දෙමුහුන් යුද අධිකරණ විරෝධය : ඇත්ත සහ බොරුව

අතිගරු ජනාධිපතිතුමා විසින් සිදුකළ ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයකට අනුව එතුමා විදේශීය විනිසුරන් ඇතුල්ත්වන දේශිය යුද අපරාධ අධිකරණයක් පිහිටුවීමට කිසිදු ඉඩක් ලබාදෙන්නේ නැත. තමාට ඒ බව ඍජුව ප‍්‍රකාශ කිරීමට තරම් පිට කොන්දක් තිබෙන බවටද එතුමා විසින් ඉතා දැඩි ස්වරයෙන් තම ප‍්‍රකාශය තවදුරටත් අවධාරණය කොට තිබේ. ඒ අතර අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රකාශයකට අනුව එවැනි දෙමුහුන් අධිකරණයක් පිහිටුවීමට දේශපාලන සක්‍යතාවයක් නැත. එතුමාගේ වචන වලට අනුව ඊට හේතු වන්නේ ඒ සඳහා ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යවීමයි. එම ප‍්‍රකාශය මගින් එතුමා වක‍්‍රව සඳහන් කරන්නේ ජනමතවිචාරණයක් අවශ්‍යවන ව්‍යවස්ථා සංශෝධනවලට තමා එක`ග නොවන බවය. 

අගමැතිතුමාගේ එම ප‍්‍රකාශය මගින් පැහැදිලි වන්නේ නව ව්‍යවස්ථාවක් අවශ්‍යතාව පිළිබඳව කථිකාවද ව්‍යාජයක් බවය. ආණ්ඩුව විසින් ව්‍යාජ ලෙස නව ව්‍යවස්ථාවක් ගෙන එන බවට ගෝෂා කරන නමුත් ඔවුන්ගේ අවසාන අරමුණ 13 වැනි සංශෝධනය බලාත්මක කිරීම බවට අප විසින් දරන මතයද ඒ මගින් තහවුරු වේ. ඊට පෙර ජනාධිපතිතුමා විසින් ජනමතවිචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනවලට තමා එක`ග නොවන බව ප‍්‍රකාශ කොට ඇත. ඒ අනුව ජනාධිපතිතුමා සහ අගමැතිවරයා වෙනස් ස්ථාවරයන් දෙකක් මත ක‍්‍රියාරන බව පෙන්වමින් පොදු මතයක් ඉදිරිපත් කරන බවද පැහැදිලි වේ. දැන් පැන නැගෙන ප‍්‍රශ්නය වන්නේ ඔවුන් දෙපළ විසින් එම ප‍්‍රකාශ සිදුකරන්නේ ප‍්‍රායෝගිකව කුමන අරමුණක් පෙරදැරි කරගෙනද? යන්නයි. ව්‍යවස්ථාවට අදාල ප‍්‍රශ්නයේදී ආණ්ඩුවේ නායකයින් දෙදෙනා පමණක් නොව ටී.එන්.ඒ. පක්‍ෂයේද ජනමත විචාරණයක් අවශ්‍ය නොවන ලෙස 13 වැනි සංශෝධනය බලාත්මක කරන ව්‍යවස්ථා සංශෝධනයකට එක`ග වී ඇති බවට සැකයක්  නැත. නමත් දෙමුහුන් යුද අපරාධ අධිකරණයට අදාලව ඔවුන් විසින් කරනු ලබන ප‍්‍රකාශ හුදු දේශපාලන ‘‘පාරම්බෑමක්’’ බව පැහැදිලිව පෙනේ. 

එළඹෙන මාර්තු 22 වන දින ශ‍්‍රී ලංකා රජයේ සම අනුග‍්‍රාහකත්වය සහිතව අනුමත වීමට නියමිත බි‍්‍රතාන්‍ය විසින් ඉදිරිපත් කෙරෙන ඊනියා ‘‘රෝල්  ඕවර්’’ යෝජනාවේ කෙටුම්පත පරීක්‍ෂා කිරීමේදී ආණ්ඩුවේ ර`ගපෑම කුමක්දැයි පැහැදිලි වේ. මානව හිමිකම් සමුළුවේ 34වැනි සැසිවාරයට ඉදිරිපත් කරන එම ‘‘ඉදිරියට තල්ලූ කිරීමේ’’ යෝජනාව මගින් 2015දී 30 වැනි සමුළුවේදී සම්මත කළ 30(1* යෝජනාවේ අඩංගු සියලූ කරුණු ක‍්‍රියාත්මක කිරීම සඳහා කාලය දීර්ඝ කෙරේ. ඒ අනුව දෙමුහුන් යුද අපරාධ අධිකරණයක් පිහිටුවීමට මුල්වන ඊනියා ව`ගවීමේ යාන්ත‍්‍රණය පළමු යෝජනාවේ අඩංගු ආකාරයටම පවතිනු ඇත. එසේ නම් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා රටතුළදී දෙමුහුන් අධිකරණයට විරෝධය පළකරන අතරතුර විදේශ අමාත්‍යවරයා මානව හිමිකම් සමුළුවේදී ඊට එක`ගතාවය පළකරනු ඇත. ඔවුන් දෙදෙනා විසින් වේදීකාවේ සිදුකෙරෙන මෙම ර`ගපෑමට පසුබිම් කථනය සපයන ටී.එන්.ඒ පක්‍ෂය අවධාරණය කරන්නේ යෝජනාව සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක කළ යුතු බවය. එවිට වේදිකාවට පිටුපසින් සිදුවන දේ නොදන්නා ශ‍්‍රී ලංකාවේ පොදු ජනතාව නැමති පේ‍්‍රක්ෂකයා කල්පනා කරන්නේ ටී.එන්.ඒ පක්‍ෂයේ ඉල්ලීම් නොසලකා ආණ්ඩුව දැඩි ස්ථාවරයක සිටිමින් දෙමුහුන් යුද අපරාධ අධිකරණයට විරුද්ධ වන බවය. 

මෙම නාට්‍යයට පසුබිම් සංගීතය සපයන බටහිර රටවල්ද දෙමුහුන් අධිකරණයක අවශ්‍යතාවය අවධාරණය කරන තත්වයක් තුළ ඊට විරුද්ධ වන ආණ්ඩුවේ ප‍්‍රකාශ වලට දැඩි වටිනාකමක් හිමිවේ. ටී.එන්.ඒ පක්‍ෂයද යුධ අධිකරණයක අවශ්‍යතාවය අවධාරණය කරන අතර 2015 දී එක`ග වූ සියල්ල ක‍්‍රියාත්මක කිරීම සඳහා කාලය ලබාදීමට එක`ග බව පැහැදිලිව ප‍්‍රකාශ කරයි. එම පක්ෂයේ ස්ථාවරය මගින් ව්‍යවස්ථා සංශෝධනයට අදාලව ඔවුන්ගේ ස්ථාවරයද පැහැදිලිවේ. ඔවුන්ගේ මූලික අරමුණ ජිනීවා යෝජනාව ක‍්‍රියාත්මක කර ගැනීම නම්, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කෙරෙන ව්‍යවස්තා සංශෝධනයක් මගින් ඔවුන්ගේ මූලික අරමුණු ඉටුවේ. ජීනිවා යෝජානාව මගින් අවධාරණය කරන්නේ 13 වැනි සංශෝධනයට අනුව බලය බෙදාදීම ප‍්‍රතිපළදායක ලෙස සිදුකරන ලෙස පමණි. දෙස් විදෙස් බෙදුම්වාදී බලවේග වලට අවශ්‍ය වන්නේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක කරවා ගැනීම බව අප විසින් දිගින් දිගටම අවධාරණය කොට ඇත. 

කෙසේ වෙතත් ටී.එන්.ඒ පක්‍ෂයේ ඊනියා මධ්‍යස්ථ මතධාරීන්ගේ් එම මතයට එම පක්‍ෂයේ අන්තවාදීන් විරුද්ධ බව පැවසේ. ඔවුන් ඉල්ලා සිටින්නේ නව ව්‍යවස්ථාවක් මෙන්ම දෙමුහුන් යුද අධිකරණයද නොපමාව ලබාදිය යුතු බවටය. මෙම පාර්ශ්ව දෙක යුද්ධය පැවැති කාලයේදී සිට මතවාද දෙකක් නියෝජනය කරන බව පෙන්වමින් එකම අරමුණක් ජයග‍්‍රහණය කරවීම සඳහා පෙරමුණු දෙකක සටන්වදියි. සුමන්දිරන් මන්ත‍්‍රිවරයා ඇතුළු ‘‘මධ්‍යස්ථ මතධාරීන්ට’’ බහුතර සිංහල සමාජය තුළ යම් පිළිගැනීමක් ලබාගැනීම සඳහාද ‘‘අන්තවාදීන්ගේ’’ එම භූමිකාව ඉතා වැදගත් වේ. එසේම ආණ්ඩුවේ නායකයන්ගේ ර`ගපෑම්වලට වීරත්වයක් ආරෝපණය කිරීමටද එය හේතුවේ. මේ දිනවල බෙදුම්වදී හිතවාදී රාජ්‍ය නොවන සංවිධාන ජාලයක්ද ආණ්ඩුවේ ස්ථාවරයට වැඩි වටිනාකමක් ලබාදීම හෙවත් ‘‘බෝලය උස්සාදීම’’ සඳහා ව්‍යාපාරයක් පටන්ගෙන ඇත. ඔවුන් විසින් රටපුරා පෝස්ටර් ගසමින් නව ව්‍යවස්ථාවක් ඉල්ලා සිටින විට එය නොසලකා 13 බලාත්මක කිරීමට සැරසෙන ආණ්ඩුවේ නායකයන් ව්‍යාජ ලෙස වීරයන් බවට පත්වේ. නමුත් අවසන් ප‍්‍රතිඵලය අනුව සහ බෙදුම්වාදීන්ගේ මූලික අවශ්‍යතාවයට අනුව එම ස්ථාවර දෙක අතර වෙනසක් නැත. 

දෙමුහුන් යුද අපරාධ අධිකරණ පිහිටුවීමේ සටන් පාඨය බෙදුම්වාදීන්ට වැදගත් වන්නේ උපාය මාර්ගික අරමුණු දෙකක් සඳහා බව පැහැදිලිව පෙනේ. පළමු වැන්න, ආණ්ඩුවේ අතකරකැවීමේ උපාංගයක් ලෙස යොදාගැනීමය. ආණ්ඩුවේ පැත්තෙන් ගත්විට විදේශිය විනිසුරන් සහභාගීවන යුද අපරාධ අධිකරණයක් රට තුළ පිහිටුවීම යනු ඔවුන්ට මරු කැඳවන දේශපාලන මර උගුලකි. ඒ නිසා ඒ හිලව්වට ඉල්ලා සිටින වෙනත් ඉල්ලීමක් දිනාගැනීමට එම පළමු ඉල්ලීම මගින් වැඩි ඉඩක් විවර වේ. උදාහරණයක් ලෙස 13 වැනි සංශෝධනය කඩිනමින් බලාත්මක කිරීමට ආණ්ඩුව එක`ග වේ නම් දෙමුහුන් අධිකරණය සඳහා කාලය ලබාදීම ඔවුන්ට ප‍්‍රශ්නයක් නොවේ. සුමන්තිරන් මන්ත‍්‍රිවරයා කාලය ලබාදීමට එක`ග වන්නේ දෙමුහුන් අධිකරණය පිහිටුවීම සඳහා පමණක් බව ඉතා පැහැදිලිය. නමුත් ඔවුහු ඒ මගින් යුද අධිකරණ යෝජනාව න්‍යාය පත‍්‍රයේ තබා ගනිමින් දිගින් දිගටම එම ඉල්ලීම ඉදිරිපත් කිරීම සඳහා ඉඩ තබා ගනිති. 

මීට පෙර සුමන්තිරන් මන්ත‍්‍රිවරයා විසින් එළිදරව් කළ ආකාරයට 2015 ජිනීවා යෝජනාවට ඔවුන් එක`ග වූයේ ඊට පෙර ආණ්ඩුව සහ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලදධාරීන් සම`ග ඇතිකරගත.් එක`ගතාවයකට අනුවය. එහිදී ඔහු කියා සිටියේ ආණ්ඩුව ඔවුන්ගේ ඉල්ලීම් වලට එක`ග වූ බැවින් විදේශීය අධිකරණයක් වෙනුවට දෙමුහුන් අදිකරණයක් පිහිටුවීමේ යෝජනාවට තමා එක`ග වූ බවය. ආණ්ඩුව එහිදී නම්‍යශිලී වූයේ ටී.එන්.ඒ. පක්‍ෂයේ මූලික ඉල්ලීම වන බලය බෙදීමේ කාරණයට අදාළව බව දේශපාලනයේ ‘‘අ’’ යන්න දන්නා අයෙක්ට වුවද තේරුම්ගත හැක. ඒ අනුව මෙවරද දෙමුහුන් අධිකරණය කල් දැමීමට එක`ග වන්නේ බලය බෙදීමේ ක‍්‍රියාවලිය ඔවුන්ට අවශ්‍ය ආකාරයට කඩිනම් කරගැනීම සඳහා බවට විවාදයක් නැත. ඉහත සඳහන් කළ ආකාරයට ඊනියා අන්තවාදීන් ඊට එරෙහිවන ප‍්‍රමාණයට සාපෙක්ෂව එම ඉල්ලීමේ ‘‘සාධාරණත්වය’’ වැඩිවේ. 

ඇත්ත වශයෙන්ම ඉහත සඳහන් කළ ආකාරයට දෙමුහුන් අපරාධ අධිකරණය ඔවුන්ට වැදගත් වන්නේ දේශපාලන උපාංගයක් ලෙස පමණි. ඒ මගින් යුද හමුදාවේ ඉහළ නායකයින් විශාල පිරිසකට දඩුවම් කිරීමට සහ ඔවුන් මානසිකව වැට්ටවීමට ප‍්‍රායෝගිකව ඉඩ ලැබෙන්නේ නැත. කාම්බෝජයේදී දෙමුහුන් යුධ අපරාධ අධිකරණයක් පිහිටුවන්නේ 2003 වසරෙදීය. මේ වන විට එනම් වසර 14ක් තුළ එම අධිකරණය මගින් චෝදනා ඔප්පුකොට ද`ඩුවම්කොට ඇත්තේ ඉහළ නායකයින් තිදෙනෙකුට පමණි. ඒ අනුව එවැනි විධිමත් අධිකරණයක් වැදගත් වන්නේ මහින්ද රාජපක්‍ෂ සහ ගෝඨාභය රාජපක්‍ෂ වැනි ඉහළ නායකකයන්ට දඩුවම් කිරීම සඳහා වන ආශාව සංසිදුවා ගැනීම සඳහා පමණි. හමුදාවේ හරස්කඩකට දඩුවම් කිරීම සඳහා එවැන්නක් යොදාගත නොහැක. ඒ නිසා එය කල්දමා ගැනීම උපාය මාර්ලිකව වඩා වැදගත් විය. ඒ මගින් නැවත මහින්ද රාජපක්‍ෂ රජයක් බලයට පත්වුවහොත් අදාළ යෝජනාවට නැවත පනදීමේ අවස්ථාව ද ඉතිරිවේ.

දෙස් විදෙස් බෙදුම්වාදී බලවේග වලට ඊනියා ‘‘සත්‍ය සෙවීමේ’’ ක‍්‍රියාවලිය සම`ග වගවීමේ හෙවත් ද`ඩුවම් කිරීමේ ක‍්‍රියාවලිය ඒකාබද්ධ කිරීම වැදගත් වන්නේ හමුදාව දුර්වල කොට දුර්මුඛ කිරීමේ උවමනාව නිසාය. ඔවුන් ආදර්ශයට ගන්න බව පෙන්වන දකුණු අප‍්‍රිකාවෙදී සත්‍ය සෙවීමේ කොමිසමක් සම`ග දෙමුහුන් යුද අපරාධ අධිකරණ ක‍්‍රියාවලියක් ඒකාබද්ධ කළේ නැත. ඒ නිසා දෙමුහුන් යුද අපරාධ අධිකරණය කල්දැමීමට එක`ගවීම මගින් බලය බෙදීම සහ අතුරුදහන්වූවන්ගේ කාර්යාලය හෙවත් අර්ධ අධිකරණ කොමිසම පිහිටුවීම කඩිනම් කරගැනීම උපාය මාර්ගික වශයෙන් ඔවුන්ට වැදගත් වේ. එසේ කල්දැමීම අතහැර දැමීමක් ලෙස හුවා දක්වා වීරයින් වීමට ආන්ඩුවේ නායකයින්ට අවස්ථාව උදාවී ඇත. ආණ්ඩුවේි නායකයින් වීරයින් කිරීමද බෙදුම්වාදීන්ට වැදගත් වේ. මහජන විරෝධය නොතකා ඔවුන්ගේ ඉල්ලීම ඉටුකිරීමට නම් ආණ්ඩුවට යම් වීරත්වයක් ආරෝපණය කර ගැනීම සඳහා ඔවුන් විසින් උදව් කළ යුතුය. 

උදව්වේ හිලව්වට උදව් කිරීමට සැරසෙන ආණ්ඩුව දැන් ඉතා බරපතළ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇත. ඒ මගින් අතුරුදහන්වීම වැළැක්වීම සඳහා වන  ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය දේශීය නීතිය තුළ බලාත්මක කෙරේ. රණවිරුවන් අමු අමුවේ පාවා දෙමින් අප රටේ පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් එම නීතිය සම්මත කළ හොත් යුද්ධයට දායක වූ  ඕනෑම හමුදා නිලධාරියෙක් ජාත්‍යන්තර අධිකරණ බලයට ගොදුරු කිරීමේ ඉඩක් විවෘත වේ. එනම් සාක්‍ෂි ආඥාපනත් ක‍්‍රියාත්මක නොවන ආකාරයට අතරුදහන්වූවන්ගේ කාර්යල පනත හරහා පිහිටුවනු ලබන අර්ධ අදිකරණ කොමිසම මගින් වරදකරුවකු බව නිගමනය කෙරෙන  ඕනෑම නිලධාරියෙක් මෙම නව පනත යටතේ ජාත්‍යන්තර අධිකරණ බලයට ගොදුරු වේ. යුද අපරාධ අධිකරණයකදී සාක්ෂි ආඥාපනත ක‍්‍රියාත්මක වන අතර සාක්‍ෂිකරුවන් ඉදිරිපත් කිරීම සහ ඔවුන්ගෙන් හරයේ ප‍්‍රශ්න ඇසීමට එහිදී අවකාශය ලැබේ. අතුරුදහන්වූවන්ගේ කාර්යාල නීතිය අනුව විද්‍යුත් තැපෑලෙන් එවනු ලබන පට්ටපල් බොරු සාක්‍ෂි ප‍්‍රමාණයක් මත පදනම්ව  ඕනෑම හමුදා නිලධාරියකුට විරුද්ධව චෝදනා ගොනුකළ හැක.       

නමුත් ඉතා කණගාටුදායක ලෙස අතුරුදහන්වූවන්ගේ කාර්යාල පනත ගෙන ඒමේදී සිදු වූ ආකාරයටම විපක්‍ෂයේ දේශපාලන නායකයින් මෙම පනතේ බරපතලකම තේරුම් නොගැනීම නිසා ඊට එරෙහිව අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට නොහැකි විය. ඒ අනුව ව්‍යවස්ථා විරෝධී එම පනත පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයෙන් සම්මතවීමට බොහෝ ඉඩ කඩ ඇත. ‘‘ජාත්‍යන්තර නීති යටතේ සහ බටහිර රටවල උදව්වෙන් සමාජවාදය පිහිටුවීමට සිහින දකින යම් දේශපාලන පක්‍ෂද අතුරුදහන්වුවන්ගේ කාර්යල පනත සාධාරණිකරණය කළ ආකාරයටම මෙම නව පනත ගෙනඒමේදී හැසිරෙන බවට සැකයක් නැත. එවැනි තත්වයක් තුළ දෙමුහුන් අපරාධ අදිකරණයක් පිහිටුවීමට ඉඩ නොදෙන බව පවසමින් එය යම් කාලයකට කල්දමා ගැනීම යනු හුදු දේශපාලන ‘‘පාරම්බෑමක්’‘ පමණක් නොව මහා පාවාදීමක් සඳහා අවකාශය ලබාගැනීමත් ලෙසද ඉතිහාසය විසින් විග‍්‍රහ කරන බවට සැකයක් නැත. 

බෙදුම්වාදීන්ගේ පැත්තෙන් ගත්විට මෙම සමස්ථ නාට්‍යය අවසන් වන විට ඔවුන්ට තුන් පැත්තකින් වාසි අත්වේ. පළමුව, දෙමුහුන් අධිකරණය කල්දමා ගැනීමට හිලව් වශයෙන් 13 වැනි සංශෝධනය බලාත්මක කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය කඩිනම් කෙරේ. දෙවනුව, යුද අධිකරණයක් මගින් එකකු හෝ දෙදෙනෙකුට දඩුවම් කරනවාට වඩා පනත් දෙකක් දෙමුහුන් කිරීම මගින් උසස් හමුදා නිලධාරීන් සිය ගණනකට දඩුවම් කිරීමට සහ ඒ මගින් හමුදාව දුර්මුඛ කොට දුර්වල කිරිමට ඉඩ සැලසේ. තුන්වනුව, කල්දමා ගන්නා යුද අපරාධ ක‍්‍රියාවලිය දිගින් දිගටම ‘‘ජිනීවා න්‍යායපත‍්‍රය’’ තුළ තබා ගැනීම මගින් අවශ්‍ය අවස්ථාවේදී බලාත්මක කිරීමේ ඉඩ ඉතිරිවේ. උදාහරණයක් ලෙස අනාගතයේදී මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවක් බලයට පත්වුවහොත් දෙමුහුන් අධිකරණයට ලබාදුන් කාලය අවසන් බව පවසමින් සහ එය ඉටු නොකළ නිසා ජාත්‍යන්තර අධිකරණයක් පිහිටුවීමේ යෝජනාව ඉදිරිපත් කළ හැක. ඒ වන විට බලය බෙදීම හරහා ඉදිරියට ගමන් කරන රට බෙදීමේ ක‍්‍රියාවලියද තීරණාත්මක සහ ගැටුම් සහගත තත්වයකට ල`ගාවනු ඇත. 

කෙසේ වෙතත් පවතින නරකම තත්වය යටතේ වුවත් ආණ්ඩුවේ නායකයන්ට තම පිටකොන්ද පරීක්‍ෂා කිරීමට ඉඩක් විවර වි ඇත. ඒ ජාතික සංවිධාන එකමුතුව විසින් කැඳවූ විද්වත් කොමිසම හරහා සම්පාදනය කළ වාර්තාව ප‍්‍රයෝජනයට ගැනීමයි. පසුගිය 13 වැනිදා සම්බුද්දත්ව ජයන්ති මන්දිරයේදී ගොඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වූ උත්සවයකදි විරුවන්ගේ විත්ති වාචකය එම සුවිශේෂි වාර්තාව එළි දැකිවිණි. නමුත් ජනමාධ්‍ය විසින් එම රැුස්වීමේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ රියඅද්මිරාල් සරත් විජේසේකර මහතා විසින් සිදුකළ කාතාවලින් කොටස් පළකළමුත් අදාළ වාර්තාවේ වැදගත්කම අවධාරණය කළේ නැත. එම ඓතිහාසික අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු 50 දෙනෙකුට ආරාධනා කොට තිබුණද ඊට සහභාගී වූයේ මන්ත‍්‍රීවරු හතර දෙනෙකු පමණි. 

එම වාර්තාව මගින් 2014 ජිනීවා යෝජනා හරහා පිහිටවූ ශ‍්‍රී ලංකාවට එරෙහි පරීක්‍ෂණ කමිටුවේ වාර්තාව සුනු විසුනු කොට ඇත. එය ඉතා දුර්වල සහ පක්‍ෂපාතී ලේඛනයක් බව එම වාර්තාව මගින් ඉතා තර්කානුකූලව ඔප්පුකොට ඇති බව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා ප‍්‍රකාශකොට ඇත. ඒ අනුව එවැනි දුර්වල සහ පක්‍ෂග‍්‍රාහී වාර්තාවක් මත පදනම් වූ 2015 ජිනීවා යෝජනාව තවදුරටත් වංලගු නොවන බවට ප‍්‍රබල තර්කයක් මතුවේ. එම තර්කය මත පදනම්ව 2015 යෝජනාව සංශෝධනය කොට අවම වශයෙන් ඊනීයා ව`ගවීමේ යාන්ත‍්‍රණය යටතේ පිහිටුවීමට යෝජනා කරන දෙමුහුන් අධිකරණය ඉල්ලා අස්කරගත යුතු බවට ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුවට දැන් අවස්ථාව උදාවී ඇත. එම අවස්ථාව භාවිතාකොට නොපමාව එම ඉල්ලීම ඉදිරිපත් කිරීමට අතිගරු ජනාධිපතිතුමා ක‍්‍රියාකරන්නේ නම පමණක් එතුමාගේ කොන්ද පළිබඳව එතුමා විසින්ම කරනු ලබන ප‍්‍රකාශය ජනතාව විසින් පිළිගනු ඇත.  

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර               

Comments

Popular posts from this blog

හම්බන්තොට වරාය චීනට, කොළඹ වරාය ඉන්දියාවට, මත්තල ගුවන්තොට ඇමෙරිකාවට : ඊළඟට කුමක්ද?

දේශීය ව්‍යවසායකයා හාන්සි කළ මිල විකෘතිය

යටත් කිරීමට පෙර යටත්වීම සහ බොරු වලවල් කැපීම: