යහපාලන තිත්ත බෙහෙතෙන් ජනතාවගේ බඩ සුද්දවෙන හැටි


යහපාලන ආණ්ඩුව දින 100 අය වැයෙන් සහ ඉන් පසුව වාර්ෂික අයවැයෙන් රටේ ආර්ථිකය ගොඩ දැමීම සඳහා දුන්නා යැයි කියන පැණි බෙහෙත් වලින් ප‍්‍රතිඵල ලැබී නැති බව දැන් අගමැතිවරයාම පිළිගනියි. ඔහු දැන් කියන්නේ ලෙඩා ගොඩ දැමීම සඳහා තිත්ත බෙහෙත් දීම හැර වෙනත් කළ හැකි දෙයක් නොමැති බවයි. මේ වෙද මහතා එසේ කියන්නේ එක් බෙහෙතක් වැරදුනු පසු තවත් එකක් දිලා බලමු යැයි කියන ‘‘ගොඩ වෙදෙකු’’ මෙනි. මේ වෙද මහතා ආර්ථිකයේ රෝගය කුමක්දැයි රෝගියාගේ බාර කරුවන් හෙවත් මහජනයාට කියන්නේ නැත. තිත්ත බෙහෙත් වලින් නිදන්ගත රෝගය සුව වෙනවාද එසේ නැතහොත් තාවකාලිකව රෝග ලක්‍ෂණ සමනය වෙනවාද කියා ඔහු පැහැදිලි කිරීමක් කරන්නේ ද නැත.

කෙසේ වෙතත් මුදල් ඇමතිවරයාගේ වගකීම පවා පවරාගනිමින් අගමැතිවරයා විසින් කරනු ලබන ප‍්‍රකාශ වලින් පැහැදිළි වන්නේ ඔහු දෙන බෙහෙත් බෝතලයේ ලේබලයේ කුමක් සඳහන් වුවත් ඔහු සතුව ඇත්තේ ‘‘කෝකටත් තෛලයක්’’ පමණක් බවයි. ඔහු 2003 ‘‘යළි පුබුදමු ශ‍්‍රී ලංකා’’ තෛලයට සීනි දමා තවදුරටත් පැසවා ඊට මධ්‍යසාරයද එකතු කර 2015දී ජනතාව මත් කරන ‘‘තරල - සාරයක්’’ නිපදවන බවට පොරොන්දු විය. නමුත් දැන් ඇත්තටම ඔහු සතුව ඇත්තේ පැරණි තිත්ත බෙහෙත් පමණක් බව ඔහු ප‍්‍රසිද්ධියේම පිළිගනියි.

2003 දී එදා සිටි අගමැතිවරයා ප‍්‍රකාශ කළේ හැකිතාක් විදේශ ආයෝජන ලබාගෙන ඒ මගින්   රැුකියා අවස්ථා වැඩිකළ යුතු බවයි. එසේම ඒ අයෝජන හරහා නිපදවන භාණ්ඩවල ගුණාත්මක තත්වය වැඩිදියුණු කොට ඒවා හැකිතාක් අපනයනය කළ යුතු බවයි. ඊට අමතරව පාඩු ලබන රාජ්‍ය ආයතන විකුණා දැමිය යුතු බවද ඔහු අවධාරණය කළේය. රටේ කෘෂිකර්මාන්තය වාණිජකරණය කිරිමේ නාමයෙන් කෘෂි යොදවුම් සහ නිෂ්පාදන වෙළඳ පොළ මහා සමාගම්වල අත්අඩංගුවට පත්කිරීමද ඔහු සාධාරණිකරණය කළේය. යළි පුබුදමු ශ‍්‍රී ලංකා වැඩසටහන යටතේ ඒ සියල්ල සඳහා පහසුකම් සැලසීම සහ ඊට අවශ්‍ය නීතිමය රාමුව සකස් කිරීම සඳහා බීජ පනත ඇතුළු පනත් 32ක් ගෙන ඒමට සහ සංශෝධනය කිරීමට යෝජනා කෙරිනි.

2015 දී ඔහු අය වැයට පෙර නොවැම්බර් 05 වැනිදා ඉදිරිපත් කළ ආර්ථික වැඩපිළිවෙල මගින් යළි පුබුදමු ශ‍්‍රී ලංකා වැඩසටහනින් ඉදිරියට ගොස් ශ‍්‍රී ලංකාව ගෝලීය නව ලිබරල් ආර්ථිකය සම`ග ඒකාබද්ධ කිරීම සඳහා තමා උත්සාහ කරන බව පැවසීය. නමුත් එය ඒකබද්ධ කිරීමකට වඩා ගෝලීය නව ලිබරල් ප‍්‍රාග්ධනයට ශ‍්‍රී ලංකාව ගොදුරු කිරීමක් ලෙස අර්ථ දැක්වීම වඩාත් තර්කානුකූල වේ.ඉන්පසුව ඔහු ඒ තුළ එට්කා හෙවත් සීපා ගිවිසුමට ඇති තැනද අවධාරණය කළේය. එම ප‍්‍රතිපත්ති මාලාව ක‍්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය උපායමාර්ගික වෙනස්කම් අය වැය මගින් යෝජනා කෙරිනි. නව පරපුරේ ආර්ථික විද්වතුන් එම ප‍්‍රතිපත්ති මාලාව හඳුන්වන්නේ තුන්වන පරම්පාරවේ ආර්ථික ප‍්‍රතිපත්ති ලෙසය. ඒ අනුව යලි පුබුදමු ශ‍්‍රි ලංකා ප‍්‍රතිපත්ති හැඳින්විය හැක්කේ දෙවැනි පරම්පරාවේ නව ලිබරල් ප‍්‍රතිපත්ති ලෙසය. එම පැහැදිළි කිරීම අනුව 1977දී වර්තමාන අගමැතිවරයාගේ මාමා වන ජේ.ආර්. ජයවර්ධන මහතා හඳුන්වාදුන් ප‍්‍රතිපත්ති පළමු පරම්පරාවේ වෙනස්කම් ලෙස හැඳින්විය හැක.

එහිදී චන්ද්‍රිකා බණ්ඩාරනායක, ආර්. පේ‍්‍රමදාස සහ මහින්ද රාජපක්‍ෂ වැනි නායක නායිකාවන් ජනාධිපති පුටුව හොබවමින් කළේ කුමක්දැයි ප‍්‍රශ්නයක් මතුවේ. චන්ද්‍රිකා මැතිණිය ජේ.ආර්. ජයවර්ධන මහතාගේ විවෘත ආර්ථික ප‍්‍රතිපත්ති හෙවත් පළමු පරම්පරාවේ නව ලිබරල් ප‍්‍රතිපත්ති ඒවායේ නීර්මාතෘවරයාට වඩා හොඳින් ඉදිරියට ගෙන ගියේය. ඇය රාජ්‍ය ආයතන විකුණා දැමීම සඳහා විශේෂ ආයතනයක් පවා පිහිටුවිය.  ඒ සියල්ල ඇය සාධාරණිකරණය කළේ විවෘත ආර්ථිකයට මානුෂීය මුහුණුවරක් ලබාදීමේ නාමයෙනි. ආර්. පේ‍්‍රමදාස මහතා චන්ද්‍රිකා මැතිණියට පෙර එක්තරා ආකාරයක දෙමුහුන්  කිරීමක් මගින් පළමු පරම්පරාවේ නව ලිබරල් ප‍්‍රතිපත්තිය වර්ණ ගැන්විය. ඔහු බහුතර ජනතාවට ආර්ථික ඉඩ ප‍්‍රස්ථා පුළුල් කෙරෙන ආකාරයට ග‍්‍රාමීය ආර්ථිකයට රාජ්‍ය ආරමුදල් පොම්ප කිරීමට උත්සාහ කළේය. ඔහු ඬේවිඞ් රිකාඩෝට අමතරව කේන්ස් ද ගුරුකොට ගැනීමට උත්සාහ කළේය. මහින්ද රාජපක්‍ෂ මහතා රනිල් වික‍්‍රමසිංහ මහතා හඳුන්වාදෙන දෙවන පරම්පරාවේ ප‍්‍රතිපත්ති ඉදිරියට ගෙනගියමුත් රාජ්‍ය ආයතන විකුණාගෙන කෑමේ දුප්පත් ක‍්‍රියාවෙන් අත්මිදුනි. නමුත් ඔහු විදේශීය මුල්‍ය වෙළඳ පොළ සම`ග ශ‍්‍රී ලංකාව ගැටගැසීමේ ක‍්‍රියාවලිය ඉදිරියට ගෙන යමින් දෙවණ පරම්පරාවේ ප‍්‍රතිපත්ති තුන්වන පරම්පරාව දක්වා ගෙන යාමට පාලමක් ඉදි කළේය. ඔහු යළි පුබුදමු ශ‍්‍රී ලංකා න්‍යාය පත‍්‍රයේ ප‍්‍රධාන අංගයක් වූ බීජ පනත අනුමත කිරීම අත් හරිමින් යම් ජනතාවාදී ගුණයක් නව ලිබරල් ප‍්‍රතිපත්ති වලට ඇතුළත් කිරීමට අසරණ උත්සාහයක් ද ගත්තේය.

කෙසේවෙතත් වර්තමාන අගමැතිවරයා දැන් නව ප‍්‍රතිපත්තියක් ඉදිරිපත් කරන බව පවසමින් අයවැයට පසු නව අතුරු අය වැයක් ඉදිරිපත් කළේය. නමුත් ඔහු සැබැවින්ම ඉදිරිපත් කරන්නේ ඔහුගේ මූලික ආර්ථික ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීම සඳහා ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය අවශේෂ යෝජනා ප‍්‍රමාණයකි. එනම් රාජ්‍ය ආදායම් වැඩි කිරීම මගින් හුස්ම ගැනීම සඳහා ගන්නා උත්සාහයකි. ඒ මගින් මූලික වශයෙන් ක‍්‍රමයෙන් පහත වැටෙමින් තිබෙන රාජ්‍ය ආදායම් මට්ටම ඉහළ නන්වා ගැනීම, අය වැය හි`ගය අඩුකර ගැනීම සහ ගෙවුම් ශේෂ හි`ගය පියවා ගැනීමේ අර්බුදයට මුහුණදීමට උත්සාහයක් ගැනේ. මේ වන විට ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම දළ ජාතික නිෂ්පාදනයේ ප‍්‍රතිශතයක් ලෙස ක‍්‍රමයෙන් 10% දක්වා අඩු වී ඇත. කෙසේ වෙතත් එම යෝජනාවල අවසන් ප‍්‍රතිඵලය මහජනයාට තිත්ත බෙහෙත් බීමට සිදුවීම නම් ඊට මහජන විරෝධය එල්ලවීම වැළැක්වීය නොහැක. ආණ්ඩුව රාජ්‍ය ආදායම වැඩිකිරීමට උත්සාහ කරන්නේ ජාතික නිෂ්පාදනය වැඩි කිරීම වෙනුවට බදු ප‍්‍රතිශතය වැඩිකිරීම මගිනි. එය ඉතා දුප්පත් අසරණ රාජ්‍ය පාලන ක‍්‍රමවේදයකි. 

ජාත්‍යන්තර මූල්‍ය ආරමුදලෙන් ආණ්ඩුව ඉල්ලා ඇති ඩොලර් මිලියන 1500ක ණයු මදල ලබාගැනීම සඳහා ඔවුන් විසින් පනවන කොන්දේසි පිළිගැනීමට ආණ්ඩුවට සිදු වී ඇත. එමගින් වැට් බද්ද 15%ක් දක්වා ඉහළ යන අතර මෙතෙක් වැට් බදු පනවා නැති භාණ්ඩ සහ සේවා වලට එම බද්ද අලූතින් පැනවෙනු ඇත. ඒ අනුව ජලය, විදුලිය වැනි අත්‍යවශ්‍ය සේවා සඳහා මහජනයාට දැරීමට සිදුවන පිරිවැය 15%කින් ඉහළ යනු ඇත. ප‍්‍රග්ධන වැඩිවීමේ බද්ද නැවත පැනවීම නිසා දේපළ ක්ෂේත‍්‍රයේ මහජන ආයෝජන අඩුවන අතර එය එම ක්ෂේත‍්‍රය කඩාවැටීමට හේතුවනු ඇත. රුපියල දිගින් දිගටම අවප‍්‍රමාණය වීම නිසා ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ඉහළ යනු ඇත. මේ වන විට රුපියලේ අගය ඩොලරයට රු 150ක් දක්වා පහත වැටී ඇත. නිළ අනාවැකි අනුව මේ වසර අවසානයේදී රුපියල් 160 දක්වා පහත වැටිය හැක. නිල නොවන අනාවැකි අනුව එය රුපියල් 200 දක්වා පහත වැටිය හැක.
දැන් වැඩිකළ බදු ක‍්‍රියාතමක කිරීමට නොහැකිව ආණ්ඩුව හිරවී ඇත. ඒ තුළ දේශීය මෙන්ම විදේශීය ආයෝජකයෝ ව්‍යාපාරික තීන්දු ගැනීමට නොහැකිව අන්ද මන්ද වී සිටිති. එමෙන්ම ඔවුන්ගේ විශ්වාදයද බිද වැටෙමින් ඇත.

අනෙක් පැත්තෙන් ගත් විට ආණ්ඩුව පොරොන්දු වූ ‘‘දින 100 සහන’’ කිසිවක් මහජනතාවට ලබාදීමට අසමත් වී ඇත. වී, තේ සහ රබර් සඳහා පොරොන්දු වූ සහතික මිලට ආසන්න මිලක්වත් එම ගොවීන්ට සහ කුඩා වතු හිමියන්ට ලැබෙන්නේ නැත. ඒ අතර පොහොර සහනාධාරය ඍජු මූල්‍ය සහනාධාරයක් ලෙස ලබාදෙන බවට පොරොන්දු වෙමින් සහනාධාරයේ වටිනාකම 50% කපාදමා ඇත. එසේ දේශීය ගොවියාට ලබාදෙන සහනාධාර කපාදමන අතර විදේශීය තිරිගු ගොවියාට සහ තිරිගු පිටි සමාගම් වලට නිර්ලෝභීව සහන ලබාදීමට ආණ්ඩුව ක‍්‍රියා කොට ඇත. දින 100 පළමු සහනය පාන්පිටි සමාගම් වලට ලබාදෙමින් තිරිගු සඳහා පනවා තිබූ විශේෂ බද්ද කිලෝ ග‍්‍රෑම් එකකට රුපියල් 10ක් ලෙස කපා දැමීය. ඒ මගින් එම සමාගමට ලැබුණු සහනය රුපියල් මිලියන 13000කි. එනම් දළ වශයෙන් සමස්ථ රටේම සමෘද්ධි ලභින්ට ලබාදෙන සහනයට ආසන්න මුදලකි. එමගින් පාන් පිටි මිල යම් පමණකය අඩුවීම නිසා දැන් අප රටේ වාර්ෂික ඒකපුද්ගල පාන්පිටි පරිභෝජනය කිලෝග‍්‍රෑම් 60 දක්වා ඉහළ ගොස් ඇත. එහෙත් අසල්වැසි රටවල එම ප‍්‍රමාණය දළ වශයෙන් කිලෝග‍්‍රෑම් 20කි. එවැනි තත්වයක් යටතේ වී මිල පහත වැටීම වළක්වන්නේ කෙසේද? පිටරට ගොවියාට සහ සමාගම්වලට සහන දෙමින් දේශීය ගොවියා නගාසිටුවිය නොහැකි බව පිළිනොගන්නා ආණ්ඩුවක් එම ප‍්‍රශ්නය විසදන්නේ කෙසේද?

එසේම අප රටේ තේ නිෂ්පාදනය වෙළඳ අමුද්‍රව්‍ය ලෙස තොග වශයෙන් අපනයනය කිරීම වෙනුවට ඒවාට වටිනාකම් එකතු කොට ‘‘ශ‍්‍රී ලංකා සන්නාමය’’ යටතේ අපනයනය කිරිමට වැඩපිළිවෙලක් නැති ආණ්ඩුවක් තේ මිල පහත වැටීමේ ප‍්‍රශ්නයට පිළිතුරු සපයන්නේ කෙසේද? අමු රබර් වලින් නිමිභාණ්ඩ නිපදවීමේ කර්මාන්ත පද්ධතියක් ආරම්භ කිරීම සඳහා දේශීය ව්‍යාපාරිකයා සහ රාජ්‍ය ආයතන දිරි ගැන්වීමට වැඩපිළිවෙලක් නැති ආණ්ඩුවක් රබර් වලට සහතික මිල ලැබෙන බව සහතික කරන්නේ කෙසේද? එළුවාගේ වෘෂණ කෝෂය වැටෙන තෙක් බලාසිටින නරියාසේ ආණ්ඩුව විදේශ ආයෝජන දෙසම බලාසිටී. නමුත් විදේස සහය ගැන කොතරම් උදම් ඇනුවත් පසුගිය වසරේ ඍජු විදේශ ආයෝජන ලැබී ඇත්තේ ඩොලර් මිලියන 700ක් පමණි. මැලේසියාව වැනි රට වලට අප රටට වඩා විසි ගුණයකට වැඩි ආයෝජන ලැබේ. ජනාධිපතිවරායට මහා ආධාර ලෙස ජර්මනියෙන් ලැබුණේ ඩොලර් මිලියන 20ක් වැනි සොච්චමකි.

ආණ්ඩුවේ මතය අනුව අප රටට විදේශීය ප‍්‍රග්ධනය ගලානොඑන්නේ කම්කරු, ඉඩම් සහ පාරිසරික නීති වල දැඩි සහ වැටුප් මට්ටම් ඉහළ මට්ටමක පැවතීමය. දැන් ආණ්ඩුවේ නව ආර්ථික ප‍්‍රතිපත්ති හෙවත් ඊනියා තුන්වන පරම්පරාවේ නව ලිබරල් ප‍්‍රතිපත්ති හෙවත් තිත්ත බෙහෙත් මගින් ඊට ප‍්‍රතිකර්ම යෝජනා වී ඇත. ඒ අනුව විදේශිකයන් විසින් ඉඩම් මිලදී ගැනීමට ඇති බාධක ඉවත්කර ඇති අතර රජයේ ඉඩම් අක්කර 10000කට වැඩි ප‍්‍රමාණයක් වුවත් විදේශිකයින්ට බදු පදනමින් ලබාගැනීමේ නීතිමය තත්වය නිර්මාණය කොට ඇත. ඊට අමතරව ගොවියා ගොවිතැන අත්හරිමින් මහා කෘෂිසමාගම්වල කම්කරුවන් බවට පත්කිරිමේ තත්වයක්ද ක‍්‍රමයෙන් නිර්මාණය කෙරෙමින් පවතී. ඒ අතර ඉඩම් වෙළඳ පොළක් බිහිකර ගොවීන් විසින් විකුණන ඉඩම් ඒකාබද්ධ කොට මහා ඉඩම් නිර්මාණය කොට ඒවා මහා සමාගම් සතු කිරිමේ දීර්ඝකාලීන උපාය මාර්ගික වැඩ පිළිවෙලද ඒ තුළ ක‍්‍රියාත්මකවේ. ශ‍්‍රමිකයන්ගේ සහ වෘත්තිකයින්ගේ වැටුප් මට්ටම් පහත දැමීමේ උපායමාර්ගික අවශ්‍යතාවය ආණ්ඩුව විසින් ඉටුකර ගැනීමට උත්සාහ කරන්නේ ඉන්දු ලංකා ‘‘එට්කා’’ ගිවිසුම හරහාය. ඊටපෙර ‘‘සීපා’‘ නමින් ඉදිරිපත් වූ එම ගිවිසුමේ සේවා වෙළඳාමට අදාල හතර වැනි ක‍්‍රමවේදය අනුව ශ‍්‍රමිකයන්ට සහ වෘත්තිකයින්ට ද්විපාර්ශවික  පූර්ව එකගතාව මත දේශසීමා හරහා ගමන් කොට රැුකියා ලබාගැනීමේ අවස්ථාව නිර්මාණය වේ. එම මිනිස් ගලනය සිදුවන්නේ ශ‍්‍රී ලංකාවේ දිශාවට මිස ඉන්දියාවේ දිශාවට නොවන බව පාසල් සිසුවෙකු වුවත් තේරුම්ගනු ඇත. අප රටේ රැුකියා වියුක්තිය දල වශයෙන් ලක්‍ෂ 4ක් වන විට ආණ්ඩුව රැුකියා දශ ලක්ෂයක් නිර්මාණය කරන බව කියන්නේ ලක්‍ෂ 6ක අපේක්ෂිත ඉන්දියානු ශ‍්‍රමිකයන් ද ඇතුළත්ව බව ඉතා පැහැදිලිය. දැන් ආණ්ඩුවේ සමස්ථ ආර්ථික ප‍්‍රතිපත්තිය රදා පවතින්නේ ඒ ආකාරයට විදේශ ආයෝජන සඳහා ඉන්දියානු ශ‍්‍රමිකයින් සහ වෘත්තිකයන්ට ඉඩ සැලසීම මගිනි. අගමැතිවරයා එට්කා ගිවිසුම වෙනුවෙන් මරාගෙන මැරෙන පන්නයට පෙනී සිටින්නේ ඒ නිසා බව පැහැදිළි වේ.

ආණ්ඩුව රාජ්‍ය ආදායම් අඩුවීමේ අර්බුදයට මුහුණ දීමට උත්සාහ කරන්නේ බදු වැඩි කිරීමට අමතරව ඊනියා ‘‘තමාසෙක්’’ මොඩලය හරහා රාජ්‍ය ආයතන කුණු කොල්ලයට විකුණා දැමීමෙනි. ඊට පෙර චන්ද්‍රීකා රනිල් පාලන සමයේදී ඊට අදාල නරකම උදාහරණ රාශියක් ඇත. කෙසේ වෙතත් රාජ්‍ය ආයතන විකුණා දමා ගොඩනගන අරමුදලින් වෙනත් පළදායී ආයෝජන රාජ්‍ය - පෞද්ගලික ඒකාබද්ධ මොඩලයක් යටතේ හෝ දියත් කරන බවට ආණ්ඩුව දේශපාලන වාසි තකා හෝ වචනයක් කියන්නේ නැත. දස දහසකට රැුකියා අවස්ථා සහ තවත් ලක්ෂ 2කකට ආර්ථික ඉඩ ප‍්‍රශ්ථා විවර කරන කන්තලේ සීනි කර්මාන්ත ශාලාව සහ ඒ ආශීත කිරි කර්මාන්ත ශාලාක් ආරම්භ කිරීමට වැය වන්නේ මිලියන 5000කට අඩු මුදලකි. එහෙත් එවැනි දැක්මක් ආණ්ඩුවට නැත. රැුකියා දශලක්ෂයක් උද්පාදනය කිරීමට ඉඩ දෙන ලෙස විපක්‍ෂයෙන් ඉල්ලමින් ආණ්ඩුව පෙළපාලි ගියත් එසේ රැුකියා ලබාදෙන්නේ කුමන ක්ෂේත‍්‍රවලද කුමන් අයෝජන වලින්ද යනුවෙන් නිශ්චිත සැලැස්මක් ඔවුන් රටට ඉදිරිපත් කරන්නේ ද නැත.

ණය උගුල පිළිබඳව මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවට දොස් පවරන අතර වර්තමාන ආණ්ඩුව ඊට එහා යමින් සහ නව වාර්තා තබමින් විදේශ ණය ලබාගෙන ඇත. 2015 මාර්තු සිට 2016 මාර්තු දක්වා ආණ්ඩුව විවිධ ණය උපාංග හරහා ලබාගෙන ඇති මුළු ණය ප‍්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 7436කි. එම කෙටි කාලීන ණය වලින් ඇමෙරිකානු ඩොලර් මිලයන 3298ක් මේ වසර අවසානයේදී ගෙවීමට සිදුවේ. ඒ සඳහා තවත් මිලියන 3000ක විදේශීය සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීමට ආණ්ඩුව සැරසේ. මහින්ද රාජපක්‍ෂ රජය යටතේ 2%ක සහන පොලියට ලබාගත් දීර්ඝ කාලීන සංවර්ධන ණය වෙනුවට වර්තමාන රජය 6% සිට 8% පොළියක් යටතේ කෙටි කාලීන ණය ලබාගැනීම මගින් රට බරපතළ මූල්‍ය අර්බුදයක ගිල්වමින් ඇත. එසේ ලබාගන්නා ණය වලින් කළේ කුමක්දැයි මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තුවට තොරතුරු ලබාදෙන්නේ නැත. රටේ මූල්‍ය පාලනය පිළිබඳ විශ්වාසය බැද වැටීම තුළ ඉදිරි ණය සඳහා 10% ඉහළ පොලියක් ගෙවීමට සිදුවනු ඇත. විදේශ සංචිත ක්ෂය වීම නිසා ඩොලරය තවදුරටත් ඉහළ යාම වැළැක්වීමට හැකියාවක් ආණ්ඩුවට නැති තත්වයක් යටතේ ණය ආපසු ගෙවීමේ ආර්බුදය තවදුරටත් උග‍්‍ර වෙමින් ඇත. දිනෙන් දින ඉහළ යන ජීවින වියදම් අර්බුදය හමුවේ වෘත්තීය සටන් පැනනැගීමේ හැකියාවද වැඩිවන තත්වයක් යටතේ ආර්ථික අර්බුදය තවදුරටත් වර්ධනය වනු ඇත. ඊට එරෙහිව මර්ධනය දියත් කෙරෙන විට දේශාපලන අර්බුදයද උග‍්‍රවනු ඇත. ඒ අනුව බඩ සුද්දවීමෙන් පමණක් ලෙඩා බේරෙනු ඇතැයි සිතිය නොහැක.


වෛi එම්. වසන්ත බණ්ඩාර


Comments

Popular posts from this blog

හම්බන්තොට වරාය චීනට, කොළඹ වරාය ඉන්දියාවට, මත්තල ගුවන්තොට ඇමෙරිකාවට : ඊළඟට කුමක්ද?

දේශීය ව්‍යවසායකයා හාන්සි කළ මිල විකෘතිය

යටත් කිරීමට පෙර යටත්වීම සහ බොරු වලවල් කැපීම: