කථානායක වරයා විසින් සංහිඳියාවේ නාමයෙන් ආගමික අන්තවාදයට සුදු හුණු ගෑම.

කථානායකවරයාගේ සභාපතිත්වයෙන් ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සහජීවනය සහතික කිරීම සඳහා නිර්දේශ ලබා ගැනීමට පත් කළ පාර්ලිමෙන්තු විශේෂ කාරක සභාව විසින් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව විශේෂ සමුළුවක් කැඳවන ලදී. පසුගිය අප්‍රේල් 26 දින කැඳවන ලද එම සමුළුවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු බෞද්ධ , හින්දු , ඉස්ලාම් , ක්‍රිස්තියානි සහ කතෝලික ආගමික නායකයින් රාශියක් සහභාගි වී ඇත. එම සමුළුවෙන් පසුව ඉදිරිපත් කළ විසදුම් යෝජනාවලිය තුළින් ජාතියක් ලෙස අප මුහුණදෙන අභියෝගයේ තරම පැහැදිලි වේ. එම යෝජනා මඟින් අපට පෙන්වන්නේ දේශපාලඥයින් පමණක් නොව ආගමික නායකයින්ද “උගුරට හොරා බෙහෙත් බීමට” උත්සහ කරන බවය.

එම සමුළුවට සහභාගිවන ලෙස මහින්ද රාජපක්ෂ මහතාට කථානායකවරයාගේ අත්සනින් යවන ලිපියේ පාස්කු ඉරිදා ප්‍රහාරය හඳුන්වන්නේ අවාසනාවන්ත සිදුවීමක් ලෙසය. එනම් වරදකරුවෙක් නම්කළ නොහැකි සුනාමිය වැනි සොභාවික ආපදාවක් සිදුවී ඇති බවය. මහජන ඇස ඉදිරියේ සක්-සුදක් සේ පැහැදිලි වී ඇති සිදුවීමක් පිළිබඳව ඇත්ත කීමට හෝ කෙළින් කථා කිරීමට පිට කොන්දක් නැති දේශපාලකයින්ට ජාතිය මුහුණ දෙමින් තිබෙන මහා අර්බුදයට විසඳුම් සෙවිය හැකිද? විපක්ෂ නායක තුමා විසින් කථානායක තුමාට එම වරද පෙන්වා දුන්නාද නැත්ද යන්න පැහැදිලි නැත. එහෙත් එම සමුළුවට ආරාධනා ලැබූ දේශපාලකයින් මෙන්ම ආගමික නායකයින්ද එම හැසිරීමට අනුමතකොට ඇති බව ඔවුන් විසින් ඉදිරිපත් කළ යෝජනා අනුව පැහැදිළි වේ.

එම වාර්ථාවට අනුව රට මුහුණ දෙමින් පවතින අර්බුදය විග්‍රහ කිරීමේදී මුස්ලිම් ත්‍රස්තවාදය , ඉස්ලාම් ආගමික ත්‍රස්ථවාදය වැනි වචන භාවිත නොකළ යුතුය. ඒවා භාවිත කළ විට මුස්ලිම් ජනතාවට සිත් වේදනා ඇතිවේ. එසේ ඇතිවිය හැකි යැයි අප රටේ ඉහළම නායකයින් විසින් උපකල්පනය කරන සිත් වේදනා සමනය කිරීම සඳහා අදාළ වගන්තියට එකතු කිරීමක්ද සිදුකොට ඇත. ඊට අනුව එවැනි උන්මත්තක ත්‍රස්තවාදීන් සිංහල සහ දෙමළ “ ජාතීන් ” තුළද සිටිති. එමඟින් ඔවුන් වක්‍රව පිළිගන්නේ මුස්ලිම් ජාතියේ එවැනි පිරිස් සිටින බවය. නමුත් ඒ බව නොකිය යුත්තේ සිංහල සහ දෙමළ ජාතීන් අතරද එවැන්නන් සිටිය හැකි බැවිනි. එවැනි මතවාද හුදු දාර්ශනික දුත්පත්කම හෝ බුද්ධි හීනභාවය නිසා පමණක් පහළවන බවට උපකල්පනය  කළ නොහැක. ඒ එම පිළිගැනීම තුළ දෙමළ සහ මුස්ලිම් වශයෙන් “ ජාතීන් ” ශ්‍රී ලංකාව තුළ සිටින බව තහවුරු කෙරෙන බැවිනි.
කෙසේ වෙතත් දැන් එම සමුළුවට සහභාගි වු ආගමික නායකයින්ට විශේෂ වගකීමක් පැවරේ. ඒ අප රටේ හෝ ලෝකයේ හෝ එක දෙවියෙකු පමණක් පිළිගත යුතු බව කියන මූලධර්ම වාදි මතවාදයක් බෞද්ධ හෝ හින්දු ආගමික ඉගැන්වීම් වල තිබෙනවාද යන්න පැහැදිළි කිරීමයි. එසේ කළ නොහැකි නම් ඔවුන් සියළු දෙනා එම සමුළුවට සහභාගි නොවූ සෙසු බෞද්ධ සහ හින්දු ආගමික නායකයින්ගෙන් සමාවගත යුතුය. එසේ නැතහොත් කථානායකවරයාට විරෝධය පළ කොට එම කරුණු නිවැරදි කළ යුතුය. එසේ නොමැති නම් කථානායකවරයා විසින් ඇටවූ උගුලට පය තැබීම පිළිබඳ මහජනතාවගෙන් සමාව ගත යුතුය. එම වාර්ථාව මඟින් නිර්දේශ කරන්නේ අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ට මාස තුනක් ඇතුළත දඬුවම් ලබා දීම හෝ සුදුසු පරිදි ක්‍රියා කළ යුතුය. රටේ නීතියට අනුව නම් දඬුවම් නොදේ නම් නිදහස් කළ යුතුය. මෙම යෝජනාව පොලීසිය විසින් අකුරටම ක්‍රියාත්මක කරන බව පසුගිය දින වල චෝදනා නිසි පරිදි ඉදිරිපත් නොවීම නිසා ඇප ලබා නැවත සමාජගත වූ චූදිතයන් ප්‍රමාණයෙන් පැහැදිළි වේ. රටේ ආන්දෝලනයට ලක් වූ රිෂාද් බදුදීන් ඇමතිවරයාගේ නිර්දේශ මත රජයෙන් තඹ ටෙන්ඩරයක් ලබාගත් මරාගෙන මැරෙන බොම්බ කරුගේ සහායකයින් නිදහස් කළ ආකාරය අනුව කථානායකවරයාගේ නිර්දේශ කොතරම් බලවත්ද යන්න පැහැදිළි වේ.

කථානායකවරයාගේ නිර්දේශ අනුව මාස 03 ක් ඇතුළත සියල්ල අවසන් කිරීමට නම් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ නොහැක. තඹ කර්මාන්තශාලාවේ සැකකරුවන්ට අදාළව වෙනත් නීතියක් යටතේ හෝ චෝදනා ගොනුකොට නොතිබූ බව වාර්තා වේ. යම් අවස්ථාවල ගිනි අවි සමඟ හසුවු තව්හිද්  ජමාත් සංවිධානයට සම්බන්ධ බවට සැක කළ පිරිස් අධිකරණයට ඉදිරිපත් කොට ඇත්තේ ගිනි අවි පනත යටතේ ය. එනම් හොර තුවක්කුවක් සමඟ හේනකදී අත්තඩංගුවට පත්වූ ගොවියෙකු අධිකරණයට ඉදිරිපත්කරන ආකාරයටය. තවත් අවස්ථාවල දණ්ඩ නීති සංග්‍රහය යටතේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කොට ඇත. කෙසේ වෙතත් අධිකරණ නිලධාරීන් සහ නීතිඥවරුන් පුද්ගලිකව සඳහන් කරන අදහස් අනුව පොලීසිය ඇප නොදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටීමට මැලිකමක් දක්වයි. ඒ හොරොව්පතාන පොලීසියේ සේවය කරන ගුණ යහපත් දෙමව්පියන්ගේ දරුවෙකු බව සැළකිය හැකි පොලිස් නිළධාරියා විසින් ප්‍රතික්ෂේප කළ දේ ලබා ගැනීමටද යන්න පැහැදිලි නැත. එසේ වුවත් නීතිපති දෙපාර්තමෙන්තුව හෝ ජනාධිපතිවරයා විසින් ඊට අදාළව දැඩි උපදෙස් පොලීසියට ලබා දී නොමැති බව නම් පැහැදිළිය. සමස්ත රාජ්‍ය  යාන්ත්‍රනයම එසේ දියාරු ලෙස හැසිරෙන්නේ කුමක් නිසාද යන්න ජනතාවට නම් ප්‍රෙහේලිකාවක් නොවේ.

දස දෙසින්ම බරපතල චෝදනාවට ලක් වී සිටින යම් ඇමතිවරුන් , ආණ්ඩුකාරවරුන් සහ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් පොලීසියට ස්වෙච්ඡාවෙන් හෝ ප්‍රකාශයක් දෙනවා වෙනුවට ජනමාධ්‍ය මඟින් වහසිබස් දෙඩිම තුළින් ප්‍රශ්නය කුමක් දැයි පැහැදිළි වේ. එක් ආණ්ඩුකාරවරයෙක් ඉහළ අධිකරණ නිළධාරීන් ඉස්ලාම් මූලධර්මවාදී අන්තවාදීන්ට ආධාර අනුබලදෙන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නට යෙදුනි. ඊට අදාළව අධිකරණ සේවා අංශ වලින් හෝ දැඩි පියවර ගන්නා බවක් නොපෙනේ. දේශපාලකයින් පිළිබඳ විශ්වාසයක් නොමැති ජනතාව අවසාන වශයෙන් විශ්වාස කරන්නේ අධිකරණයයි. අදාළ ආණ්ඩුකාරවරයා විසින් මරාගෙන නොමැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලකළේ ඒ මහ දෙවොලටය.

කථානායකවරයාගේ අතුරු වාර්තාව මඟින් ඉදිරිපත් කරන දිර්ඝ කාලීන විසඳුම් යෝජනාවලිය මඟින්ද සමස්ථයක් ලෙස ගත්විට “ යන්නේ කොහෙද මල්ලේ පොල් ” පන්නයේ නිර්දේශ රාශියක් ඉදිරිපත් කර ඇත. ඊට අනුව ශ්‍රී ලංකාවේ සියළුම පුරවැසියන් සම අයිතිවාසිකම් සහිතබව තහවුරු කිරීම සඳහා නීති සැකසිය යුතුය. එම යෝජනාව මඟින් කථානායකවරයා රටේ ව්‍යවස්ථාව හෑල්ලුවට ලක් කරන බව පාසල් දරුවෙකුට වුවද වටහා ගත හැක. නමුත් තේසවලාමේ වැනි ජන වර්ග පදනම් වූ නීති අහෝසි කොට සමස්ථ ජනතාවට පොදු නීති පද්ධතියක් සකස් කළ යුතු බවට නිර්දේශ කිරීම නිසා පවතින ව්‍යවස්ථාව නොදැනීමේ වරදට යම් සමාවක් දිය හැක. ඉස්ලාම් මූලධර්මවාදයෙන් මනස සේදීමට ලක් කොට බොම්බ බඩේ බැඳ “ ස්වර්ගයට ” යෑමට පෙළඹවූ දරුවන් වැනි තවත් දරුවන් බිහි වීම වැළැක්වීම සඳහා අපූරු යෝජනාවක් කථානායකවරයාගේ මැදිහත් වීමෙන් ඉදිරිපත් කොට ඇත. ඊට අනුව සිංහල සහ දෙමළ ගේය පද වලින් සමන්විත නව ජාතික ගීයක් නිර්මාණය කළ යුතුය.

ඊට අමතරව තවත් යෝජනාවක් මඟින් එක් එක් ජාතීන්ට අයත් දරුවන් වෙනුවෙන් දැනට පිහිටුවා ඇති පාසල් එසේම පවත්වා ගෙන යාමට ඉඩ දිය යුතු බව සහ අළුතින් එවැනි පාසල් ආරම්භ කිරීමට ඉඩ නොදිය  යුතු බවට නිර්දේශ කරයි. ඒ මඟින් මූලික වැරදි දෙකක් සිදු වේ. පළමුවැන්න ශ්‍රී ලංකාවේ එක් එක් ජාතීන්ට අයත් දරුවන් වෙනුවෙන් පාසල් නම්කිරීමක් සිදුකෙරෙන බව පිළිගැනීමය. දෙවැන්න දැනට චෝදනාවට පාත්‍රව තිබෙන 1200 කට ආසන්න මද්රසා පාසල් සහ 40 කට ආසන්න අරාබි පාසල් එසේම පවත්වාගෙන යැමට ඉඩ දීමය. උගත් මුස්ලිම් දෙමාපියන්ද එම පාසල්වල ක්‍රියාකාරීත්වය ගැටළු සහගත බව පිළිගනිති. ඒවායේ සිංහල උගන්වන්නේ නැති බව සහ විශයමාලා කුමක්දැයි හෝ ගුරුවරුන් කවුරුන්දැයි තමා නොදන්නා බව ඔවුහු පවසති. එවැනි නේවාසික පාසලක කුඩා දරුවන්ගේ මොළයේදීමට කෙතරම් අවස්ථා තිබේද යන්න ඉගැන්වීමේ ක්‍රමවේද ගැන අවබෝධව ඇති ගුරුවරු ඉතා හොඳින් දනිති. වසර ගණනාවක් තිස්සේ ඉස්ලාම් දහම පමණක් යම් පාසල්වල උගන්වන බවද පැවසේ. නමුත් ඒවා සාමාන්‍ය දරුවන් අධ්‍යාපනය ලබන පාසල් මිස පූජකයින් පුහුණු කරන පාසල් නොවේ.

එම යෝජනාවලියට අයත් තවත් යෝජනාවකට අනුව බෞද්ධ භික්ෂූන්වහන්සේලාගේ ඉංග්‍රීසි සහ දෙමළ භාෂා දැනුමද ඉස්ලාම් මූලධර්මවාදී ත්‍රස්ථවාදයේ පැනනැගීමට හේතු වී ඇත. ඒ නිසා පිරිවෙන් අද්‍යාපනය ලබන බෞද්ධ භික්ෂූන්වහන්සේලාට හැකි තරම් දුරට ඉංග්‍රීසි සහ දෙමළ භාෂාව ඉගැන්වීමට කථානායකවරයාගේ කමිටුව නිර්දේශ කොට ඇත. ඊට අමතරව ජනමාධ්‍ය නියාමන කොමිශන් සභාවක් මඟින් ජනමාධ්‍ය පාලනය කිරීමටද යෝජනාවක් ඉදිරිපත් කොට ඇත. මෙම සියළු යෝජනා පාර්ලිමෙන්තුව විසින් අනුමතකොට නැවතත් ඒවා ඉදිරිපත් කරන පුද්ගලයින් කෙතරම් මංමුලාවී ඇත්ද යන්න ඒවා තුළින්ද පැහැදිළි වේ.

පළමුවෙන්ම ඉස්ලාම් මූලධර්මවාදී ත්‍රස්ථවාදයක් ලෝකය පුරා ප්‍රචලිත කෙරෙන බව සහ බටහිර රටවල් එම ප්‍රවනතාවය තම රටවල විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ උපාංගයක් ලෙස යොදා ගන්නා බව පිළිගන්නේ නම් බෙදුම්වාදී යුද්ධයට වඩා බියකරු විනාශයකට අප රට ගොදුරු වන බවට සැකයක් නැත. එම අනාවැකිය තහවුරු කිරීම සඳහා එම සබඳතාවය  පිළිබඳ පැහැදිලි සාක්ෂි මේ වන විට ඉතා ප්‍රභල ලෙස සමාජගත වී ඇත. ඒවා අන්තර්ජාලය හරහා ලබා ගන්නේ නම් ක්‍රි.ග්‍රැම් වලින් මුණය කළ හැක. ඉංග්‍රීසි භාෂාව නොදන්නා අයට සිංහල භාෂාවෙන්ද බොහෝ ලිපි ලේඛන ලියවී ඇත. නමුත් ප්‍රශ්ණය නොදන්නා කම නොවන බව පැහැදිළිය. ඊට හේතුව කථානායකවරයා විසින් කැඳවූ පිරිස අතර බොහෝ උගත් දැනුම්වත් ආගමික නායකයින් සිටීමය.
මෙම කණගාටුදායක තත්වය පැහැදිළි කළ හැක්කේ නඕමි ක්ලේන් (Naomi Klain) නම් වූ මාධ්‍යෙව්දිනිය විසින් රචිත “අතිකම්පන න්‍යාය” (The shock Doctrine) නම් වූ ග්‍රන්ථයේ සඳහන් පර්යේශණ නිගමන වලින් පමණි. එනම් පුද්ගලයෙකු මෙන්ම සමාජයක්ද මහා ව්‍යසනයක් මඟින් කම්පනයට පත් කළ විට ඔවුන් ඊට පෙර නොකළ බොහෝ පිළිගත නොහැකි දේ කිරීමට පෙළඹෙන බවය. එනම් දේශපාලන වශයෙන් කළ නොහැකි දේ දේශපාලන අවශ්‍යතාවක් හෙවත් නොකර බැරි දෙයක් බවට පත්කෙරෙන බවය. ඊට අනුව ලබා දී ඇති කම්පනය අවශ්‍ය වෙනස සඳහා සෑහෙන්නේ නැති නම් එනම් අති කම්පන ප්‍රතිකාරයේ ප්‍රමාණය මදි නම් එය වැඩි කිරීමෙන් හෙවත් මළ මිනී ගනන වැඩිකිරීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගත හැකි බවද කියවේ.

කෙසේ වෙතත් සිරියාව සහ ලිබියාව වැනි රටවල් මුහුණ දෙමින් තිබෙන භයානක ඉරණම අප රටේ නළලේ කොටා ඇති බව මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිදුවූ ආකාරය තුළින් ඉතා හොඳින් පැහැදිළි වේ. එහෙත් අප රටේ රජය ඒ අභියෝගයේ තරමට සාපේක්ෂව හැසිරෙන්නේ නැති බව දැන් ඉතා හොඳින් පැහැදිළිව පෙනේ. ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයක් පිහිටුව සියළු සැකකරුවන් සිතියම් ගත කොට ඔවුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාතබාගෙන පරීක්ෂණ කරනවා වෙනුවට අහඹු ලෙස නිදහස් කිරීම ඉතා බරපතල වරදක් බව බොහෝ ඉහළ නිළධාරීන් පුද්ගලිකව පැමිණිලි කරති. එහෙත් රජය දිගින් දිගටම එම දියාරු ක්‍රියා පිළිවෙත අනුගමනය කරයි. ඊට අමතරව චෝදනා එල්ලවෙන ඉහළ දේශපාලකයින්ගෙන් අඩුකරමින් ප්‍රශ්න කිරීමට හෝ බියක් දක්වන රජයකට මෙම අභියෝගයට මුහුණ දිය හැකිද?

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර 

Comments

Popular posts from this blog

‘‘අතුරුදහන්වූවන්ගේ කාර්යාල’’ පනතේ රණවිරුවන් පාවාදෙන මාරක වගන්ති 10ක්

කිරි මෙන් සුදු නැති කිරිපිටි සෙල්ලම