ජනපති සහ ඇමති - මහ ඇමතිවරුන් පඹයින් කරන සංවර්ධන විශේෂ පනත


ශ‍්‍රී ලංකා ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ආණ්ඩුවක් තුළ ආණ්ඩුවක් පිහිටුවීම සඳහා විශේෂ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ගැසට් පත‍්‍රයේ පළකොට ඇත. ජාතික ප‍්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යවරයා හෙවත් වර්තමාන අගමැතිවරයා එම පනත ක‍්‍රියාත්මක කරන බලධාරියා බවට පත්වේ. සංවර්ධන විශේෂ විධිවිධාන පනත ලෙස හැදින්වෙන එම කෙටුම්පත අනුව අදාළ අමාත්‍යවරයා සර්වබලධාරී අමාත්‍යවරයකු බවට පත්වේ. ජේ.ආර්. ජයවර්ධන මහතා අභිනවයෙන් විධායක ජනපති තනතුරට පත් වූ අවස්ථාවේදී ප‍්‍රකාශ කළ පරිධි එම අමාත්‍යවරයාට ගැහැණියක් පිරිමියෙක් කිරීම හැර අනෙක් සියළුම විධායක ක‍්‍රියාමාර්ග ගැනීම සඳහා එම පනත මගින් බලය ලබාදේ.

එම පනත මගින් එක් පැත්තකින් සංවර්ධනයේ නාමයෙන් රාජ්‍ය පාලනයේ සියළු විෂය පරාසයන්ට අදාළව ප‍්‍රතිපත්ති සකස් කිරීමේ බලය සර්වබලධාරී අමාත්‍යවරයා යටතට ගැනේ. අනෙක් පැත්තෙන් එම ප‍්‍රතිපත්ති මත පදනම්ව ව්‍යාපෘති සහ වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමේ බලය අදාළ අමාත්‍යවරයා විසින් අත්පත්කරගනු ඇත. ඒ සඳහා පනත යටතේ ප‍්‍රධාන ආයතන දෙකක් පිහිටුවනු ලැබේ. පළමු කටයුත්ත ප‍්‍රතිපත්ති සම්පාදන කාර්යාලය ලෙස හැදින්වෙන ආයතනයට පැවරෙන අතර දෙවැන්න සංවර්ධන ඒජන්සිය නම් වූ ආයතනයට පැවරේ. ඊට අමතරව මෙම පනත යටතේ තුන්වන මට්ටමක් ලෙස ප‍්‍රාදේශීය සංවර්ධන මණ්ඩල 5ක් ක‍්‍රියාත්මක වේ. දැනට පවතින පළාත්වල පරිපාලන සීමා ඉක්මවා යන ආකාරයට එම ප‍්‍රාදේශීය සංවර්ධන මණ්ඩල හරහා භූගෝලීය ප‍්‍රත්‍ද්ශවලට අදාළව බලය අත්පත්කර ගැනීමක් මෙම පනත මගින් සිදුවේ. පළාත් සභා ක‍්‍රමයට අකමැති පිරිස් එම ප‍්‍රතිපාදනය පිළිබඳ සතුටට පත්වනු ඇත.

පළාත් සභා යටතේ පවතින ආයතන වලට මුදල් වෙන්කිරිමේ බලය පවා මෙම ප‍්‍රාදේශිය සංවර්ධන මණ්ඩල විසින් අත්පත්කර ගැනේ. ඒ සියල්ලට අමතරව මේ පනත මගින් ජාත්‍යන්තර වෙළද කටයුතු කලමණාකරණය සඳහා විශේෂ ආයතනයක් පිහිටුවීමටද අමාත්‍යවරයාට බලය ලැබේ. එම ප‍්‍රතිපාදන මගින් ආයෝජන මණ්ඩල පනතේ සහ අපනයන සංවර්ධන මණ්ඩල පනතේ යම් ප‍්‍රතිපාදන අත්හිටුවන අතර එම ආයතන පරිපාලනය කිරිමේ බලයද නව පනත යටතට ගැනෙයි. ඊට අමතරව වානිජ අධ්‍යක්‍ෂකවරයා  අපනයන පාලකවරයාට සහ තේ මණ්ඩලයට අයත් බලතල ක‍්‍රියාත්මක කිරීම සඳහා මගපෙන්වීමේ සහ අධීක්‍ෂණය කිරිමේ බලයද එම නව ආයතනය විසින් අත්පත්කර ගැනෙයි. ඒ අනුව පනත යටතේ පිහිටුවනු ලබන ජාතික ප‍්‍රතිපත්ති කාර්යාලය මගින් තීරණය කරනු ලබන වෙළඳ ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරිමේ බලයද පනත යටතේම පිහිටුවනු ලබන මෙම නව ආයතනයට පැවරේ. අමාත්‍යවරයාගේ ඍජු පාලනයට යටත්වන එම ආයතනයට බදු පැනවීම සහ බදු සහන දීම සඳහා විශේෂ බලයක් හිමිවේ. ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අවශ්‍යවන්නේ නැත.

මෙම පනතට අදාළව තවත් විශේෂ බලයක්ද ඇමතිවරයා වන අග‍්‍රාමාත්‍යවරයා විසින් අත්පත්කර ගනියි. එනම් අප රටේ ජනාධිපතිවරයාට ලැබී තිබෙන නීතියට යටත් නොවන මුක්තිය හෙවත් නීතියෙන් නිදහස්වීමේ බලය අගමැතිවරයාට ද ලැබේ. ඒ අනුව අගමැතිවරයාට පමණක් නොව ඔහුගේ නියෝග පිළිපදින සෙසු නිලධාරීන් නීතියට පිටින් කටයුතු කරන අවස්ථාවක ඔවුන්ට විරුද්ධව අධිකරණයේ පිහිට පැතීමට මහජනයාට ඇති අයිතිය පනත මගින් අහෝසි කෙරෙයි. එම තත්වය තුළ අගමැතිවරයාගේ විධායක තීන්දු තීරණ නිසා අගතියට පත්වන පාර්ශ්ව වලට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිත්වාසකම් නඩු පවරීමට ඉඩ ලැබෙන්නේ නැත. එසේම එම තීන්දු අභියෝගයට ලක් කිරීම සඳහා අභියාචනා අධිකරණය සතු බලයද පනත මගින් අහෝසි කෙරෙයි. එපමණක් නොව යම් නිලධාරීන් විසින් කරන ලද වරදකට එරෙහිව සිවිල් නඩු පැවරීමක් මගින් වන්දි ඉල්ලා සිටි අවස්ථාවක එම වන්දිය රජය මගින් ගෙවා දැමීමටද පනත යටතේ ප‍්‍රතිපාදන සලසා ඇත.
මෙම අරුම පුදුම සර්වබලධාරී පනත මගින්  ඕනෑම රාජ්‍ය ආයතනයක් සතු ප‍්‍රතිපත්ති සකස් කිරිමේ බලය සහ ඒවා ක‍්‍රියාත්මක කිරීමට අදාළ අධීක්‍ෂණය කිරිමේ බලය අගමැතිවරයා යටතට ගැනෙනු ඇත. ඊට අමතරව ඉඩම් අයිතිය සීමා කිරිමේ පනතේ ප‍්‍රතිපාදන මෙම පනත මගින් අහෝසි කෙරෙන අතර වන සංරක්ෂණ, වනජීවී සංරක්‍ෂණ, මහවැලි අධිකාරිය, ආයෝජන මණ්ඩලය, සංචාරක සංවර්ධන අධිකාරිය ආදී නියාමන බලතල සහිත පනත් රාශියක ප‍්‍රතිපාදන නොසලකා කටයුතු කිරිමේ බලයද අත්පත්කර ගැනෙයි. පරිසර අධිකාරී පනත ඍජුව යටත් කිරීමක් සිදු නොවුනද එම අධිකාරියේ කටයුතු වලට අදාළව මැදිහත්වීමේ බලය අගමැතිවරයා අතට ලැබේ.

මෙම පනතේ මූලික බලතල ක‍්‍රියාත්මක වන්නේ වසර 3ක කාලයක් තුළ බව පනතේ සඳහන් වේ. කෙටි කාලයක් තුළ සමස්ථ රටේ සියළු අංශවල බලය අත්පත්කර ගෙන ඒ සියල්ල කනපිට පෙරළීමේ අවශ්‍යතාවයක් අගමැතිවරයාට තිබෙන බව මෙම අරුම පුදුම පනත අනුව ඉතා හොදින් පැහැදිලිවේ. එදා 2002 වසරේදී ආරම්භ වූ යළි පුබුදමු ශ‍්‍රී ලංකා වැඩසටහන තුළ පනත් 32කට අධික ප‍්‍රමාණයක් සංශෝධනය කරමින් ඉටුකර ගැනීමට අපේක්‍ෂාකළ තත්වය මෙසේ එක් පනතක් මගින් ආනෙකුත් සියළුම පනත් යටපත් කිරීම හරහා ඉටුකරගත හැක. ඒ අනුව යළි පුබුදමු ක‍්‍රියාක්මක කිරිමේදී මතු වූ නීතීමය සහ පරිපාලන බාධක කිසිවක් නව පනතට යටතේ පැනනගින්නේ නැත. එසේම විවිධ ඇමැතිවරුන් තම බලපරාසයන් රැුකගැනීම සඳහා පනවනු ලබන බාධකද මෙම නව පනත මගින් ඉවත්වේ.

නව පනත ක‍්‍රියාත්මක වීම ආරම්භ වූ පසුව සිරස් සහ තිරස් යන ආකාර දෙකට අමතරව විශේෂිතවද පතුරවනු ලබන අගමැතිවරයා සතු දේශපාලන සහ පරිපාලන බලය විසින් අමාත්‍යවරුන් මහ ඇමතිවරුන් පමණක් නොව ජනාධිපතිවරයාද අසරණ බවට පත්කෙරෙනු ඇත. දැනටමත් ආර්ථික ප‍්‍රතිපත්ති අමාත්‍යාංශය මුදල් අමාත්‍යාංශය සහ අගමැති කාර්යාලය ආශ‍්‍රිතව බලය අත්පත්කරගෙන සිටින අගමැතිවරයාගේ හිතවතුන් සහ උපදේශකයින් පනත යටතේ පිහිටුවනු ලබන ආයතන පද්ධතියට කඩාවදින බවට කිසිදු සැකයක් නැත. එවිට ආර්. පේ‍්‍රමදාස ජනාධිපතිවරයාගේ මුදල් ලේකම්ව සිටි වර්තමාන අගමැතිවරයාගේ ප‍්‍රධාන උපදේශකයකු වන පාස්කරලිංගම් සහ මහ බැංකු රැුකියාව අහිමි වූ අර්ජුන මහේන්ද්‍රන් වැනි මහත්වරුන්ගේ අනසක යටතේ කටයුතු කිරීමට අමාත්‍යවරුන්ට බලකෙරෙනු ඇත. අමාත්‍යමණ්ඩලය සහ ජනාධිපතිවරයා දැනුවත් නොකර සහ ඔවුන්ගේ අනුමැතිය නොමැතිව ක‍්‍රියාත්මක කළ හැකි බලතල එම නිලධාරීන් අතට පත්වනු ඇත.

මෙම පනතේ මූලික අරමුණ යළි පුබුදමු ශ‍්‍රී ලංකා වැඩසටහනට යළි පණදීම බව ඉතා පැහැදිලිව හඳුනාගත හැක. ආයෝජන ප‍්‍රවර්ධනය කිරිමේ නැමයෙන්  ඕනෑම දේශීය හෝ විදේශීය ජාවාරම්කාරයෙක්ට අඩු මිලට රජයේ ඉඩම් අක්කර 5000ක් බැගින් වුවද එක් පෑන් පහරින් ලබාදීමේ හැකියාව මෙම පනත මගින් අගමැතිවරයාට ලැබේ. එසේම ඔවුන්ගේ ආයතන වලට සහ අදායම් වලට හිතුමතයේ බදු සහන ලබාදීමේ බලයද ඔහුට ලැබේ. මෙම පනත සම්මත වුවහොත් දෙමළ ඩයස්පෝරාව ඇතුළු ‘කළු සල්ලි’ සම`ග සෙල්ලම් කරන ජාවාරක් කාරයින් විසින් ශ‍්‍රී ලංකාවේ දේපල අත්පත්කර ගැනීමේ විශේෂ මෙහෙයුමක් දියත් කරන බවට කිසිදු සැකයක් නැත. ඔවුන්ගේ ඊනියා ආයෝජන සාධාරනීකරණය කිරීම සඳහා පනත යටතේ සුවිශේෂි සංකල්ප හදුන්වාදී ඇත. ඒ අනුව කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය සහ සංචාරක කර්මාන්තය ‘නවීකරණය කිරිමේ’ මුවාවෙන් කෘෂිකාර්මික ඉඩම් සහ මුහුදු වෙළර පමණක් නොව මහා සාගරයද තම හිතවතුන්ට බෙදා දීමට පනත මගින් අගමැතිවරයාට බලය ලැබේ. ඉහත සඳහන් කළ ආකාරයට එක් පනතක් මගින් සමස්ථ රටේම පරිපාලන ක‍්‍රියාවලිය අත්පත්කර ගැනීමේ මෙම උත්සාහය නිර්වචනය කළ හැක්කේ ආණ්ඩුව තුළ ආණ්ඩුවක් පිහිටුවීම ලෙස පමණි. එසේ නොමැතිව ඒ ආකාරයට සියල්ල මධ්‍යගත කොට එක් ආයතනයක් මගින් පාලනය කිරීමට ගන්නා වූ උත්සාහය කළමනාකරණ මූලධර්ම අනුව පැහැදිලි කළ හැකිද? මෙම ක‍්‍රියාවලිය තුළ පුද්ගලයන් කිහිප දෙනෙකුගේ අත්තනෝමතිකභාවය රටේ කළමණාකරණ සංස්කෘතිය බවට පත්වීම වැළැක්විය නොහැක.

මෙම පනත මගින් ඉතා කෙටි කාලයක් තුළ රට තුළට විශාල වශයෙන් මුදල් ගලා ඒම සිදුවන බව සහ රැුකියා අවස්ථා සහ ආයෝජන අවස්ථා වැඩිවන බවට අගමැතිවරයා විසින් නිදහසට කරුණු දක්වනු ඇත. නමුත් දීර්ඝ කාලීනව අදාළ ප‍්‍රතිපාදන ක‍්‍රියාත්මක වුවහොත් වනාන්තර ඇතුළු රජයේ ඉඩම් අතිබහුතරය ජාවාරම්කාරයින් අතට පත්වනු ඇත. ඒ තුළ ග‍්‍රාමීය ගොවිජනතාව ගොවිතැන සහ ගොවි ඉඩම් අත්හරිමින් කෘෂිකාර්මික කම්කරුවන් බවට පත්වීමේ ප‍්‍රවනතාවයද වැඩිවනු ඇත. ඒ ආදී වශයෙන් සමස්ථ සමාජය උඩු යටිකුරු කෙරෙන සමාජ ප‍්‍රතිසංස්කරණ රාශියක් මෙම ඊනියා ආර්ථික සංවර්ධන පනත මගින් දැනුවත්ව අපේක්‍ෂා කෙරෙන බවට සැකයක් නැත. රාජ්‍ය ආයතන විකුණා දැමීම පමණක් නොව සෞඛ්‍ය සහ අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරිමේ ක‍්‍රියාවලිය ඉතා සීග‍්‍රයෙන් ඉදිරියට ගෙනයාමට මෙම පනත හරහා ඉඩකඩ විවරවේ. ප‍්‍රතිපත්ති සම්පාදනය සහ ඒවා ක‍්‍රියාත්මක කිරිම අධීක්‍ෂණය කිරිමේ සුවිශේෂි බලය ඒ සඳහා සාර්ථකව යොදාගැනෙනු ඇත. ඉන්දීය-ශ‍්‍රී ලංකා ‘‘එට්කා’’ ගිවිසුම අත්සන් කිරීම සහ ක‍්‍රියාත්මක කිරීමට අදාළව පවතින විවිධ බාධක මගහැර ගැනීමටද මෙම පනත මගින් අපේක්ෂා කරන බවට සැකයක් නැත.

අගමැතිවරයා විසින් හිතුවක්කාරී ලෙස ආර්ථිකයේ විවිධ ක්‍ෂේත‍්‍රවලට අත් පෙවීමේදී දැනට පවතින පනත් වලින් එල්ලවන බාධක ඉවත් කිරීම මෙම පනතේ මූලික අරමුණකි. උදාහරණයක් ලෙස නාගරික සංවර්ධන අධිකාරිය පනතේ නිශ්චිත වගන්ති ප‍්‍රමාණයක් ක‍්‍රියාත්මක කිරීම මෙම පනත මගින් අත්හිටවනු ලබයි. එසේම නව පනත මගින් පනවනු ලබන නියමයන් ක‍්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය බැදී සිටියි. ඊට අමතරව සංචාරක සංවර්ධන අධිකාරියද අදාළ පනතේ කුමක් සඳහන් වුවත් සම්පූර්ණයෙන්ම නව පනතේ බල අධිකාරියට යටත් වේ. මහවැලි සංවර්ධන අධිකාරියට සහ තේ මණ්ඩලයටද එම ඉරණම අත්වේ.

මෙම පනත යටතේ  ඕනෑම ආයතනයක කාර්ය සාධනය අධීක්‍ෂණය කිරීමට සහ වැරදි නිවැරදි කිරීම සඳහා නියෝග දීමේ බලය අගමැතිවරයාට  ලැබේ. ඒ මගින් ජනාධිපතිවරයා සතු විධායක බලය හොර පාරෙන් අගමැතිවරයා අතට ලබාදීමක් සිදුවේ. එසේම පනත යටතේ සකස් කෙරෙන ජාතික ප‍්‍රතිපත්ති පාර්ලිමේන්තුව විසින් අනුමැතකළ යුතු වුවද ඒවා සංශෝධනය කිරිමේ බලය පනත මගින් අගමැතිවරයාට ලැබේ.  එසේ සංශෝධනය කෙරෙන ප‍්‍රතිපත්ති නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඔහු බැදී නොසිටිය. ඒ අනුව පාර්ලිමේන්තුව පවා නොසලකා ක‍්‍රියාකිරිමේ බලයක් පනත මගින් අගමැතිවරයාට ලබාදේ. එවැනි තත්වයක් තුළ ජනාධිපතිවරයා ඇමතිවරුන් සහ මහ ඇමතිවරුන් පමණක් නොව මන්ත‍්‍රිවරුන්ද මෙම පනත යටතේ පඹයින් බවට පත්වන බවට  කිසිදු සැකයක් නැත.

මෙම පනත පවතින දේශපාලන යථාර්කය තුළ සම්මත කළ හැකි යැයි විශ්වාස කළ නොහැක. එක් පැත්තකින් පනතේ පවතින ඉතා පැහැදිලිව පෙනෙන ව්‍යවස්ථා විරෝධී ප‍්‍රතිපාදන වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත්වනු ඇත. ඊට අමතරව පළාත් සභා මහ ඇමැතිවරුන්ගේ විරෝධයද ප‍්‍රභලව මතුවනු ඇත. ඒ සියල්ලටම වඩා මෙම පනතට විරුද්ධව කැරළි ගසනු ඇත. එවැනි කිසිවක් සිදු නොවී මෙම පනත සම්මත වුවහොත් ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව  ඕනෑම පාවාදීමකට සූදානම් බව ඒ මගින් ප‍්‍රකට වේ. ඒ අනුව මෙම පනත් කෙටුම්පත එක්තරා ආකාරයක මුට්ටිය දමා බැලීමක්ද විය හැක. 
     
වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර

   

Comments

Popular posts from this blog

හම්බන්තොට වරාය චීනට, කොළඹ වරාය ඉන්දියාවට, මත්තල ගුවන්තොට ඇමෙරිකාවට : ඊළඟට කුමක්ද?

දේශීය ව්‍යවසායකයා හාන්සි කළ මිල විකෘතිය

යටත් කිරීමට පෙර යටත්වීම සහ බොරු වලවල් කැපීම: