වෙල්ලාලයින්ගේ ‘‘ෆෙඩරල් සංහිදියාව’’ වෙනුවට සැබෑ ජාතික සංහිදියාව


ජාතිකත්ව හෙවත් ජනකොටස් අතර සංහිදියාව ජාතියක පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය මූලික සාධකයකි. ශ‍්‍රී ලංකාව තුළ ඓතිහාසික ව බහුතර සිංහල ජනතාව සහ දෙමළ ජනකොටස් අතර සංහිදියාව පලූදු වීමට මූලික වශයෙන් හේතු වන්නේ යටත් විජිත පාලකයන් විසින් රෝපණය කළ දෙමළ ජාතිවාදී බෙදුම්වාදී ව්‍යාපාරයයි. ක‍්‍රමයෙන් පොදු ජනතාව සහ රජයට එරෙහි සන්නද්ධ යුද්ධයක් බවට පත්වූ එම ප‍්‍රවණතාව දීර්ඝ ගැටුමකින් පසු ව යුදමය වශයෙන් පරාජය කෙරුනද ජාතිවාදය සහ බෙදුම්වාදය මතවාදී ව පරාජය නො වී ය. බෙදුම්වාදය ප‍්‍රචලිත කරන ජාතිවාදය පරාජය කිරීමෙන් තොර ව සංහඳියාව ඇතිකරන්නේ කෙසේ ද? 
දෙමළ බෙදුම්වාදී තුවක්කු නිහ`ඩ කිරීම සඳහා අති බහුතරයක් වූ සිංහල සොල්දාදුවන්ට දස දහස් ගණනින් ජීවිත දන්දීමට සිදුවිය. ත‍්‍රස්තවාදීන්ගේ ග‍්‍රහණයට ලක් වූ ලක්‍ෂ සංඛ්‍යාත අහිංසක දෙමළ ජනතාව මුදා ගැනීම මුල් කරගෙන දියත් වූ අවසන් සටනේදී බහුතර සිංහල ජනතාව සහ විශේෂයෙන් ම යුදහමුදාව පෙන්වූ උසස් මානුෂික ගුණය සංහිඳියාව නැවත ගොඩනැගීම සඳහා ඉතා නිර්මාණශීලී ව යොදාගත හැකි ව තිබුණි. එහෙත් යුද්ධය අවසන් වූ සැණින් බෙදුම්වාදීන්ට පක්‍ෂපාත සහ ඔවුන් පෝෂණය කළ ජාත්‍යන්තර බලවේග විසින් ‘‘මානව හිමිකම්’’ නාමයෙන් බෙදුම්වාදයට නැවත පණ දීම ආරම්භ කරන ලදී. ඒ තුළ සැබෑ සංහිඳියාව ජනතාවගෙන් වඩා දුරස් විය. සංහිඳියාව බෙදුම්වාදයට ආවරණය සපයන ලේබලයක් බවට පත්විය. 

සැබෑ සංහිදියාව සඳහා අත්පුඩි ගැසීමට මෙන් අත් දෙකක් අවශ්‍ය වේ. එක් අතකින් අත්පුඩි ගැසීමට නො හැකි ය. දෙමළ ජනතාවට පමණක් විශේෂයෙන් සලකා විසඳුම් ඉදිරිපත් කිරීමෙන් හෝ සිංහල ජනතාවට වෙනත් ආකාරයකට සලකමින් සංහිඳියාව ඇති කළ නො හැකිය. සංහිඳියාව මූලික වශයෙන් සිතෙහි හටගන්නා දෙයක් මිස, භෞතික ව බාහිරින් ලබාදිය හැක්කක් නො වේ. බහුතර සිංහල ජනතාව අතර සැක සංකාව සහ  අසතුට ඇති වන ආකාරයට දෙමළ ජනතාව සතුටු කිරීමට උත්සහ කිරීමෙන් සංහිඳියාව ඇති කළ නොහැක. එහි අනෙක් පැත්ත ද ඒ ආකාරයට ම වලංගුවේ. එමෙන් ම දෙමළ බෙදුම්වාදී බලවේගවලට කප්පම් ලබාදීම මගින් බහුතරයක් දෙමළ ජනතාවට සහන ලැබෙනවා යැයි උපකල්පනය කිරීම ද බලවත් වරදකි. අප කවුරුත් ඒ පරම සත්‍යය තේරුම් ගත යුතු ය. 

ඒ නිසා ජාතියක ජාතිකත්ව අතර සංහිඳියාව ඇති කිරීමට නම් සියලූ ජන  කොටස්වලට සමාන ව සැලකිය යුතු ය. සංහිදියාව උපදින්නේ සමානාත්මතාවය තළිිනි. සංහිඳියාවේ නාමයෙන් යෝජනා වන පළාත් මට්ටමින් දේශපාලනඥයන්ට බලය බෙදා දීමේ විසදුම් මගින් පොදු ජනතාව අතර සමානාත්මතාව තහවුරු වන්නේ නැත. ඒ සඳහා සියලූ ජනතාවට බලය ලැබෙන සේ ඉතා කුඩා ම ඒකකය වන පුද්ගලයා වෙත බලය බෙදිය යුතු ය. උතුරේ කුල හීන ජනතාව පීඩනයට පත් කරන වෙල්ලාලයන් කිහිප දෙනෙකු අතට බන්දේසියක තබා බලය බෙදා දීමෙන් ඒ ජනතාවට සෙතක් වී නැති බව දැන් ඉතා හොඳින් ඔප්පු වී ඇත. 

අපේ රටේ උතුර සහ නැගෙනහිර පළාත්වල දක්නට ලැබෙන කුල පීඩනය නැති කිරීම සඳහා 1957 දී අංක 21 දරන පනත මගින් විශේෂ නීතියක් ද සම්මත කරනු ලැබී ය. එසේ වුවත්එම පනත මගින් වැරදි ලෙස හඳුන්වන  උතුරේ ජනතාවට එරෙහි ව කරනු ලබන අකටයුතුකම් නිවැරදි කොට සියලූ ජනයාට සමාන ව සලකන සමාජයක් බිහි කිරීමට උතුරේ නායකයින්  අසමත් වී ඇත. පසුගිය දිනවල දකුණින් උතුරට මහා සංඝරත්නය සියක් නමක් වඩම්මවා යාපනය රෝහලේ අසාධ්‍ය රෝගීන්ට ලේ දන්දීමට සිදුවූයේ් කුල මානය නිසා ලේ දන් නො දෙන පිරිස්වලට ආදර්ශයක් සැපයීම සඳහා ය. පළාත් සභා බලය ලබා ගැනීමෙන් පසුව උතතුරේ දෙමළ බෙදුම්වාදී නායකයන් විසින් එම ප‍්‍රදේශවල ජනතාවට විශේෂයෙන් ලබා දුන්නේ මොනවා ද? එසේ නැතහොත් ඉහත සඳහන් කළ නීතිය මගින් නැති කිරීමට උත්සහා කළ මිලේච්ඡු කුළ පීඩනය නිසා උතුරේ වෙසෙන බහුතරයක් දෙමළ ජනතාවට සිදුවන අසාධාරණය අවම කිරීමට ඔවුන් විශේෂයෙන් කළේ කුමක්ද?  අන්තවාදී වෙල්ලාලයින් සුළු පිරිසක් අතට ස්වයං පාලන බලය ලබා දීමෙන් එම තත්වය වෙනස් නොවන බව කුල පීඩනයෙන් පීඩාවට පත්වන උතුරේ සාමාන්‍ය ජනතාව ඉතා හොඳින් දනිති.

අප රටේ මහජනයාගේ අවධානයට ලක් නො වූ 1957 දී සම්මත කළ ‘‘සමාජ දුබලතාවයන් වැළැක්වීමේ පනත’’ ලෙස නම් කළ එම නීතිය පිළිබඳ ව උතුරේ වෙල්ලාලයන් ලැජ්ජා විය යුතුය. එම නීතිය මගින් වැළැක්වීමට උත්සාහ කළ පහත් ක‍්‍රියාවන් අතුරින් යම් දේවල් දකුණු අප‍්‍රිකාවේ වර්ණභේදවාදී පාලකයින් යටතේ හෝ සිදු වූ බවක් දැනගන්නට නැත. කුල හීනයන්ට පොදු ලිඳකින් වතුර බීමට ඉඩ නො දීම, පොදු ගමනාගමනය භාවිත කිරීමට ඉඩ නොදීම වැනි වැරදි 12ක් එම  පනත මගින් ආවරණය කෙරිණි. ඒ අනුව යටත් විජිත පාලනය අවසන් කිරීමෙන් පසු ව ගෙන එන ලද එම පනත මගින් එස්.ඩබ්.ආර්.ඞී බණ්ඩාරනායක මහතා විසින් උතුරේ කුල හීන ජනතාවට දෙවන වරට නිදහස ලබාදුන් බව පැවසීම අතිශයෝක්තියක් නො වේ. අද වන විට එම පනතේ සදහන් යම් වැරදි උතුරේ සිදු නො වන බවට වෙල්ලාලයන් වාද කරනු ඇත. එහෙත් සමස්තයක් ලෙස එම පනත අදටත් වලංගු වන බව ඔවුන්ට ප‍්‍රතික්‍ෂේප කළ නො හැකිය.

එම නීතිය මගින් වෙල්ලාලයින් බලවත් සේ ලැජ්ජාවට පත් කෙරුන ද, ඒ පිළිබඳ ව ඔවුන් කිසිදු ඝෝෂාවක් නො කර සිටීමට පරිස්සම් විය. එහෙත් 1956 දී රාජ්‍ය භාෂා පනත මගින් එතෙක් රාජ්‍ය භාෂාව වූ ඉංග‍්‍රීසිය වෙනුවට ඉන්දියාවේ මෙන් බහුතර ජනතාව කතා කරන භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කළ විට ඔවුහු මහත් ඝෝෂාවක් කළහ. එයට හේතුව සාමාන්‍ය දෙමළ ජනතාවට ඒ මගින් අසාධාරණයක් වනු ඇතැයි ඔවුන් විසින් කල්පනා කිරීම නො වේ. ඒ මගින් ඉංග‍්‍රීසි උගත් වෙල්ලාලයින් විසින් අත්පත් කරගෙන සිටි සමාජ බලය බහුතර සිංහලයන් විසින් අත්පත් කරගනු ඇතැයි ඔවුන් බියට පත් විය. 

1958 දී දෙමළ භාෂා විශේෂ විධිවිධාන පනත මගින් දෙමළ භාෂාවෙන් අධ්‍යාපනය ලැබීමට, රාජ්‍ය සේවයට ඇතුළුවීම සහ පාර්ලිමේන්තුවේදී දෙමළ භාෂාව භාවිත කිරීමට සම්පූර්ණ අයිතිය ලබා දුන්නද වෙල්ලාලයන්ට ඒ පිළිබඳ ව සතුටක් ඇති නො වී ය. එයට හේතුව, සාමාන්‍ය දෙමළ ජනතාවගේ ගැටළුව ඒ මගින් විසඳීම ය. ඔවුනට අවශ්‍යවූයේ බහුතර සිංහල ජනතාව මෙන්ම දෙමළ ජනතාවගෙන් බහුතරය සමාජ හිණිමෙ`ග් ඉහළ නැගීම වැළැක්වීම ය. එම පනත ම`ගින් දෙමළ භාෂා ප‍්‍රශ්නය 1958 දීම ඉතා සාධාරණ ලෙස විසඳා තිබියදී වෙල්ලාලයන් ව්‍යාජ ලෙස ‘‘භාෂා ප‍්‍රශ්නය’’ දිගින් දිගට ම මතු කරනු ලැබී ය. ඉන් පසු 1978 ව්‍යවස්ථාවෙන් දෙමළ සහ සිංහල, ජාතික භාෂා ලෙස පිළිගැනුණි.  ඉන් පසුව 1987 දී 13 වන සංශෝධනය මගින් දෙමළ සහ සිංහල යන භාෂා දෙක ම රාජ්‍ය භාෂා බවට පත් කෙරිණි, ඉන් පසුව වෙල්ලාලයන්ගේ බලපෑම මත භාෂා අසාධාරණය සිදු වූයේ සිංහලයාට ය. ඒ 1988 දී සම්මත කළ 16 වන සංශෝධනය ම`ගින් ඒ වන විට ශ‍්‍රී ලංකාවේ  ඕනෑම ප‍්‍රදේශයක සිංහලෙන් හෝ දෙමළෙන් පරිපාලන ගනුදෙනු කිරීමට තිබූ අයිතිය දෙමළ සහ ඉංග‍්‍රීසි භාෂාවට පමණක් සීමා කිරීම මගිනි. සිංහල භාෂාවට ඒ ආකාරයට ‘‘කුඩාම්මාගේ සැලකිළි’’ ලැබෙන්නේ පරිපාලන භාෂාව ලෙස දෙමළ භාෂාව කතා කරන ප‍්‍රදේශ වළට පමණක් එම අයිතිය සීමා කිරීම මගිනි. එහෙත් අදත් වෙල්ලාලයන් ඝෝෂා කරන්නේ ඔවුනට බරපතළ ‘‘භාෂාඅසාධාරණයක්’’ තිබෙන බවට ය. 1958 දෙමළ භාෂා විශේෂ විධිවිධාන පනත ඔවුනට යුක්තිය ඉටු කිරීම පිළබඳ ඔවුහු සෑම විට ම මුණිවත රකිති. ඒ ආකාරයට ම ඔවුහු 1957 වෙල්ලාලයන්ගේ අසාධාරණකම් වලින් බහුතර දෙමළ ජනතාව ගලවා ගැනීම සඳහා සම්මත කළ පනත පිළිබඳව ද කුහක මුනිවත රකිති.

යම් ජන කොටසක් තුළ අභ්‍යන්තරික ව සංහිදියාව ඇති කිරීමට බාධා කෙරෙන බරපතළ සංස්කෘතික ගැටුමකට හේතුකාරක වන දේශපාලන නායකයින් පිරිසකට ජනකොටස් දෙකක් අතර සංහිදියාව ඇති කිරීමට මුල්වි ය හැකි ද? ඇමෙරිකාවේ නිර්දේශය මත පිහිටුවා ඇති ඊනියා සංහිඳියා ලේකම් කාර්යාලයේ වාර්තාවෙන් නිර්දේශ ඉදිරිපත් කරන්නේ බහුතර සිංහල ජනතාවගේ හැසිරීමට අදාළ ව පමණි. ඊට අනුව ඊනියා සංහඳියාවට බාධා කෙරෙන දෙමළ නායකයින්ගේ සංස්කෘතික පසුගාමිත්වය නැතිකර ගැනීමට අවශ්‍ය නො වේ. මේ බොරුව එළිදරව් කළ හැක්කේ සත්‍ය මතු කර  ගැනීමෙන් සහ ඒ මත දේශපාලන උපායමාර්ග තේරීමෙන් පමණි. ඒ සඳහා පටු ජාතිවාදී, කුලවාදී නායකයන් අතලොස්සක් අතට බලය ලබාදීම මගින් ජනතාව අතට බලය ලැබෙන්නේ නැති බව තහවුරු කෙරෙන මතවාදය අභියෝගාත්මකව ඉදිරිපත් කළ යුතුය. එනම් ‘‘සංහිඳියාව ඇතිකළ හැක්කේ සමානාත්මතාව ය තුළින් පමණි’’ යන මතය ඉහළට එසවිය යුතුය. බෙදුම්වාදීන්ට තර්කානුකූල ව අභියෝග කළ හැක්කේ ඒ මගින් පමණි.
ඒ සඳහා දකුණේ ජනතාව භුක්ති විඳින, එහෙත් උතුරේ හෝ නැගෙනහිර ජනතාවට අහිමි වී ඇති බව කියන අයිතිවාසිකම් හා වරප‍්‍රසාද සියල්ල ලැයිස්තු ගත කරන ලෙස අප උතුරේ දේශපාලන නායකයින්ගෙන් ඉල්ලා සිටිය යුතු ය. එසේ ම ලෝකයේ වෙනත්  ඕනෑ ම රටක සුළු ජාතිකත්වයන්ට ලබාදී ඇති, එහෙත් ශ‍්‍රී ලංකාවේ එසේ ලබාදී නැති කුමන හෝ අයිතිවාසිකමක් හෝ වරප‍්‍රසාදයක් ඇත්නම් ඒවා ද එම ලයිස්තුවට එකතු කළ යුතුය. එසේ අහිමිකොට ඇතැයි කියන කිසිදු අයිතිවාසිකමක් හෝ වරප‍්‍රසාදයක් ඔවුනට ලබා දෙනවාට අකමැති එක සිංහලයෙක් හෝ බෞද්ධයෙක් සිටීනම් ඔහුගේ ප‍්‍රශ්නය විසදීම බහුතර සිංහල ජනතාවවිසින්  බාර ගත යුතුය. ඉන් පසුව ඒ බහුතරය විසින්ම ඒ අයිතිවාසිකම් සහ වරප‍්‍රසාද ලැයිස්තුවේ අඩංගු සියල්ල ‘‘සුළුතරයට’’ලබාදිය යුතු බවට රජයට බල කළ යුතු ය. ඒ අභියෝගය රජයට හෝ දෙමළ බෙදුම්වාදී දේශපාලන නායකයන්ට පමණක් නො ව, සංහිඳියාවේ නාමයෙන් ඩොලර් ඉපයීම සඳහා ජාතිවාදයට සහ බෙදුම්වාදීන්ට උඩගෙඩි දෙන පිරිස්වලට ද එල්ල විය යුතු ය. සැබෑ සංහිඳිියාව දිරිගැන්විය හැක්කේ ඒ මගිින් පමණි.

නමුත් බෙදුම්වාදී කප්පම්කරුවන් ඉල්ලන්නේ සැබෑ සංහිදියාව හෝ ජනතාවගේ සැබෑ අයිතිවාසිකම් නො වේ. ඔවුන් ඉල්ලා සිටින ව්‍යවස්ථාමය විසඳුම කුමක් ද? මහින්ද රාජපක්‍ෂ පාලනය පෙරළා දැමීමෙන් පමණක් ලබා ගත හැකි යැයි ඔවුන් විශ්වාස කළ එම විසඳුම කුමක් ද? ඔවුන්ගේ සැබෑ අරමුණ අනාගතයේදී ඒකපාර්ශ්වීය ව වෙනම රාජ්‍යයක් ප‍්‍රකාශයට පත් කිරීම සඳහා අවශ්‍ය තරමට දේශපාලන බලය බෙදා හරින ‘‘ව්‍යවස්ථාමය විසදුමක්’’ ලබා ගැනීම නො වේ ද? ඒ අරමුණ ඉටුකර ගැනීම සඳහා ඔවුනට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේ නැත. එසේ ම ‘ඒකීය’ වචනය ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය වන්නේ නැත. ව්‍යවස්ථාවේ බුද්ධාගමට හිමි තැන අහිමි කිරීමට අවශ්‍ය වන්නේ ද නැත. 

ඒකීය වචනය ව්‍යවස්ථාවේ එසේ ම තිබියදී 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ම බලාත්මක කිරීම මගින් රටේ ඒකීය භාවය නැති කළ හැකිය. එනම්, ෆෙඩරල් ලේබලය නොමැති ව ෆෙඩරල් රාජ්‍යක් බිහිකළ හැකිය. ඒ බව මෑතකදී ලබාදුන් නඩු තීන්දුවකින් ද තහවුරුකොට ඇත. ඒ සඳහා අවශ්‍ය වන්නේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ම ක‍්‍රියාත්මක කිරීමට එරෙහිි ව පවතින බාධක ඉවත්කර ගැනීම සහ හැකිනම් ව්‍යවස්ථා අධිකරණය සහ දෙවන මන්ත‍්‍රණ සභාව මගින් එය තවදුරටත් ශක්තිමත් කරගැනීම පමණි.ඒ නිසා 13 වැනි සංශෝධනයෙන් ලබාදුන් බලතලවලින් දශමයක්වත් එහාට යන බලතල ඉල්ලා සිටීමට ඔවුන්ට උවමනාවක් නැත. උවමනා පමණට වඩා දේ ලබා ගැනීමට උත්සාහ කිරීම අනතුරුදායක බව බෙදුම්වාදීහු ඉතා හොඳින් දනිති. පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයවත් නැති රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් උවමනාවට වැඩි දේ ඉල්ලා සිටියහොත් තුනෙන් දෙක අහිමි වී සියල්ල අහිමි වන බව ඔවුහු ඉතා හොදින් දනිති. නමුත් විද්වතුන් යැයි කියාගන්නා පිරිස් ඒ බව නො දනිති. සතුරාගේ සැලසුම් හඳුනා ගන්නට නොහැකිව ඊට පහසුකම් සලසන ක‍්‍රියාමාර්ගවල අප නියැලී සිටින්නේ ඒ නිසා නො වේ ද? අප රටේ යම් නායක මට්ටමේ භික්‍ෂූන් වහන්සේලා විසින් ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ අඩංගු වීමට නියමිත භයානක බෙදුම්වාදී ප‍්‍රතිපාදන පිළිබඳ ව වචනයක්වත් කතා නො කර බුද්ධාගමට හිමි තැන අහිමි කරනවායැයි බොරුවට ඝෝෂා කරන්නේ ඒ අනවබෝධය නිසා නො වේ ද?

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරන ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීමෙන් පසුව සැබෑ ලෙසම ජාතික සංහිදියාව ඇති කරන නව ව්‍යවස්ථාවක් සම්මත කළ යුතුය. ඒ නව ව්‍යවස්ථාවේ 13ක් නැත. ඒ නිසා භූගෝලීයව රාජ්‍යයේ විධායක බලය ප‍්‍රාදේශීය සභා මට්ටම දක්වා උපරිමයෙන් විමධ්‍යගත කිරීමට බාධාවක් නැත. එසේම ඒ නව ව්‍යවස්ථාව තුළ ජාතිකත්වය, භාෂාව හෝ ආගම මත කිසිදු පුරවැසියෙකුට අසාධාරණයක් සිදු නොවන බව සහතික කිරීම සදහා උපරිම ප‍්‍රතිපාදන ඇතුල් කිරීමේ කිසිදු බාධාවක් නැත. බෙදුම්වාදී, ජාතිවාදී, කුලවාදී  දුෂ්ඨ බලවේග සදහටම පරාජය කළ හැක්කේ එවැනි ව්‍යවස්ථාවක් මගිනි. ඒ නිසා ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික න්‍යායපත‍්‍රය ජයග‍්‍රහණය කරවීම සදහා මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන පොදු අපේක්‍ෂකයාට රට අවුලෙන් ගොඩගන්නා නව ව්‍යවස්ථාව අතින් ගෙන තරගයට ඉදිරිපත්වීමට සිදුවනු ඇත. එවිට ජනාධිපතිවරණය ව්‍යවස්ථාව අනුමත කරන ජනමත විචාරණයක් බවට පත්වනු ඇත.

වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර

Comments

Popular posts from this blog

‘‘අතුරුදහන්වූවන්ගේ කාර්යාල’’ පනතේ රණවිරුවන් පාවාදෙන මාරක වගන්ති 10ක්

කිරි මෙන් සුදු නැති කිරිපිටි සෙල්ලම