ නැතහොත් දික්කරනු ඇත්ද යන වටහා ගැනීමට ඉඩක් ලැබුණි.

                ඊට අමතර ජනාධිපතිතුමා වැඩිය තටු ගැසීමට උත්සාහ කළහොත් සිදුවන දේ කුමක්දැයි හදිසියේ ඔස්ටෙ‍්‍රිලියාවෙන් මතු වූ ‘‘කතුරෙන්’’ පැහැදිලි වේ. දැන් රනිල් වික‍්‍රමසිංහ මහතා සැරසෙන්නේ එක ගලෙන් කුරුල්ලෙන් දෙදෙනෙකු බිම දැමීමටය. එනම් බෙදුම්වාදී බලවේග සතුටු කිරීම සඳහා අවශ්‍ය නව ව්‍යවස්ථා ජනමත විචාරණයකට ඉදිරිපත් කොට ලබාගන්නා ජයග‍්‍රහණය තමාගේද ජයග‍්‍රහණයක් ලෙස හුවා දැක්වීමය. තවත් පැත්තකින් යම් අනතුරක් තිබුනත් ඍජුව ජනමත විචාරණයකට යාම මගින් ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදන අධිකරණයේදී අභියෝගයට ලක්වීමද වළක්වා ගත හැක. උදාහරණයක් ලෙස ඉහත සඳහන්කළ ආකාරයට ඒකීය වගන්තිය නාමිකව තිබියදී ෆෙඩරල් බලතල ප‍්‍රමාණයක් සුක්‍ෂමව ඊට පිටුපසින් ඇලවීමේ අභියෝගය ජයගැනීම සඳහා එසේ අධකරණය ම`ග හැරීම ඉතා වැදගත් වේ. ව්‍යවස්ථාව සම්මත වූ පසුව එම බලතල ක‍්‍රියාත්මක කිරිමේදී පැන නගින ගැටළු අභියෝගයට ලක්වන්නේ එන්.ජී. ඕ. කාරයන්ගෙන් සමන්විත ව්‍යවස්ථා අධිකරණයක් මගිනි. එනිසා වැදගත් වන්නේ පළමු බාධකය ජය ගැනීම පමණි.

                ඉහත සඳහන්කළ අකාරයට තිම්පු සංකල්ප ව්‍යවස්ථාවට ඇතුල් කිරිමේදී ශ‍්‍රී ලංකාවේ ජනවර්ග සංයුතිය විග‍්‍රහ කිරිමේ මුවාවෙන් එහි බරපතළ කම සැ`ගවීමේ ඉඩක් ඇත. ඊට අමතරව ස්වයං තීරණ අයිතිය ලබාදීම සඳහා මූලික අයිතිවාසිකම් පුද්ගල සහ පොදු වශයෙන් වෙන්කොට දැක්වීම මගින් තාක්‍ෂණික ඉඩක් විවරකරගත හැක. සුමන්තිරන් මහතා හඳුන්වන ‘‘මෝඩයින්’‘ නැතිවීමට ගිය ‘‘ලේබල්ටික’’  ‘‘බේරාගැනීමේ’’ සතුට භුක්ති විදීම සඳහා ඝෝෂෘ පවත්වන විට එම සුක්‍ෂම තාක්‍ෂණික කරුණු නොවැදගත් වනු ඇත. මතුපිටින් යහපත්බව පෙනෙන සංකල්ප රාශියක් තුළ සැගවීමට නියමිත එම මාරක වගන්ති පිළිබඳ සමාජ අවධානය යොමුකිරීම අවශ්‍ය කාලයේදී ලැබෙන් ඇතැයි සිතිය නොහැක.

                පවතින තත්වය තුළ ප‍්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීමට සිදුවුවහොත් රනිල්-මෛත‍්‍රී දෙපළ බිත්තියට හේතු කිරීමට මහින්ද රාජපක්‍ෂ මහතාට ඉතා හො= ඉඩක් ලැබෙන බව දැන් පැහැදිලිව පෙනේ.  එම නිසා විවිධ හේතු මත එම මැතිවරණය කල් දමා තමාට පහසුවෙන් ජයගත හැකි ජාතික මැතිවරණයකට යාම රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අපෙක්ෂාව වනු ඇත. පසුගිජ ජනාධිපතිවරණයේදී ලබාගත් දෙමළ-මුස්ලිම් සුළු ජාතික ඡුන්ද ප‍්‍රතිශතය තවමත් රැුකී ඇතැයි යන විශ්වාසය මෙන්ම නීතිය නැමීමට හැකියැයි විශ්වාස කරන පොලිස්පතිවරයා සහ මැතිවරණ නීති ගැන සුරංගනා කථා කියමින් පසුගිය කාලයේදී ඊට පටහැනිදේ සිදුවීමට ඉඩ හැර බලා සිටින මැතිවරණ කොමසාර්සිවරයා පිළිබඳ පවතින විශ්වාසය මත රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ඉතා කඩිනමින් එම අපෙක්ෂාව යථාර්ථයක් බවට පත්කරනු ඇත. මහලේකම් බන්කි මූන්ට පෙන්වනු ලබන යටහත් පහත් සමයේ සංවේදනයක් ලෙස විදේශ අමාත්‍යවරයා විසින් ජනමතවිචාරණය පවත්වන දින වකවානු ගැන ප‍්‍රකාශයක් කරන්නට යෙදුනි. දැනටමත් විදේශකටයුතු අමාත්‍යවරයා විසින් එක්සත් ජාතීන්ගේ මහලේකම් බන්කි මූන් මහතාගේ ශ‍්‍රී ලංකා ගමන නිමිතකොටගෙන තම ආණ්ඩුව ඉදිරියේදී ඉටුකරන්නට නියමිත පොරොන්දු කිහිපයක් ගැන අදහස් පළඵකොට ඇත. ඒ අනුව සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීමේ පනත සහ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතට අදාල කොටුම්පත් අයවැයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට වූ පොරොන්දුව ඉටුකරන බවට ඔහු සහතික වී ඇත. ඔහු එම සහතිකය ලබාදෙන්නේ පේදුරු තුඩුවේ සිට වීමද විශේෂත්වයකි. අගමැතිතුමා ඉන්පසුව එය නිවැරදි කිරීමට උත්සාහ ගත්තද බන්කිමූන්ලාට දුන් පොරොන්දු ඉටු කිරිමේ උවමනාවට අමතරව තම දේශපාලන බලය තහවුරුකර ගැනීමටද දැන් ජනමත විචාරණය යොදාගැනීමේ උවමනාව තිබෙන බව ඉතා පැහැදිලිව පෙනේ.

                බොහෝ විට එට්කා ගිවිසුම  අත්සන් කිරීම සහ දෙමුහුන් යුද අපරාධ අධිකරණය කරළියට පැමිණෙන්නේ ඊට පසුව විය හැක. නමුත් විපක්‍ෂය එම අභියෝගයට මුහුණ දීමට සූදානම්ද? අන්තිම මොහෙතදක්වා ව්‍යවස්ථා සම්පාදක ගුබ්බෑයමේ ලැ`ගසිට අනතුර දෙපතුළ අසලට පැමිණි විට එළියට පැන මහජනයාට කරුණු කීමට ඔවුන්ට සදාචාර බලයක් ඉතිරිවේද? එම නිසා නව ව්‍යවස්ථාවේ අඩංගුවිය හැකි භයානක ප‍්‍රතිපාදන මොනවාද යන්න සහ ආණ්ඩුවේ ක‍්‍රිඩා සැලසුම කමක්ද යන්න තේරු ගැනීම සඳහා අවශ්‍ය සමාජ කථිකාව ආරම්භ කිරීමට සියළු ජාතික බලවේග එක්විය යුතු කාලය දැන් පැමිණ ඇති බව කිය යුතුය. 

වෛi කේ.එම්. වසන්ත බණ්ඩාර 

                    

Comments

Popular posts from this blog

හම්බන්තොට වරාය චීනට, කොළඹ වරාය ඉන්දියාවට, මත්තල ගුවන්තොට ඇමෙරිකාවට : ඊළඟට කුමක්ද?

දේශීය ව්‍යවසායකයා හාන්සි කළ මිල විකෘතිය

යටත් කිරීමට පෙර යටත්වීම සහ බොරු වලවල් කැපීම: