මහින්දට නැති රනිල්ට තිබෙන විකල්ප තේරීම්

 පවතින  දේශපාලන පෙළගැසීම් අනුව ඉදිරි ජනාධිපතිවරණයට මුහුණ දීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සතුව බොහෝ විකල්ප ඇතත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සතුව එවැනි විකල්ප නොමැති බව පැහැදිලිව දැකගත හැක. ඊට අමතරව එසේ විකල්ප සැලසුම් සකස් කිරීමේ උවමනාවක් හෝ විභවයක් පොදුජන පෙරමුණ ප්‍රමුඛ එම පාර්ශවයට තිබෙන බවක්ද පෙනෙන්නේ නැත. ඒ සියල්ලටම වඩා තිබෙන විකල්පයන් ද අහිමි කරගන්නා දේශපාලන තේරීම් වලට එම පාර්ශවය තල්ලු වන බවක් දැකගත හැක. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ තුරුලට තල්ලු කිරීම වෙනුවට මහජනයා ඉදිරියේ ඔවුනට එසේ පිට පැනීමට නොහැකි තත්වයක් නිර්මාණය කිරීමට එම පාර්ශ්වයට උනන්දුවක් තිබෙන බවක් පෙනෙන්නේ නැත.

 මෑතකදී අය වැය පරාජය කිරීම නමින් පොදුජන පෙරමුණ විසින් තෝරන ලද දේශපාලන ක්‍රියාවලිය තුළ මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තව දුරටත් දුරස් වන තත්වයක් නිර්මාණය වී ඇත. දෙමළ ජාතික සන්ධානයේ සහයෝගයෙන් එක්සත් ජාතික පක්ෂයට තම අයවැය සම්මත කර ගැනීමේ සැලසුමක් තිබෙන බව පැහැදිලි ව පෙනුණි. රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංගය ගෙන එන විට එක්සත් ජාතික පක්ෂය විසින් තම පක්ෂයේ යම් පාර්ශව හරහා පොදුජන පෙරමුණේ නායකයින්ට ගිල්ලවූ ලණුව මෙවර අය අයවවැය ඡන්ද විමසීමට අදාළ ව ද ගිල්ල වූ බව රහසක් නොවේ. ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබාගෙන අයවැය පරාජය කළ හැකි බවට අහස් මාලිගාවක් තනන්නේ ඒ අනුවය. කෙසේ වෙතත් අය වැය පරාජය කිරීමට නොහැකි වීමෙන් පසුව ලැජ්ජාව වසා ගැනීම සඳහා එදා විශ්වාසභංගයේ දී ගොඩනැඟූ බොළඳ තර්ක යම් පිරිස් විසින් නැවත ප්‍රතිනිර්මාණය කරන බවක් දක්නට ඇත.

එනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක මතයක සිට අයවැයට විරුද්ධ වූවා නම් එක්සත් ජාතික පක්ෂයෙන් යම් පිරිසක් කඩා ගැනීමට ඉඩ තිබුණ බවට ඔවුහු ළදරු තර්ක ගොඩ නගති. අවසානයේදී එසේ  අයවැය පරාජය කිරීමේ ක්‍රියාන්විතය අසාර්ථක වීමෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වය විත්තිකරුවා බවට පත් විය. ඒ තුළ සම්බන්ධන්-රනිල් හවුලේ භයානක  කම ප්‍රගතිශීලී ජනතාවට අවධාරණය කිරීම්ට තිබූ හැකියාව ගිලිහුණි. පොදුජන පෙරමුණේ නායකයින් විසින් සියළු සිහින බිඳ වැටුණු පසුව ද ටී.එන්.ඒ- යූ.එන්.පී ආණ්ඩුවක් හැදී ඇති බවට මහජන මතයක් ගොඩ නැගීම වෙනුවට මෛත්‍රී පාර්ශවයට දොස් පැවරීම මගින් වාසිය සිදුවන්නේ එක්සත් ජාතික පක්ෂයටය. කුමන හෝ හේතු සොයා ගනිමින් මෛත්‍රී පාර්ශවය රනිල් වික්‍රමසිංහ මහතාගේ තුරුලට තල්ලු කිරීම මඟින් වැඩි වාසි සැලසෙන්නේ කාටදැයි පාසැල් දරුවෙකුට වුවද වටහාගත හැක.

නමුත් රනිල්  වික්‍රමසිංහ මහතාගේ පැත්තෙන් ගත් විට ඔහුගේ උපාය මාර්ගික සැලසුම් තුළ හෙවත් ඔහුගේ දේශපාලන සමීකරණය තුළ මෛත්‍රී සාධකයට පමණක් නොව අනුර දිසානායක සහ සම්බන්ධන් සාධක වලට ද ඉතා ප්‍රමුඛ ඉඩක් වෙන් කොට තිබෙන බව පැහැදිලිව දක්නට ඇත. ඔහුට එසේ කළ හැකි වන්නේ ඔහු තම ස්වාර්ථය තකා  දේශපාලන වශයෙන් නිර්ලෝභී දියුණු තේරීම සිදුකිරීම නිසා ය. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පාර්ශවය  හෙවත් පොදුජන පෙරමුණ තමාට දිනාගත් හැකි එකම පාර්ශ්වය වන මෛත්‍රී පාර්ශවය තම සතුරන් ගේ තුරුලට තල්ලු කිරීමේ අරමුණ කුමක්ද? ඉහත සඳහන් කළ ආකාරයට එම අරමුණ කුමක් වුවත් ඒ තුළ අයවැය පරාජය කිරීමට සහාය නොදීම පිළිබඳව මෛත්‍රි පාර්ශවයට චෝදනා කිරීම නිසා තවත් විශාල දේශපාලන වරදක් සිදු වේ.

එනම් දැන් රනිල් සම්බන්ධන් නව සන්ධානයක් හෙවත් ජාතික ආණ්ඩුවක් බිහිවී ඇති බව සැගවීම සහ එම ප්‍රවනතාවය අව තක්සේරු කිරීම ය. මෛත්‍රී පාර්ශවයට දොස් පැවරීම නම් වූ ව්‍යාජ ඝෝෂාව තුළ මේ භයානක දේශපාලන පෙළගැස්ම පිළිබඳ සංවාදය යටපත් වේ. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට පවා තොණ්ඩමන් මහතා සමග සන්ධානයක් ගොඩ නැංවූ බවට චෝදනා එල්ල වුවත් අමීර්තලිංගම් සමග සන්ධානගත වීමට දේශපාලන අවකාශයක් හෝ උවමනාවක් ගොඩනැගී නොතිබුණි. මුදල් පනතක් පරාජය කිරීම වළක්වා ආණ්ඩුවක් ආරක්ෂා කිරීම යනු දේශපාලන වශයෙන් සන්ධාන ගත වීමක් නොවේ නම් එම ක්‍රියාව හඳුන්වන්නේ කුමන දේශපාලන එකඟතාවයක් ලෙසද? ඒ අනුව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ පණ නල දැන් රැඳී ඇත්තේ සම්බන්ධන් මහතා නිසාය. එවැනි තත්වයක් තුළ ඉදිරි කාලය තුළ රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු කරනු ඇත්තේ කාගේ කොන්දේසි වලට අනුව ද යන්න ඉතා පැහැදිලිය.

නමුත් ඉහත සඳහන් කරන ආකාරයට පොදුජන පෙරමුණ විසින් මුව හමට තැලීම නිසා වෘකයා ට නිරුපද්‍රිතව සැරිසැරීමට හැකි වී ඇත. එම උපාය මාර්ගික වරද නිසා රනිල් වික්‍රමසිංහ මහතාට තමාගේ දේශපාලන සූත්‍රයේ අත්‍යවශ්‍ය සාධකයක් වන මෛත්‍රී සාධකය පිළිබඳව විශ්වාසය තබා දේශපාලන තේරීම් කිරීමට දැන් අවකාශ ලැබී ඇත. ඒ තුළ ඔහුට මහින්ද රාජපක්ෂ මහතාට නොමැති විකල්ප ත්‍රිත්වයක් කෙරෙහි විශ්වාසය තැබීමට හැකි වී ඇත. ඒ සෑම විකල්පයක් තුළ ම පොදු සාධක ලෙස ක්‍රියාකරන්නේ මෛත්‍රී - අනුර - සම්බන්ධන් සාධක ත්‍රිත්වයයි. ඒ තුළ ඉන් එකක් එනම් මෛත්‍රී සාධකය ගැලවීමේ වැදගත්කම ඉතා හොඳින් පැහැදිලි වේ. ඊට අමතරව ඒ සාධක ත්‍රිත්වයෙන් අනුර සාධකයට විශේෂ වැදගත්කමක් හිමි වේ. එනම් ඉහත සඳහන් කළ විකල්ප තේරීම් ත්‍රිත්වය තුළම තෝරනු ලබන ජනාධිපති අපේක්ෂකයා ජනතා විමුක්ති පෙරමුණට කැත නැතිව කරේ තබා ගෙන යා හැකි වීම ප්‍රධාන කොන්දේසිය බවට පත්වනු ඇත.

එම පිළිගැනීම්ට යටත් ව සලකා බලන විට මහින්දට නැති රනිල්ට තිබෙන විකල්ප තේරීම් ත්‍රිත්වයක් හඳුනාගත හැක. ඉන් පළමුවැන්න විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන මැතිවරණයකට යාම ය. එනම් ජනමත විචාරණයක් මගින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට විධායක නොවන ජනාධිපති තනතුර මෛත්‍රිපාල සිරි සිරිසේන මහතාට පිරිනැමීම ය. ඒ සඳහා අවශ්‍ය උපාය මාර්ගික සැලසුම් දැන්ටමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇත. ඒ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයයි. එය සම්මත කිරිම මගින් රනිල් වික්‍රමසිංහ මහතාට විධායක අගමැති ධූරය හිමි වන බවට ඔහු තුළ බලාපොරොත්තු ජනිත කළ හැක. ඊට අමතරව ඒ තුළ බෙදුම්වාදීන්ගේ මූලික අරමුණ ඉටු වන අතර සමස්ත ක්‍රියාවලියේ ගෞරවය ජනතාව විමුක්ති පෙරමුණට හිමි වේ. එම ගෞරවය සහ ඒ සමග ලැබෙන සම්පත් යොදවා පාර්ලිමේන්තු මැතිවරණයේදී වැඩි කේවල් කිරීමේ බලයක් ලබා ගත හැකි බවට ජනතා විමුක්ති පෙරමුණට බලාපොරොත්තු තබා ගැනීමේ හැකියාව ලැබේ.

ඒ අනුව එම සමීකරණය  තුළ මෛත්‍රී - රනිල් - අනුර - සම්බන්ධන් යන සාධක සියල්ල සතුටු කරන අතර ඊට අමතරව මහින්ද රාජ රාජපක්ෂ මහතාද සතුටු කිරීමේ හැකියාව ඇත. ඒ විධායක අගමැති ධූරයට පත් වීමේ විභවය ඔහුටද හිමි වීම නිසාය. එසේ ම එම විකල්පය ඉන්දියාවේ කලාපීය දේශපාලන උවමනාව සමඟ ගැලපෙන බවද පෙනේ. බොහෝවිට මහින්ද රාජපක්ෂ මහතා සහ ජනතා විමුක්ති පෙරමුණ එම විකල්පයට කොටු කිරීම සඳහා ඉන්දියානු සාධකය බෙහෙවින් හේතු වන බවටද විවාදයක් නැත. විශේෂයෙන්ම බලය බෙදීම මගින් රට බෙදීමට ඉන්දියාව ඉඩ නොදෙන බවට ඉන්දියාව විසින් ලබාදෙන සහතිකය මත ඔවුන්ගේ තීන්දු රඳා පවතින බවට තර්ක කළ හැක.

නමුත් මෙම දිනවල එම දේශපාලන පෙළගැසීමේ සත්‍යතාවය අවතක්සේරු කිරීම සහ ඒ පිළිබඳ සංවාදය යටපත් කිරීම සඳහා  විවිධ ගරිල්ලා ප්‍රහාර පිළිබඳව කට කතා පැතිර වීමක් සිදුවන බවද දක්නට ඇත. මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ජනාධිපති බලතල ඉක්මවා යටින් සජිත් ප්‍රේමදාස මහතා අගමැති බවට පත්කරන බවට වන කතාව ඒ අතරින් ප්‍රධානවේ පසුගිය ඔක්තෝබර් මාසයේ දී මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කිරීමට ජනාධිපතිවරයාට බලය ලැබෙන්නේ ජාතික ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත්වීම නිසා අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරීමක් සිදුවූ බැවිනි. දැන් එවැනි ව්‍යවස්ථාමය පදනම්ක්  නොමැති බැවින් සජිත් ප්‍රේමදාස මහතා ගරිල්ලා ක්‍රමයකට අගමැති කිරීමට හැකියාවක් නැත.

 කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතා පක්ෂ නායකත්වය නම් වූ ගෙඩිය තම ඔඩොක්කුවට වැටෙන   තෙක් සිටින්නෙකු මිසක් ඊට පොලු ගසා කඩා ගැනීමට උත්සාහ කරන අයෙකු නොවන බව දැන් රහසක් නොවෙයි. අනෙක් පැත්තෙන් ගත්විට සජිත්- රවී ගැටුම විපක්ෂය ගොනාට අන්දන නැටුමක් මිස රනිල් වික්‍රමසිංහ මහතාගේ න්‍යාය පත්‍රය හෝ ඉදිරි දේශපාලන සූත්‍රය අවුල් කරන සාධකයක් නොවන බව ඉතිහාසය විසින් ඔප්පුකොට ඇත. මීට පෙර අවස්ථා දෙකකදී එනම් රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් වූ අවස්ථාවේ දී සහ පසුගිය අයවැය ඡන්දය විමසීමේ දී රවී සාධකය ගැලවී වැටෙනු ඇතැයි බලා සිටියහ. දැන් ඔවුන් බලා සිටින්නේ සජිත්ගේ එම ගැටුම නිසා ඉදිරි මැතිවරණයේදී ආණ්ඩුව සේදී යනු ඇති බවය. එදා 2015 දී රනිල් - තිස්ස ගැටුම අවස්ථාවේදීත් ඔවුන් කල්පනා කළේ ඒ ආකාරයටය. විපක්ෂය ලණු කන තරම දෙස බලමින් රනිල් වික්‍රමසිංහ මහතා සියලු මුඛයන්ගෙන් සිනාසෙන බවට නම් සැකයක් නැත. මෙම  ඇන්ඳ වීමේ ක්‍රියාවලිය කෙතෙක් සාර්ථක ද යත් යම් එක්සත් ජාතික පක්ෂ නායකයන්  හරහා විපක්ෂයට සන්නිවේදනය කරන්නේ ඉදිරි ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා තරග කිරීමට සිතා සිටින බවය. එදා 2015 දී ගිල්ලවූ ලණුව අදත් ගිල්ල වීමට හැකි යැයි රනිල් වික්‍රමසිංහ මහතා කල්පනා කිරීම තුළින් විපක්ෂයේ තරම පැහැදිලි වේ. රනිල් වික්‍රමසිංහ මහතා සතු දේශපාලන විකල්ප දෙස බැලිය යුත්තේ විපක්ෂයේ තරමට අපේ සාපේක්ෂවය.

 ඔහු සතු දෙවන විකල් විකල්පය වන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතා නැවත වතාවක් පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමය. නමුත් යමෙකුට එය එක්වරම  පිළිගත නොහැකි තේරීමක් ලෙස පෙනී යා හැක. එසේම එවැනි තේරීමක් සඳහා දෙපාර්ෂවයටම බොහෝ පූර්ව කොන්දේසි ඉටු කර ගැනීමට සිදු වනු ඇත. එසේ වුවත් ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු තේරීමේදී රනිල් - අනුර - සම්බන්ධ සාධකය මුහුණ දෙන අර්බුදයට සාපේක්ෂව ගත්විට එම පූර්ව කොන්දේසි මහා අභියෝග ලෙස සැලකිය නොහැක. මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පැත්තෙන් විවිධ සටන් කැඳවීම හරහා තමාගේ සුදුසුකම් මහජනයාට සහ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එම කඳවුරට ඔප්පු කරමින් සිටී. මත් උවදුර මැඩලීම සහ ඊට අදාළව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ඒ අතුරින් ප්‍රධාන වේ. ඊට අමතරම ප්‍රධාන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ව්‍යවස්ථාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරණයට තරග කිරීම සහ ජයග්‍රහණයෙන් පසුව පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා විධායක නොවන ජනපති පදවිය භාර ගැනීම වැනි කොන්දේසි ඔහුට බාර ගැනීමට සිදු වනු ඇත. එසේම නිර්පාක්ෂික වීමේ කොන්දේසිය ද අනිවාර්යයෙන්ම ඊට ඇතුළත් වන බවටද සැකයක් නැත. ඒ තුල රනිල් වික්‍රමසිංහ මහතාගේ විධායක අගමැති වීමේ සිහිනය යථාර්ථයක් වන බවට ඔහු විසින් විශ්වාස කිරීම තර්කානුකූල වේ. 

 නියමිත දිනට පෙර ජනාධිපතිවරණය කැඳවීම මගින් විපක්ෂය අමාරුවේ දැමීම ද එම කොන්දේසි වලට අයත් විය හැක. එහෙත් ජනාධිපතිවරණය කල් දැමීමේ උත්සාහය මඟින් ජනාධිපති වරයාගේ කේවල් කිරීමේ බලය හීන වනු ඇත.රනිල් වික්‍රමසිංහ මහතාට තම විධායක අගමැති සිහිනය සැබෑ කර ගැනීම සඳහා තේරිය හැකි ප්‍රබලතම විකල්පය වන්නේ නිර්පාක්ෂක පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමය. නමුත් මීට පෙර ඔහු විසින් ඉදිරිපත් කළ පොදු අපේක්ෂකයන් දෙදෙනාට වඩා ආකර්ෂණීය සහ සුජාතභාවය සහිත අපේක්ෂකයෝ ඔහුට සොයාග ගැනීමට සිදුවනු ඇත. එසේ වුවත් මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් එක්සත් ජාතික පක්ෂයට ලබා දුන් අත්දැකීම් නැවත විඳීමට සිදු නොවන බවට යම් සහතිකයක් ලබාදීමට ඔවුන්ට සිදුවනු ඇත. කෙසේ වෙතත් එක්සත් ජාතික පාක්ෂිකයන් යනු බලය ලබා ලබාගැනීම සඳහා නායකත්වය විසින් ඉදිරිපත් කරන හොඳම සැලසුම් භාර ගැනීමට සූදානම් මානසිකත්වයක් සහිත පිරිසකි. නිදහස් පක්ෂය හා  සසඳන විට ඔවුන් ප්‍රතිපත්ති පිළිබඳ දැඩි මතධාරීන් නොවන බව රහසක් නොවේ. බලය ලබාගැනීම සඳහා වඩාත් සුදුසු සැලසුම් ජයග්‍රහණය කරවීම සඳහා තම පාක්ෂිකයන්ගේ පෙළඹවීම් එතරම් දුෂ්කර නොවන බව කාටත් වඩා රනිල් වික්‍රමසිංහ මහතා දැන සිටින බවද රහසක් නොවේ. මෛත්‍රිපාල සිරිසේන මහතාට නැවත පොදු අපේක්ෂකයා බවට පත්වීමට ඉඩක් විවර වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ එම සුවිශේෂී ගුණය නිසාය.

 පාකිස්තානය ඊනියා නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස ඉම්රාන් ඛාන් මහතා ඉදිරිපත් කිරීමට පෙර පොදු අපේක්ෂක න්‍යාය හෙවත් සංකල්පය සාධාරණීකරණය කිරීම සඳහා විවිධ නිර්පාක්ෂික අපේක්ෂකයන්ගේ නම් ඉදිරිපත් විය. ශ්‍රී ලංකාවේදීද දැන් ඒ ආකාරයට විවිධ ව්‍යාපාරිකයන් සහ නීතිඥයන්ගේ නම් ඉදිරිපත් වන්නේ ඒ මානසික යුද උපක්‍රම අත්හදා බැලීමට බවට සැක කළ හැක. කෙසේ වෙතත් පාරිශුද්ධ පොදු අපේක්ෂකගේ ජයග්‍රහණය සැක සහිත නම් පොදු අපේක්ෂකයෙකු ලෙස ස්ථානගත කළ හැකි පාක්ෂිකයෙකු සොයා ගැනීමට ද රනිල් වික්‍රමසිංහ මහතා සමත් වී ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආගමනය නිසා සහ එක්සත් ජාතික පක්ෂය තුළ පවතින ඉහත සඳහන් කළ පොදු අපේක්ෂකත්වයට එරෙහිව පොදු අපේක්ෂක විරෝධය මතුවුණොත් රනිල් වික්‍රමසිංහ මහතාට තම පොදු අපේ අපේක්ෂකයා සුවිශේෂී ලෙස බෞතීස්ම කිරීමට සිදුවේ. කරු ජයසූරිය මැතිතුමාට විවිධ නිකායන්ට අයත් මහනායක හිමිවරුන් විසින් ගෞරව නාම තොග වශයෙන් ලබා දීමේ රහස පැහැදිලි කළ හැක්කේ එම උවමනාවට සාපේක්ෂ්වය.

නව  ව්‍යවස්ථාවක් යටතේ උප අග අගමැති තන්තුරු පිහිටුවීම මගින් රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන සමීකරණය තුළට සජිත් ප්‍රේමදාස සාධකය ඇතුළු කිරීමේ ඉඩක් ඇත. එසේම විධායක ජනාධිපති ධුරයට පත්වන ජනාධිපතිවරයාම විසින් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා ව්‍යවස්ථාවක් සම්මත කිරීමෙන් පසුව විධායක නොවන ජනාධිපති බවට දිවුරුම් දීමේ හැකියාව ඇත. එසේ නොමැතිව ජයග්‍රහකයා විසින් බෝධිසත්ව ශෛලිය අනුගමනය කරන්නේ නම් පාර්ලිමේන්තුවෙන් පත්කරන විධායක ජනාධිපතිධූරය මගින් මෛත්‍රී සාධකය එම සමීකරණයට ඇතුළු කර ගැනීමේ හැකියාව ඇත. එවැනි තත්ත්වයකදී එම බෝධි සත්වයාට නිර්පාක්ෂික කථානායක ධුරය පිරිනැමිමේ හැකියාවද ඇත. ඊට අදාළ ව්‍යවස්ථාමය ප්‍රතිපාදන සාධාරණීකරණය කිරීමට බොහෝ පිරිස් ඉදිරිපත් වනු ඇත. ගෙරකා දඩමස් කිරීමට මෙන්ම දඩමස් කොරකා කිරීමටද සමත් එන්.ජී.ඕ බලඇණි  ඒ සඳහා යොදාගත හැක. එසේ වුවත්  2015 භූමිකාව ඉටු කළ පිරිස් වලටනම් තම රැකියාව අහිමි වන බවටද සැකයක් නැත.

වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර

Comments

Popular posts from this blog

‘‘අතුරුදහන්වූවන්ගේ කාර්යාල’’ පනතේ රණවිරුවන් පාවාදෙන මාරක වගන්ති 10ක්

කිරි මෙන් සුදු නැති කිරිපිටි සෙල්ලම