ව්‍යවස්ථා සම්පාදක සභාවෙන් ඊළමට දොරවල් අටක්



   පාර්ලිමේන්තුව තළ මන්ත‍්‍රිවරුන්ගේ ප‍්‍රශ්න වලට සාධාරණ උත්තරයක් ලබානොදෙන ‘‘යහපාලන රේජීමය’’ පාර්ලිමේන්තුවෙන් පරිභාහිරව ව්‍යවස්ථා සම්පාදක සභාවක් නිර්මාණය කොට මන්ත‍්‍රිවරු සියලූ දෙනාගේ සහභාගීත්වයෙන් ව්‍යවස්ථාවක් හැදීමට තරම් ‘‘ප‍්‍රජාතන්ත‍්‍රවාදීවන්නේ කුමක් නිසාද? විපක්‍ෂයේ විවිධ කණ්ඩායම් එම ප‍්‍රශ්නයට තර්කානුකූල උත්තරයක් සොයාගත් බවක් මහජනයාට පෙනෙන්නේ නැත. කෙසේ වෙතත් මෙම නව ක‍්‍රමවේදය තේරීමට ආණ්ඩුවට බලකරන්නේ නිල විපක්‍ෂය වන ටී.එන්.ඒ පක්‍ෂය බවට කිසිදු සැකයක් නැත. ඔවුන් ශ‍්‍රී ලංකා ආණ්ඩුව සහ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සමග අත්සන් කළා යැයි කියන තුන් පාර්ශවීය ගිවිසුමේ ප‍්‍රධාන කොන්දේසියක් වන්නේ ද එයම බවට විවාදයක් නැත. අර්ධ විපක්‍ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණට ලබාදී ඇති භූමිකාව බව පෙනෙන්නේ හොරු අල්ලන ඝෝෂාව මගින් එම ක‍්‍රියාවලියේ භයානකකම වසන්කිරීම බව පෙනේ.

            ඒ අතර ඒකාබද්ධ විපක්‍ෂයේ විවිධ කණ්ඩායම් විවිධ උපකල්පන වලට එළඹෙන්නේ තම තමාගේ ස්ථාවරයන්ට සාපේක්‍ෂව ඊට සරිලන ආකාරයට බවද පෙනේ. ඔවුන් තවමත් යහපාලන රේජීමය බලයට ගෙනඒම සඳහා පිඹුරුපත් සකස් කළ ඉන්දියානු සහ ඇමෙරිකානු ඔත්තුසේවා වල උවමනාවන්ට සාපෙක්ෂව හෙවත් සතුරාගේ පැත්්තේ සිට ප‍්‍රශ්නය දෙස බලන්නට ඉගෙනගෙන නැත. එම බුද්ධිමය දුප්පත්කම නිසා ඔවුන් දැනුම්වත්ව සහ නොදැනුවත්ව යන ආකාර දෙකටම අනුව සතුරාගේ න්‍යායපත‍්‍රයට පහසුකම් සලසන තත්වයකට පත්ව ඇත. ඔවුන් හැදෙමින් පවතින ව්‍යවස්ථාව ජාතියට මර උගුලක් වන බවට දේශපාලන ස්ථාවරයක සිටිමින් සහ ආණ්ඩුවේ ප‍්‍රමුඛතම ව්‍යාපෘතිය වන එම ක‍්‍රියාවලියට දායක වන අතර ආණ්ඩුවට එරෙහිව මහ ජනතාව මහපාරට කැඳවීමේ තම දේශපාලන උපායමාර්ගය පැහැදිලි කරන්නේ කෙසේද?

            බාහිර බලවේග විසින් ආණ්ඩුව බලයට ගෙන එන්නේ බෙදුම්වාදී න්‍යාය පත‍්‍රයට අවශ්‍ය ආකාරයට රාජ්‍යයේ ව්‍යුහය වෙනස් කිරිමේ කොන්ත‍්‍රාත්තුව ඉටු කිරීම මුල්කරගෙන නොවේද? වර්තමාන ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලියේ මූලිකයා ලෙස කටයුතු කරන ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න මහතා 2014දී ලන්ඩනයේ අමිර්තලංගම් අනුස්මරණ දේශනය පවත්වමින් කියාසිටියේ මහින්ද රාජපක්‍ෂ බලයේ සිටිනතුරු දෙමළ ජනතාවගේ ‘‘ප‍්‍රශ්නය’’ විසදීම සඳහා ව්‍යවස්ථාමය විසදුමක් ගෙනඒමට ඉඩක් නැති බවය. ඊට පෙර ‘‘එන්.ජී.ඹ්. ගෝඞ් ෆාදර්’’ කෙනෙකු වන ‘‘ඉන්ටර්නැෂනල් ක‍්‍රයිසින් ගෲප්’’ නැමති සුප‍්‍රසිද්ධ බෙදුම්වාදී රාජ්‍ය නොවන සංවිධානයේ  නායක ඇලන් කීනන්ගේ මුවින්ද ඒ වචනම පිටවිය. 2013දී මහින්ද රාජපක්‍ෂ පරාජය කිරීම සඳහා ඇතිකරගත් කුප‍්‍රකට ‘‘සිංගප්පුරු එකගතාවයේ’’ ප‍්‍රධාන කොන්දේසිය වූයේද එයයි. විකිලික්ස්හරහා එළිදරව් වූ තොරතුරු අනුව ඇමෙරිකානු තානාපතිනි පැටි‍්‍රෂියා බුටනේස් සහ සහකාර රාජ්‍ය ලේකම් රොබඞ්  ඕ බෙල්ක් 2009 සිටම එම අවශ්‍යතාවය අවධාරණය කළේය.

            ඒ අනුව මහින්ද රාජපක්‍ෂ බලයෙන් පහකොට රනිල් වික‍්‍රමසිංහ මහතා බලයට පත්කරන්නේ ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලිය ‘‘බුල්ඩෝසර්’’ කිරිමේ මූලික සහ පළමු උපාය මාර්ගික අවශ්‍යතාවය ඉටුකරගැනීම සඳහා බවට දේශපාලනයේ ‘‘අයන්න’’ දන්නා අයට නම් කිසිදු සැකයක් තිබිය නොහැක. ආණ්ඩුව ආරම්භකොට ඇති ව්‍යවස්ථා සම්පාදක ක‍්‍රියාවලියේ දිග පළල වටහාගත යුත්තේ මෙම මහා පින්තුරය හොදින් වටහා ගනිමිනි. මේ වන විට විපක්‍ෂය විසින් නිර්මාණය කොට දී ඇති හිදැස හෙවත් රික්තකය තුළ ආණ්ඩුව විසින් කිසිදු බාධාවකින් තොරව ව්‍යවස්ථා සම්පාදන මාර්ග සිතියම දිගහරිමින් ඇත. පළමවටයේදීම විධායක ජනාධිපති ක‍්‍රමය සහ ඡුන්ද ක‍්‍රමය වෙනස් කිරීම වැනි සැරසිලිවලින් වසා තිබෙන බෙදුම්වාදී ව්‍යවස්ථා උගුල ඉදිරිපිටට විපක්‍ෂය කැදවාගැනීමට ආණ්ඩුව සමත්වී ඇත. ඒ සඳහා ආණ්ඩුව විසින් ව්‍යවස්ථා සම්පාදක සභාව නැමැති දියුණු තාක්‍ෂණික උපාංගය භාවිතා කළේය. විපක්‍ෂය විසින් බරපතල දේශපාලන ගැටළුවක් හෙවත් අභියෝගයක් තාක්‍ෂණිකව විසදීමට උත්සාහ කිරීම නිසා එම උගුලට  කොටුවිය. ඒ අනුව1995දී චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් ආරම්භ කළ බෙදුම්වාදී ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය නව මානයකට ගෙන ඒමට රනිල් වික‍්‍රමසිංහ මහතා සමත් වී ඇති බව පිළිගැනීමට සිදුවේ.

            පාර්ලිමේන්තු තේරිම් කාරක සභා හරහා ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති රාමුව පළමුවෙන්ම ඉදිරිපත් කිරීමට සිදුවීමේ අවුල බේරමින් සමස්ථ පාර්ලිමේන්තුව මත වගකීම පැවරෙන ව්‍යවස්ථා සම්පාදක සභා ක‍්‍රමය හදුන්වා දීමට ඔහු සමත්විය. එම ක‍්‍රියාවලිය 1972දී යොදාගත් ක‍්‍රියාදාමයට වඩා ජාත්‍යන්තර පිළිගැනීමට ලක්වන ආකාරයට සිදුවේ. එහිදී සමස්ථ පාර්ලිමේන්තුවම ඊට සහභාගීවනවාට අමතරව මහජන අදහස් ලබාගැනීමේ ක‍්‍රියාවලියක් ඊට බද්ධ කිරීම මගින් එම ක‍්‍රියාවලියට වැඩි වලංගු භාවයක් ලබාදී ඇත.  දැන් එම ක‍්‍රියාවලිය බෙදුම්වාදී ටී.එන්.ඒ. පක්‍ෂය සහ ආණ්ඩුවේ එක`ගතාවයෙන් ජාත්‍යන්තරව පිළිගත හැකි ආකාරයට සිදුවෙමින් ඇත. ඒ පිළිබඳව මානව හිමිකම් කොමසාරිස්ගේ ප‍්‍රසාදයද පළවී ඇත. එම තත්වය තුළ සකස්වන ව්‍යවස්ථාව රනිල්ගේ ‘‘පැකේජය’’ ලෙස නම් කෙරෙනවා වෙනුවට සමස්ථ පාර්ලිමේන්තුවේම පැකේජයක් බවට පත්වේ. ඒ අනුව එම ජයග‍්‍රහණය  පශ්චාත් යුද නව ඊළාම් මාර්ග සිතියමේ පළමු බාධකය හෙවත් පළමු දොර විවෘත කිරීමක් ලෙස සැලකිය හැක. ඉන්පසුව පැනනගින දේශපාලන තත්වයන්ට අනුව විවිධ මට්ටම්වලදී ඊළාම් මාවතට විවෘතවන විවිධ දොරවල් විවෘත කිරීමට මෙම ක‍්‍රියාවලිය තුළ ඉඩ ලැබේ. 

            එම ක‍්‍රියාවලිය තුළ ආණ්ඩුවට මුහුණදීමට සිදුවන බරපතලම අභියෝගය වන්නේ දැනටමත් පිටත සකස් වෙමින් පවතින ව්‍යවස්ථා කෙටුම්පත් වලින් පවතින තත්වය අනුව ඉදිරිපත් කිරීමට වඩාත් සුදුසු කෙටුම්පත ඉදිරිපත් කිරීමට පෙර ඒකාබද්ධ විපක්‍ෂය ව්‍යවස්ථා සම්පාදක සභාවෙන් එළියට පැනීම වළක්වා ගැනීමය. එසේ වුවහොත් ‘‘සමස්ථ පාර්ලිමේන්තව’’ යන ලේබලය ඉවත්කර ගැනීමට සිදුවන නිසා එම ක‍්‍රියාවලියේ වලංගුභාවයට බරපතල අගතියක් සිදුවේ. ඒ අනුව ආණ්ඩුවේ න්‍යාය පත‍්‍රයට අනුගත වී ඇති ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ අමාත්‍යවරුන් සහ වෙනත් සැකකටයුතු උපදේශකයින් යොදාගනිමින් ව්‍යවස්ථා සම්පාදක සභාවේ දිගටම රැුදී සිටීමේ තාක්ෂණික වැදගත්කම විපක්‍ෂයට අවධාරණය කෙරෙමින් ඇත. නමුත් ඒ තුළ රුදී සිටින ලෙස පොදුජන ඉල්ලීමක් බිම් මට්ටමේදී නොමැති බව සහ එදා 2000දී පැකේජය ඉදිරිපත් කිරීමේදී කළ ආකාරයට ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසුව ඊට එරෙහිව වාද කිරිමේ පැහැදිලි ඉඩක් තිබෙන බව විපක්‍ෂය විසින් තේරුම් නොගැනීම කණගාටුදායක තත්වයකි. ආණ්ඩුවට සැබෑ ලෙසම අභියෝගය වන්නේ ව්‍යවස්ථා කෙටුම්පත සභාවට හෝ මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කරන තෙක් විපක්‍ෂය කොටුකර තබා ගැනීමය. ඊට පසුව ඔවුන් එළියට පැනගත්තද එය අර්ථ ගැන්වෙන්නේ ඡුන්දය නොදීමක් ලෙසය. එවිට ව්‍යවස්ථා සම්පාදක සභාවේ වලංගුභාවය අභියෝගයට ලක් නොවේ. පළමු එනම් පළමු ඊළාම් දොරටුවේ යතුර නැතිවන්නේ නැත.

            ආණ්ඩුව මුහුණ දෙන දෙවන අභියෝගය හෙවත් ටී.එන්.ඒ. පක්‍ෂය ප‍්‍රමුඛ බෙදුම්වාදීන් විසින් විවෘත කර ගැනීමට බලාපොරොත්තුවන දෙවන දොරටුව වන්නේ ව්‍යවස්ථා කෙටුම්පත සභාවේ සාමාන්‍ය බහුතරයකින් සම්මතකර  ගැනීමය. රනිල්--සම්බන්ධන් සන්ධානය දැනටමත් ඒ සඳහා අවශ්‍ය යතුර සංඛ්‍යාත්මකව තමා අත තබාගෙන ඇත. එම ක‍්‍රියාවලිය එතැනින් ඉදිරියට ගෙන යාමට ඉඩක් නොලැබුනද බෙදුම්වාදී බලතල සහිත ව්‍යවස්ථාවක් සමස්ථ පාර්ලිමේන්තුවම නියෝජනය වන ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයකින් සම්මතවීම යනු බෙදුම්වාදීන්ගේ පැත්තෙන් ගත්විට බරපතල ජයග‍්‍රහණයකි. මහජන විරෝධයන් පැන නොනගින තත්වයක් තුළ එම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට හෝ ජනමත විචාරණයකට ඉදිරිපත් නොකර ඍජුව ක‍්‍රියාත්මක කිරිමේ නීතිමය ඉඩක් ඇත. එය ජාත්‍යන්තරව පිළිගත් භාවිතාවකි. ශ‍්‍රී ලංකාවේදී 1972දී එම භාවිතාව සාර්ථකව අත්හදාබලා ඇත.
            තුන්වන දොරටුව විවෘතකර ගැනීම අවශ්‍යවන්නේ සාමාන්‍ය බහුතරයෙන් අනුමත වූ ව්‍යවස්ථාව ඍජුව ක‍්‍රියාත්මක නොකර එය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරිමේ අවශ්‍යතාව මතු වූ විටය. ව්‍යවස්ථා සම්පාදක සභාව තුළ විශේෂ බහුතරය ලබාගත නොහැකි වුවහොත් අමාත්‍ය මණ්ඩලය හරහා පාර්ලිමේනතුව දක්වා යන මාර්ගය වෙනුවට පාර්ලිමේන්තුව හරහා අමාත්‍යමණ්ඩලය දක්වා යමේ මාවත තෝරාගැනීමට සිදුවේ. ඒ අනුව ව්‍යවස්ථා සම්පාදක සභාව හරහා ඊළම දක්වා යන තුන්වන දොරටුව විවෘත වන්නේ ව්‍යවස්ථා සම්පාදක සභාවේදී විශේෂ බහුතරයකින් ව්‍යවස්ථාව සම්මතවුවහොත් පමණි. එවිට පාර්ලිමේන්තුවේදී මුල්වටයේදී අභියෝගයට ලක් නොවී අමාත්‍යමණ්ඩලය දක්වා ඍජුව ඉදිරිපත් කිරිමේ අවස්ථාව හිමිවේ. එවිට හතරවන දොරටුවක් අමාත්‍ය මණ්ඩලයේදී විවෘත කිරීමට ඉඩ ලැබේ.

            පාර්ලිමේන්තුව විසින් සම්මත කළ ව්‍යවස්ථා සම්පාදක සභාවක් පිහිටුවීමේ යෝජනාව තුළ අමාත්‍ය මණ්ඩලය විසින් කලයුතු දේ පිළිබඳව නිර්ණායක පනවා ඇතත් ව්‍යවස්ථාදායකය මගින් විධායකයට එවැනි නියෝගයක් පැනවීමේ ඉඩක් නැත. ඒ අනුව පවතින දේශපාලන තත්වයට සාපේක්‍ෂව  අමාත්‍ය මණ්ඩලයේ උප කමිටුවක් මගින් ව්‍යවස්ථා කෙටුම්පත නැවත සංශෝධනය කිරිමේ ඉඩ ලැබේ. එම හතර වන යතුර මගින් ඒ වන විට පවතින දේශපාලන බාධක ජයගැනීමේ ඉඩ ලැබේ. ඒ දක්වා ඊළාම් මාර්ග සිතියම දිගට ගෙනයාම අවශ්‍ය වන්නේ බරපතල බෙදුම්වාදී බලතලවලට නීත්‍යානුකූල වලංගුභාවය ලබාදීම සඳහා ව්‍යවස්ථා සම්පාදක සභාවෙන් අනුමත වූ ව්‍යවස්ථාව ඍජුව ක‍්‍රියාත්මක කිරීමට වාතාවරණයක් නොමැති තත්වයක් තුලය. ඉන්පසුව පස්වන යතුර අවශ්‍ය වන්නේ අමාත්‍ය මණඩලය විසින් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරය සහ ජනමතවිචාරණය සඳහා ව්‍යවස්ථා කොටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමේදීය. ඒ මගින් අධිකරණයට ඉදිරිපත් නොකර ඍජුව මහජනයාට ඉදිරිපත් කිරීම හරහා අධිකරණ බාධකය නැමති දොරටුව හෙවත් හතරවන දොරටුව විවෘකර ගැනීමට හැකිවේ. එසේ නොමැතිව අධිකරණයේ බාධාකයට මුහුණදීමට සිදුවුවහොත් ඒ මගින් සිදුවන මහජන දැනුම්වත් වීම නිසා ජනමත විචාරණයේදී බරපතල නිශේධනාත්මක බලපෑමක් සිදුවිය හැක. එම බාධකය ජයග‍්‍රහණය කිරිම හෙවත් පස්වන දොර විවෘත කිරීමට ඉඩ සලසා ගැනීම යනු බෙදුම්වාදී න්‍යාය පත‍්‍රයේ ප‍්‍රබල ජයග‍්‍රහණයකි.

            පස්වැනි බාධකය හෙවත් දොරටුව ඊළාම් මාර්ග සිතියම තුළ මුණ ගැසෙන්නේ පාර්ලිමේන්තුවේදී විශේෂ බහුතරය ලබාගැනීමේදීය. එහිදී ඒකාබද්ධ විපක්‍ෂය විසින් ව්‍යවස්ථා සම්පාදක සභාවේදී අනුමතකළ ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ නම් එය ඉතා සරල බාධකයකි. ඊට අදාළ යතුර ආණ්ඩුවේ සාක්කුවට දමා ගැනීමට ඉඩ ලැබෙන්නේ ඒකාබද්ධ විපක්‍ෂය විසින් සභාවතුළ වාද විවාද වලට සහභාගීවීමේ උගුලට පයතැබුවහොත් පමණි. කෙසේ වෙතත් විපක්‍ෂය ව්‍යවස්ථා සභාවේදී එක පයක් උගුලට තැබුවත් නැතත් පාර්ලිමේන්තුව තුළදීවිවිධ සංශෝධන වලට ඉඩ සලසමින් සහ සමහර බොරු යෝජනා අකුලා ගැනීම මගින් විපක්‍ෂයට උගුලක් ඇටවීමට ආණ්ඩුවට ඉඩ ලැබේ. උදාහරණයක් ලෙස එහිදී මහජන අදහස් කමිටුව හරහා මේ වන විට මහජනයාට අටවා ඇති උගුල ගලවා පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන්ට ඇටවීමට ඉඩක් ලැබේ. 

            මහජන අදහස් ලබාගැනීමේ කමිටුවේ ප‍්‍රධාන අරමුණක් වන්නේ මහජන සංවාදය වෙනත් අතකට රැුගෙන යාමය. එනම් අන්‍යාගමික රාජ්‍යයක කථාව, සිංහ කොඩිය හෝ ජාතික ගීය ඉවත් කිරීම හෝ සමලිංගික කථා මගින් බරපතල බෙදුම්වාදී බලතල පිළිබඳව ඇතිවිය යුතු සංවාදය වෙනත් පැත්තකට යොමු කෙරේ. එය අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තුවේදී එම යෝජනා ඉවත්කර ගැනීම මගින් මන්ත‍්‍රීවරුන් සහ මහජනයා අතර ව්‍යාජ ආරක්‍ෂිත මනසක් ඇති කිරීම සඳහාය. ඒකීය වගන්තිය ව්‍යවස්ථාවේ තිබීම බෙදුම්වාදීන්ගේ අරමුණට බාධාවක් නොවන බව සුමන්තිරන් මන්ත‍්‍රිවරයා සිංගප්පුරු එක`ගතාවමගින් එළිදරව්කොට ඇත. එම වගන්තිය සිංහල බහුතරය සහ ඔවුන්ගේ පාර්ලිමේන්තු නියෝජිතයන් ගොනාට ඇන්දවීම සඳහා ඉතා නිර්මාණශිලීව භාවිතාවන බවට කිසිදු සැකයක් නැත. ඒ අනුව සයවන දොරටුව විවෘතකර ගැනීමට අවශ්‍ය ප‍්‍රමාණයට හෙවත් ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බලතල ප‍්‍රමාණයක් සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරය ලබාගැනීමේන් බෙදුම්වාදී න්‍යාය පත‍්‍රයේ හැරවුම් ලක්‍ෂයකට ල`ගාවිය හැක. එසේ වංගුවක් ගැසීම අවශ්‍යවන්නේ ජනමත විචාරණයක් දක්වා ගමන් කිරීමට තරම් වාසිදායක දේශපාලන තත්වයක් නොමැති නම් පමණි. හත්වන දොරටුව හෙවත් ‘‘කොන්ෆෙඩරල්’’ බලතල සහිත ඊනියා එක්සත්, රාජ්‍යයක් හරහා රට බෙදීමේ න්‍යාය පත‍්‍රයට පහසු ජයග‍්‍රහණයක් අත්පත්කර ගැනීමේ දොරටුව විවෘත වන්නේ ජනමත විචාරණයට කෙටුම්පත ඉදිරිපත් කිරීම මගිනි. එහිදී ජයග‍්‍රහණය නොලැබුනත් උතුර නැගෙනහිර පලාත තුළ ප‍්‍රතිඵලය වෙනම විග‍්‍රහ කිරීම මගින්. බෙදුම්වාදයට වාසි සහගත තත්වයක් ලැබේ. එම වාසිය තුළ සිට ගනිමින් සහ පාර්ල්ිමේන්තුවේ විශේෂ බහුතරය මගින් ලබාගත හැකි දේ ලබාගැනීම තුළින් බෙදුම්වාදී මාර්ග සිතියමේ තව දුරටත් ඉදිරියට ගමත් කිරීමට හැකිවේ. ඒ අනුව අටවන දොරවුට හෙවත් මහජනයා විසින් බන්දේසියක තබා ඊළම පිරිනැමීමේ තත්වය නිර්මාණය වන්නේ ජනමත විචාරණය ජයග‍්‍රහණය කළහොත්ය. ඒ සදහා ඩයස්පෝරාව ඇති තරම් මුදල් විසිකරනු ඇත. එසේම සංවිධානාත්මකව හොර ඡුන්ද දැමීමේ සිට මැතිවරණ කොමිසමේ වාසිදායක තත්වය මෙන්ම ජාත්‍යන්තර නිරික්‍ෂකයින්ගේ මැදිහත්වීමද බරපතල ලෙස යොදාගනු ඇත.

            ජාතියේ අනාගත ඉරණම තීන්දු වන්නේ ඒකාබද්ධ විපක්‍ෂය මෙම මහා පින්තුරය තේරුම්ගන්නා ප‍්‍රමාණයට සාපෙක්ෂවය. ජනතා විමුක්ති පෙරමුණ මෙම ක‍්‍රියාවලිය තුළදී ආණ්ඩුවට පහසුකම් සලසමින් රට අර්බුදයට යැවීම තමාට දේශපාලන වශයෙන් වාසිදායක වන බවට කල්පනා කරන බව දැන් ඉතා පැහැදිලිව පෙනේ. ව්‍යවස්ථා සම්පාදක සභාව මගින් දියත්කොට ඇති ක‍්‍රියාදාමයට විපක්‍ෂය විසින් සුජාතභාවය ලබා දුනහොත් බෙදුම්වාදින්ට විවිධ මට්ටම් වලදී විවෘත වන දොරවල් ප‍්‍රමාණයෙන් එම ක‍්‍රියාදාමයේ භයානකකම පැහැදිලි වේ. කෙසේ වෙතත් මේ එක් යතුරක් හෝ නොමැතිව වුවද බෙදුම්වාදීන් දැනටමත් තමා සතුකොට ගෙන ඇති 13 වැනි සංශෝධන යතුර නියම ආකාරයට භාවිතා කිරීමට ඉඩ ලැබුනහොත් යම් දුෂ්කරතා සහිතව වුවත් ඊළම දක්වා දිවෙන කැලෑ පාර විවෘත කළහැකි බවද අමතක නොකළ යුතුය.              

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර 

               
               

Comments

Popular posts from this blog

හම්බන්තොට වරාය චීනට, කොළඹ වරාය ඉන්දියාවට, මත්තල ගුවන්තොට ඇමෙරිකාවට : ඊළඟට කුමක්ද?

දේශීය ව්‍යවසායකයා හාන්සි කළ මිල විකෘතිය

යටත් කිරීමට පෙර යටත්වීම සහ බොරු වලවල් කැපීම: