ගෝලීය ඇමරිකානු බලහත්කාරයට මුහුණ දෙන්නේ කෙසේද?


 ඇමරිකානු බලධාරීන් විසින් තුන්වන පාර්ශවයක් යොදාගනිමින් ඉරාකය සංවිධානය කළ රාජ්‍ය තාන්ත්‍රික රැස්වීමකට කැඳවූ ඉරානයේ හමුදා නායක කසීම් සොලෙයිමාන් ඩ්‍රෝන ප්‍රහාරයක් මඟින් මරාදැමීමෙන් පසුව ඇමරිකාව බරපතල ලෙස ලෝක අපවාදයට ලක් විය. එම තත්වය ඇමරිකානු මැරින් හමුදා භටයින් අවසරයකින් තොරව පාකිස්ථානයට කඩාවැදී අල්කයිඩා ත්‍රස්ත නායක බින් ලාඩන් මරා දැමීමෙන් පසුව ඇති වූ තත්වයට වඩා බෙහෙවින් වෙනස් විය. ඉරාන ජනතාව ලක්ෂ ගණනකින් විදි වලට බැස තම ගෞරවයට පාත්‍රව සිටි හමුදා නායකයාට අවසන් ගෞරව දැක් වූහ. ඇමරිකාව විසින් ඉරාකය ආක්‍රමණය කොට ගත වූ වසර 16 ක කාලය තුළ මතු නොවූ ප්‍රභල ඇමෙරිකන් විරෝධයක් ඉරාක පාර්ලිමෙන්තුව තුලින් පවා ගුණනැගිනි. ඒ අනුව ඇමරිකාව වහාම තම හමුදා කඳවුරු ඉරාකයෙන් ඉවත් කර ගත යුතු බවට යෝජනාවක් ඉරාක පාර්ලිමෙන්තුව විසින් සම්මත කරනු ලැබීය. ඊට ප්‍රතිචාර දක්වමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා කියා සිටියේ එසේ ඉරාකයෙන් ඇමරිකානු හමුදා කඳවුරු ඉවත් කර ගැනීමට බලකරන්නේ නම් ඉරාකයට එරෙහිව දැඩි සම්බාධක පනවන බවය. ඊට අමතරව ඔහු කියා සිටියේ ඉරාකය තුල ඇමරිකාව විසින් කරනු ලැබු සියළු වියදම් හෙවත් ඊනියා ආයෝජන වල වටිනාකම ආපසු ගෙවිය යුතු  බවය.

ඇමරිකානු ජනාධිපතිවරයා විසින් එම ප්‍රකාශය හරහා සමස්ථ ලෝක ජනතාවටම සුවිශේෂි පණිවිඩයක් ලබා දී ඇත. ලෝකය පුරා නම් කරනු ලැබූ සහ සක්‍රීයව පවත්වා ගෙන යන ප්‍රධාන ඇමරිකානු හමුදා කඳවුරු සහිත රටවල් 38 ක ජනතාවට සහ පාලකයින්ට එම ප්‍රකාශය හරහා ඔවුන්ගේ ස්වයිරීත්වයට අදාලව පැහැදිළි පණිවිඩයක් ලබා දී ඇත. ඒ අනුව පැහැදිළිවන්නේ ඇමරිකානු හමුදා කඳවුරක් විදේශීය රටක පිහිටවූ පසුව ආපසු ගමනක් හෙවත් එම කඳවුරු ඉවත්කර ගැනිමක් පිළිබඳ එම රටේ පාර්ලිමෙන්තුවට පවා තීන්දු කළ නොහැකි බවය. ඒ මඟින් තව දුරටත් පැහැදිළි වන්නේ ACSA සහ SOFA ගිවිසුම් අත්සන් කරමින් ඇමරිකානු හමුදාවට කඳවුරු පිහිටුවීමට ඉඩදුන් පසුව එම තීන්දු නැවත ආපසු හැරවිය නොහැකි බව නොවේද? ඒ අනුව 2017 දි ශ්‍රී ලංකාව ද ඒ ආපසු නොඑන ගමනට අවතිර්ණ වි ඇති බව පිළිගැනීමට සිදුවේ. දැන් ඕනෑම මොහොතක ඇමරිකානු හමුදාවලට ඒකපාර්ශවීයව ශ්‍රී ලංකාවට ඇතුල්වීමට අවසරය අප විසින් ලබාදි ඇත. 
නමුත් එසේ රට තුලට ඇතුල්වන ඇමරිකානු හමුදාවලට ලබා දෙන වරප්‍රසාද සහ පහසුකම් පිළිබඳ අවසන් එකඟතාවයට පැමිණ නැත. එම එකඟතාවය එනම් SOFA ගිවිසුමට ආදාල ඉල්ලිමට එකඟ බවට ලිපිය විදේශ ලේකම්වරයා විසින් අත්සන් තැබූ සැනින් එම අඩුව සැපිරේ.

පසුගියදා එක දවසක නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි දකුණු සහ මධයම ආසියානු නියෝජ්‍ය සහකාර ලේකම් ඇලිස් ජී වෙල්ස් මහත්මිය සඳහන්කොට ඇත්තේ SOFA  ගිවිසුම දිගුකිරිම පිළිබඳ එළඹෙන පාර්ලිමෙන්තු මැතිවරණයෙන් පසුව සාකච්ඡා කළයුතු බවය. MCC  ගිවිසුම පිළිබඳව ද මතක් කොට ඇති ඇය ඊට අදාළව පත්කොට ඇති කමිටුවේ තීන්දුව අනුව කඩිනමින් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවන බවද සඳහන් කොට ඇත. " හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව " නම් වෙබ් අඩවියේ සඳහන් කරන ආකාරයට ඇලිස් වෙල්ස් විසින් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ අත්සන සහිත ලිපියක් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට බාරදී ඇත. එම විශ්ලේෂකයින්ගේ මතය අනුව එසේ බලපැම් සහගත ලිපියක් චීන සහ රුසියානු විදේශ අමාත්‍යවරුන්ගේ ශ්‍රී ලංකා සංචාරයට පෙර ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට එවීම විශේෂිත කරුණකි. ඒ මඟින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලකයින්ට යම් මානසික බලපෑමක් ඇති කිරිමට උත්සහාගෙන ඇති බවද වාර්තා වේ.
ඇලිස් වෙලස් වැනි මැද මට්ටමේ ඇමරිකානු රාජ්‍ය නිලධාරිනියකට රාජ්‍ය නායකයෙකුට සලකන ආකාරයට එක් දින චාරිකාවක දී රටේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා යන නායකයින් දෙදෙනාම මුණගැසීමට අවස්තාව ලබා දීම පිළිබඳව යම් දේශපාලන විචාරකයින් මවිතය පළකරති. ශ්‍රී ලංකාව සමඟ දිර්ඝ සබඳතාවයක් සහිත බලවත් රුසියානු දේශපාලන නායකයෙකු වන විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් මහතාට සැලකූ ආකාරය සමඟ සසදන විට එය විශේෂිත බව පැහැදිළිව පෙනේ. රුසියානු විදේශ අමාත්‍යවරයා පිළිගැනීමට ගුවන්තොටුපළට රාජ්‍ය අමාත්‍යවරයා යැවීම පිළිබඳව ද රුසියානු පාර්ශවයේ සැලකිල්ලට ලක් වු බව ද වාර්තා වේ. ශ්‍රී ලංකාව පැත්තෙන් රුසියාවෙන් සුවිශේෂි ඉල්ලීම් ඉදිරිපත්වනු ඇති බවට රුසියානු පාර්ශව බලාපොරොත්තු වී ඇතත් විශේෂයෙන්ම න්‍යෂ්ඨික විදුලි බලාගාර වැනි යෝජනා එවැනි නිශ්චිත ආර්ථික සහයෝගීතාවයකට අදාළ යෝජනාවක් ශ්‍රී ලංකාව පැත්තෙන් ඉදිරිපත් වි නැත. ඊට අමතරව ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට රුසියාවේ යුධ සැමරුම් උත්සවයකට ආරාධනා කිරීමට උවමනාවක් මෙන්ම රුසියාවේ ජනාධිපතිවරයාට ශ්‍රී ලංකාවේ සංචාරයකට ආරාධනා කෙරෙනු ඇතැයි අපේක්ෂාවක් ද රුසියානු පාර්ශවයට තිබූ බවද මොස්කවු නුවර ආරංචි මාර්ග අනුව පැහැදිළි වේ. ඒ කිසිවක් සිදු නොවූයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ලිපිය නිසාදැයි වාමාංශික දේශපාලන විචාරකයන් ප්‍රශ්ණ කරති.

ඇලිස් වෙල්ස් විසින් මාධ්‍ය අමතා සඳහන් කොට ඇති කරුණු අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ ශක්තිමත් කෙරුනු දේශපාලන සහ හමුදාමය බැඳිම් දුර්වල කිරිමට වර්ථමාන ජනාධිපතිවරයා කටයුතු නොකරනු ඇතැයි විශ්වාසය පල කොට ඇත. පසු ගිය පාලන සමයේදි ඇමරිකානු යුද නැව් 18 ක් ශ්‍රී ලංකාවට පැමීණීම සහ ශ්‍රී ලංකාවේ හමුදා සහ ඇමරිකානු පැසිප්ක් කොමාන්ඩ් අනුකණ්ඩය අතර සබඳතා වර්ධනය වීම පිළිබඳවද ඇය විසින් ප්‍රසාදය පල කොට ඇත. ඇයගේ අපේක්ෂාව අනුව ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව SOFA ගිවිසුමට අදාළ කටයුතු අවසන් කළ හොත් එම සබඳතා තව දුරටත් තහවුරු වනු ඇත. එම ගිපවිසුම 1995 දි අයත්කොට ඇති බැවින් අමතර එකඟතාවයක් ඇතිකර ගැනීමේ ගැටළුවක් නොමැති බවටද ඇය විසින් මාධ්‍යයට පවසා ඇත. ඒ අනුව ආණ්ඩු පෙරළිය සමඟ අවුල් වූ ඔවුන්ගේ මාර්ග සිතියම එනම් අත්සන් කර ගත නොහැකි වූ SOFA  ගිවිසුම සහ දියත් කර ගත නොහැකි වූ SOFA  ගිවිසුම බලාත්මක කර ගැනීමේ ක්‍රියාවලිය නැවත ආරම්භ කිරිමට නව ආණ්ඩුවට කරනු ලබන බලපෑම කෙතෙක් දැයි පැහැදිළි වේ.
එදා 2007 දී අත්සන් කළ ACSA ගිවිසුම බූරුවෙක් නම් 1995 දී අත්සන් කළ SOFA ගිවිසුම කැරට් අලයක් ලෙස හැඳින්විය හැක. නමුත් 2017 දී අත්සන් කළ ගිවිසුම සද්දන්ත ඇත් රජෙකි. ඒ නිසා දැන් එම ඇතාගෙන් වැඩ ගැනිම සඳහා කැරට් අලය හෙන්ඩුවක් බවට පත්කර ගත යුතුය. ඊට අමතරව ඇතාට කෑම බීම සදහා පොල්වතු කිතුල් වතු පවරා ගැනීමට සිදුවේ. MCC  ගිවිසුම අවශ්‍යවන්නේ ඒ ආකාරයට ඇතා නඩත්තු කිරීම සඳහා බව කුඩා ළමයෙකුට වුවද තේරුම් ගත හැක. මේ වන විට MCC  ගිවිසුමේ හොඳ - නරක සොයා බැලිමට පත්කළ කමිටුව විසින් කුඩා ළමයෙකුටත් වැටහෙන එම මහා පින්තූරය තේරුම් ගනු ඇතැයි රටේ ජනතාව අපේක්ෂා කරති. ගිවිසුමේ වගන්ති වල හොඳ නරක දැනගැනීමට නම් ජනාධිපතිතුමාලා විසින් එය යොමුකළ යුත්තේ නිතිපති දෙපාර්තමෙන්තුවටයි. එතුමා විසින් ඒ වෙනුවට විද්වත් කමිටුවක් පත්කරන්නේ එම ගිවිසුම ක්‍රියාත්මක කළ වෙනත් රටවල් අත්විඳින ලද නරක ප්‍රතිපල මෙන්ම ACSA, SOFA, MCC  යන ගිවිසුම් ත්‍රිත්වය මඟින් නිර්මාණය කරන මහා පින්තූරය තේරුම් රටට පැහැදිලි කිරීම සඳහා බවට සැකයක් නැත.   

ඊට අමතරව ඉරාන - ඇමරිකානු යුද ගැටුම් මඟින් පැන නගින ප්‍රවනතාවයන්ද එම කමිටුවට සැලකිල්ලට ගැනීමට සිදුවේ. විශේෂයෙන්ම ඉරානය විසින් ඉරාකයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු දෙකකට මිසයිල ප්‍රහාර එල්ල කිරිම සමඟ ඇමරිකානු හමුදාව ස්ථානගත කෙරෙන ඕනෑම රටකට එවැනි ප්‍රහාරයකට මුහුණ දීමට සිදුවිය හැක. ඇමරිකානු ගුවන් හමුදාව විසින් ඉන්දියානු සාගරයේ දියාගෝ ගාෂියා දුපතේ පිහිටි තම කඳවුරට 13-52 ප්‍රහාරක යානා 6 ක් ගොඩබැස්සූ අවස්ථාවේදී ප්‍රකාශ කරනු ලැබුවේ තම කඳවුර ඉරානයේ සිට සැතපුම් 3000 දුරින් පහිටා ඇති බැවින් ඉරානය සතු " බැලස්ටික් මිසයිල " වලින් ඒවාට පහරදිය නොහැකි බවය. නමුත් එහිදී ඉරානයේ සිට සැතපුම් 2400 ක් දුරින් පිහිටි ශ්‍රී ලංකාවේ එවැනි කඳවුරක් තිබුණා නම් කුමක් සිදුවේදැයි කිසිවෙකු විසින් පැහැදිළි කළේ නැත. ඇමරිකා ශ්‍රී ලංකා ගිවිසුම් ත්‍රිත්වය අතුරින් ACSA  මඟින් ඇමරිකානු නාවික හෝ ගුවන් යාත්‍රාවකට ශ්‍රී ලංකාවේ ඕනෑම තොටුපලකින් රට තුලට ඇතුල් වී සේවා ලබා ගත හැක. එම ගිවිසුම මඟින් නම් කොට ඇති 50 කට අධික ඕනැම හමුදා අනුකණ්ඩයකට පූර්ව අවසරයක් නොමැතිව ඒක පාර්ශිකව රට තුලට ඇතුල්විය හැක.

ඒසේ ඇතුල් වන හමුදා නිලධාරීන්ට SOFA  ගිවිසුම අනුව  සම්පූර්ණ තානාපති මුක්තිය ලැබේ. ඒ අනුව එම රට තුලට ඇතුල්වන ඕනෑම ඇමරිකානු හමුදා නිලධාරියෙකුට හෝ එම හමුදාවලට සේවා සපයන කොන්ත්‍රාත් කරුවෙකුට රට තුළ අවසර ගැනීමකින් තොරව ගුවනින්, මුහුදින් හෝ ගොඩබිමින් ගමන් කළ හැක. ඔවුන් තොටුපළකින් ඇතුල් කිරීමේදී ඔවුන්ගේ වාහන හෝ ගමන් මළු පරික්ෂා කළ නොහැකි අතර කිසිඳු බද්දක් පැනවිය නොහැක. ඊට අමතරව ඔවුන් අපරාධ වරදක් කළහොත් ඔවුන්ට විරුද්ධව ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කළ නොහැකි අතර චූදිතයින් ඇමරිකානු තානාපති නිලධාරීන්ට බාරදිය යුතුය. එසේම එම නිලධාරීන්ට රටේ ඕනෑම තැනක කඳවුරු බැඳිමේ අයිතිය ලැබේ. ඒ සඳහා ඉඩම් හෝ ස්ථාන අවශ්‍ය වේ නම් ඒවා තාවකාලිකව හෝ දීර්ඝකාලීනව පදනමින් රජයෙන් හෝ පෞද්ගලික අංශයෙන් ලබා ගත හැක. ඉන්දු - පැසිපික් සාගර කලාපයේ ක්‍රියාත්මක වන " ඉන්දු පැසිපික් කොමාන්ඩ් " නැමැති හමුදාවේ පමණක් නිලධාරීන් 375,000 ක් සිටින බැවින් ශ්‍රී ලංකාව තුලට එකවර විශාල හමුදා නිලධාරීන් පිරිසක් ඇතුල්වීමට ඉඩ ඇත. ඉහත සඳහන් කළ ආකාරයට ACSA  සහ SOFA  සමඟ  MCC ගිවිසුම අවශ්‍ය වන්නේ එම හමුදාවන්ට සහ ඔවුන්ගේ කොන්ත්‍රාත්කරුවන්ට අවශ්‍ය ගමනාගමන පහසුකම් සහ ඔවුන්ගේ අවශ්‍ය ගමනාගමනයට පහසුකම් සහ භාණ්ඩ සහ සේවා ලබා දීමට බව තේරුම් ගැනීමට විද්වත් කොමිටි අවශ්‍ය නැත.

මේ වන විට ඉන්දු පැසිපික් කලාපයේ ඇමරිකාව සතු ප්‍රධාන යුද කඳවුර පිහිටුවා ඇති දියාගෝ ගාෂියා දූපත නැවත " ඩාගෝස් " වැඩිහිටියන්ට බාරදෙන ලෙස 2019 දී ජාත්‍යන්තර අධිකරණය විසින් තීන්දුවක් ලබා දී ඇත. ඒ අනුව එම කඳවුර කියුබාවේ " ග්වාතනාමෝ " කඳවුර මෙන් නීති විරෝධීව පවත්වාගෙන යන්නකි. එසේම මේ වන විට සිගප්පූරු වණය මුල්කර ගෙන භාවිතා වන " සැපයුම් කේන්ද්‍රය " ද යුදමය වශයෙන් වැදගත් සහ පහසු මර්මස්ථානයකට මාරු කිරීමේ සහ භාණ්ඩ සහ සේවා සැපයුම පුළුල් කිරීමේ උවමනාවක්ද ඇත. ඩොලර් මිලියන 480 ක් වැනි සොච්චම් මුදලක් ලබා දී මෙහෙයුම් සහ සැපයුම් මධ්‍යස්ථානයක් ඉන්දු පැසිපික් කලාපයේ යුදමය වශයෙන් වැදගත්ම මධ්‍යස්ථානය වන ශ්‍රී ලංකාවේ පිහිටුවා ගැනීම යනු මොනතරම් ලාභදායි ආයෝජනයක්ද? ඉරාකය ආක්‍රමණය කොට එහි කඳවුරු පවත්වාගෙන යාම සඳහා ඇමරිකාව විසින් වැය කළ මූලික ආයෝජනය හෙවත් ආක්‍රමණය සඳහා දැරූ යුද වියදම පමණක් ඩොලර් මිලියන 3000 කි.
ඒ අනුව දැන් ACSA අත්සන් කිරීම සහ SOFA ගිවිසුමේ කොන්දේසි වලට මූලික එකඟතාවය පලකිරිම මඟින් ශ්‍රී ලංකාවේ රජය ඇමරිකානු යුද උගුලට එක් පයක් තබා අවසානය. දැන් MCC ගිවිසුම අත්සන් කොට  SOFA  සඳහා අවසන් එකඟතාවය ලබාදුන් පසුව නැවත ගලවාගත නොහැකි ආකාරයට අනෙක් පයත් එනම් සමස්ථ රාජ්‍යය සහ ජනතාව එම උගුලට කොටු වනු ඇත. ඉන්පසුව ඇමරිකාව විසින් වෙනත් ඕනෑම පාර්ශවයකට එරෙහිව කරනු ලබන ප්‍රකෝප කිරීමකදි දෙවන පාර්ශවයක් ලෙස ශ්‍රී ලංකාවට වන්දි ගෙවීමට සිදුවනු ඇත. එය වැලැක්විය හැක්කේ දෙවන පය උගුලට තැබීම වැලකීමෙන් පමණක් නොවේ. ඒ සඳහා තැබූ පයද ගලවා ගැනීමට සිදුවේ. එය දේශපාලන වශයෙන් මෙන්ම රාජ්‍යතාන්ත්‍රික වශයෙන්ද පහසුවෙන් කාරණයක් නොවේ. නමුත් ඒ සඳහා වන පූර්ව කොන්දේසි දෙකක් පසුගිය ජනාධිපතිවරණයේදී MCC ගිවිසුමට එරෙහිව ප්‍රභල ජනමතයක් ගොඩනැඟුනු අතර ජයග්‍රාහකයාගේ ජනවරම තුල එය ප්‍රභල ලෙස නියෝජනය වේ.       

ඒ අනුව දැන් එම ජනවරම මත පදනම්ව ඇමෙරිකානු යුද කාමය නම් වූ මර උගුලින් ගැලවීම සඳහා රාජතාන්ත්‍රික සහ නීතිමය ක්‍රියාවලිය ආරම්භ කිරීමට බාධාවක් නැත. ඒ සඳහා මහජන කථිකාවක් මෙන්ම බලපෑමක් ද අවශ්‍ය වේ. මෙම ලිපියේ අවසන් අරමුණ ඊට පහසුකම් සැලසීමය. ඒ සඳහා මූලික වශයෙන් යොදා ගත හැකි උපාය මාර්ගය ‘‘සාමය‘‘ නැමති ප්‍රභල රාජ්‍ය තාන්ත්‍රික අවිය අතට ගැනීමය. ඉන් පසුව ජාත්‍යන්තර නීතිය යටතේ අදාළ ආරක්ෂණවාදී යාන්ත්‍රණය නිර්මාණය කළ හැකි. එම උපාය මාර්ගයට අනුව යොදා ගත හැකි උපායන් දෙකක් ඇත. පළමුවැන්න 1971 දී එක්සත්ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මක කළ 2832 යෝජනාව හෙවත් ඉන්දියානු සාගර කලාපයක් බවට ප්‍රකාශයට පත්කිරීමේ යෝජනාවයි. දෙවැන්න 1997 පිහිටුවන ලද ඉන්දියානු සාගර වලල්ල සංවිධානය මඟින් 1017 දී සම්මත කළ ‘‘ජාකර්තා එකඟතාවයයි‘‘. ජාකර්තා එකඟතාවය මඟින් එහි 4 වන වගන්තිය ලෙස එක්සත් ජාතීන්ගේ 2832 යෝජනාව අනුව ක්‍රියා කළ යුත් බවට එකඟවී ඇත. එම යෝජනාව මඟින් ඉන්දියානු සාගරයේ සාගර දේහය එහි පත්ල සහ අහස් කුස ඇත්ළු සමස්ථ කලාපයම සාම කලාපයක් ලෙස (පළමු වගන්තිය ) ප්‍රකාශයට පත්කොට අත. එහි දෙවන වගන්තිය තුළින් සාගර කලාපය තුළ යුද සැපයුම් මධ්‍යස්ථන සහ යුද මෙහෙයුම් මධ්‍යස්ථානයක් පිහිටුවීම මෙන්ම ලෝක බලවතුන්ගේ යුදමය තරඟකාරීත්වය ප්‍රකාශයට පත්වන ක්‍රියාමාර්ග අත්හිටු විය යුතුය.
ඒ අනුව දැන් වර්තමාන ජනාධිපතිවරයාට තම ජනවරම යොදා ගනමින් 2832 යෝජනාවට නැවත පණ දීම ඉන්දියානු සාගර වලල්ලේ රටවල් සමග රාජතාන්ත්‍රික ක්‍රියාවලියක් ආරම්භ කිරීමේ අවස්ථාව ඇත. ඒ සඳහා ආරක්ෂක මණ්ඩල සාමාජිකයන් වන චීනයේ සහ රුසියාවේ සහාය ලබා ගැනීමේ ප්‍රභල අවකාශයක් ඇති අතර ඊට එරෙහි වීමේ අවකාශයක් ඉන්දියාවට නැත. ඊට අමතරව එම ක්‍රියාවලිය ට සමගාමීව ඊට අදාල වූ තවත් ක්‍රියාවලියක්ද ආරම්භ කිරීමට සිදුවේ. ඒ ජිනීවා 30/1 යෝජනාව සහ ඊට මුල්වූ මහකොමසාරිස්  වාර්තාව හෙවත් OISL වාර්තාවට අභියෝග කිරීමය. ඒ සඳහා සාමාජික රටවල සහාය ලබා ගැනීමේ පැහැදිලි ඉඩක් ඇත. ඊට හේතුව ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවලට එල්ල කරනු ලැබූ චෝදනා වලට පිළිතුරු බැඳීමට අවස්ථාවක් නොලැබීමය. පසුගිය රජය විසින් සොභාවික යුක්තිය යුක්තිය නම් වූ ලෝකය පිලිගත් මූලික සම්මතයේ පිහිටා ඒ සඳහා අවස්ථාවක් ඉල්ලා නොසිටියද නව ජනවරම යටතේ ඊට අවස්ථාව ඉල්ලා සිටීමේ පැහැදිලි ඉඩක් අත. ඒ සඳහා ජනවරමින් පසුව එළඹෙන පළමු සැසිය එනම් මාර්තු සැසිය යොදා ගැනීමට සිදුවනු ඇත. අවසාන වශයෙන් ඒ සියල්ල සඳහා කිසිවෙකුට අභියෝග කළ නොහැකි ආකාරයට නෛතික සහ දේශපාලන සදාචාර බලය ලබාගත හැක්කේ ඒසඳහා අවශ්‍ය වන ව්‍යවස්ථාමය ප්‍රතිපාදන නව ව්‍යවස්ථාවකට ඇතුළු කිරීමෙනි.

වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර

Comments

Popular posts from this blog

‘‘අතුරුදහන්වූවන්ගේ කාර්යාල’’ පනතේ රණවිරුවන් පාවාදෙන මාරක වගන්ති 10ක්

කිරි මෙන් සුදු නැති කිරිපිටි සෙල්ලම