සෝමවංශයන් නැවත කියවමු


       සෝමවංශ අමරසිංහ නම් වූ සුන්දර මිනිසා, මිත‍්‍රයා පියාණන් සහ ගුරුවරයා වසර 46ක දේශපාලන ජීවිතයට හෙවත් තම අධ්‍යාත්මයට සහ භෞතික ජීවිතයට එකවිට සමුදී ඇත. ශ‍්‍රී ලංකාවේ දේශපාලඥයකුට තම අධ්‍යාත්මයට සහ භෞතික ජීවිතයට එකවිට සමුදීමට ඉඩ ලැබෙන්නේ කැස්බෑවා විය සිදුරින් අහස දකින්නා වූ තරම් කලාතුරකිනි. එයට හේතුව දේශපාලනඥයෝ අතිබහුතරය තම භෞතික ජීවිතයට සමුදීමට බෝහෝ කළකට පෙර දේශපාන අධ්‍යාත්මයට සමුදීමය. ඒ අතින් සෝමවංශයන් විජේවීරයන් සේම වාසනාවන්තයෙකි. නමුත් විජේවීරයන්ට සේම ඔහුටද ඉතිහාසය කිසිසේත්ම සාධාරණ වූයේ නැත. ඒ ඔවුන් දෙදෙනාම ඉතිහාසයට සරදම් කළ ඉතිහාසය වෙනස් කළ උඩුගං බලා පිහිනූ දැවැන්තයින් වූ බැවිනි. විජේවීයන්ට ඉතා ප‍්‍රචන්ඩ සහ කෘර මරණයක් හිමිකරදීමට තරම් ඉතිහාසය ඔහුට අකරුණාවන්ත විය. සෝමවංශයන්ට ඉතිහාසය කෙසේ වෙතත් සොබාදහම විසින් වේදනාවෙන් තොර නිහ`, සාමකාමී මරණයක් හිමිකරදීමට කරුණාවන්ත විය.

                එහෙත් ඔහු පසුගිය වසරකට ආසන්න කාලය තුළ විදින ලද දුක් කරදර, විශේෂයෙන්ම මානසික පීඩා ඊට පෙර වසර 45ක් තුළ අත්දුටු සියළු පීඩාවන්ට වඩා බරපතල විය. ජීවිත කාලයක් තම දිවි දෙවැනි කොට ගොඩනැගූ පක්‍ෂයෙන් පිටමං වීම තරම් වේදනවක් ඔහුට තවත් නොවීය. විශේෂයෙන්ම තම මෑතකාලීන දේශපාලන සගයින් විසින් එල්ලකළ ද්වේශ සහගත නින්දා අපහාස දරාගැනීම ඔහුට පහසු නොවීය. ඒ විශේෂයෙන්ම ඔහු ඊට පෙරලා ප‍්‍රතිප‍්‍රහාර දීමට කල්පනා නොකිරීම නිසාය. අනුකම්පා විරහිතව ප‍්‍රතිප‍්‍රහාර දෙන්නන්ගේ සිත් සැහැල්ලූවේ. එහෙත් මැදිහත් සිතින් ඒවා දරාගැනීමට සහ එම ප‍්‍රහාර මැද තම ප‍්‍රතිපත්ති මත නොසැලී සිටීමට උත්සාහ දරන්නා බරපතළ මානසික පීඩනයකට ගොදුරුවේ. සෝමවංශයන් වැනි දේශපාලන සදාචාරය ‘‘අකුරට රැුකීමට’’ වෙර දරන්නන්ට එය වඩාත් බරපතළ වේ.

                පසුගිය අ`ගහරුවාදා(14*දා රාත‍්‍රීයේ මා මුණගැසුනු ප‍්‍රවීන මාධ්‍යවේදී ධර්මන් වික‍්‍රමරත්න මහතා යම් පිරිස් සිරි අයියාගේ (සෝමවංශ අමරසිංහගේ* කීර්තිමත් අතීතයටද මඩ ගැසීමට උත්සාහ කරන බව පැවසීය. එම අවලාද නිශ්ප‍්‍රභා කෙරෙන යම් අතීත සිදුවීම් පිළිබඳ විස්තර ප‍්‍රමාණයක් මා වෙතින් දැනගැනීමට ඔහුට අවශ්‍ය විය. සෝමවංශයන්ගේ අන්වර්ථ නාමය සිරි අයියා විය. ඔහුගේ කිට්ටුවන්තයින් සිරි අයියා යන ගෞරව නාමයෙන් ඔහු ඇමතීමට කැමැත්තක් දැක්විය. කෙසේ වෙතත් සිරි අයියාගේ අවසරය නොමැතිව කිව හැකිදේ සහ මා ජීවත්ව සිටින තුරු කිසි දිනෙක කිසිවකුට නොකියනවා යයි තීන්දු කොට ඇති දේ හැර අනෙක් විස්තර ඔහුට ලබාදුනිමි. ඔහු ඉන් සෑහිමකට පත්විය. එම කථාබහ අවසානයේදී මා ඔහුට එක් ඉල්ලීමක් ඉදිරිපත් කරන්නට යෙදුනි. මගේම වචනයෙන් කිවහොත් ‘‘සිරි අයියාට ඉතාහාසය විසින් සාධාරණය ඉටු කළේ නැහැ. ඔහුගේ පක්‍ෂය ඔහුට සාධාරණය ඉටුකළේ නැහැ. ඔබලා වැනි ඔහු ගැන දන්නා මාධ්‍යවේදීන්වත් ඔහු මිය යන්නට පෙර ඒ යුතුකම ඉටුකළ යුතුයි’’ යනුවෙන් මම ඉල්ලා සිටියෙමි.

                පසුදින උදෑසන දුරකථනයෙන් මා ඇමතූ  ධර්මන් ‘‘ඔබකිවු යුතුකම මට දැන් ඉටුකරන්න ලැබෙන්නේ නැහැ සිරි අයියා දැන් මිය ගිහින්’’ යනුවෙන් ඒ වනවිටත් මා දැන සිටි ආරන්චිය ඔහු මට දැනුම් දුනි. සිරි අයියා වැනි මමායනය හෙවත් මමත්වය ප‍්‍රහීන කළ අයෙකු ගැන ලියන්නට මා ගැනත් කියන්නට සිදුවීම පිළිබඳව ප‍්‍රාඨකයන්ගෙන් සහ සිරි අයියාගෙන් සමාව අයදිමි. පියෙක්,මිත‍්‍රයෙක්, ගුරුවරයෙක් එකවිට මියගිය විටෙක දැනෙන මහා වේදනාවක් සිත්හි දරාගෙන මේ ලියවිල්ල ලියන්නට වෙනත් ආකෘතියක් මාගේ සිතට දැන් වැටෙන්නේ නැත. සිරි අයියා ජනතා විමුක්ති පෙරමුණ හැරයාමෙන් පසුව ගතවූ වසරක කාලය තුළ සතියකට අවම වශයෙන් දෙවතාවක් ඔහුට කථාකොට සුවදුක් විමසීමට මා අමතක කළේ නැත. එහෙත් පසුගිය සති දෙකක කාලය තුළ සිතාමතා ඔහුට කථා නොකර සිටියෙමි. ඒ පිළිබඳව මම දැන් දැඩි ඇවත්් සිතකින් පීඩා විදින්නෙමි. ඒ පිළිබඳව ඔහුගෙන් සමාව ඉල්ලීමට දැන් ඉඩක් නැතත් ඊට හේතු වූ කරුණ පාඨකයන්ට වැදගත් වනු ඇත. ජීවිත කාලයෙන් ලබාගත් අත්දැකීම් ප‍්‍රත්‍යාවලෝකණය කොට අනාගතයට ම`ග පෙන්වන ස්වයං චරිතාපදානයක් ලියන ලෙස මම ඔහුට නිතර ඇවටිලි කළෙමි. අහස කඩා වැටුණ විට අස්කරන්නට පටන් ගන්නේ කොතනින්ද? දිනෙන් දින එම කර්තව්‍ය ආරම්භ කිරීම පමාවන විට මගේ බලකිරීමද වැඩි විය. ඊට අමතරව පවතින දේශපාලන තත්වය තුළ ඔහුගේ භූමිකාව පිළිබඳවද පළකල හොද නරක දෙකටම අදාල කියාපෑම්ද ඔහුට බලවත් මානසික පීඩනයක් එල්ලකල බව මා හට වැටහුනි. ටික දිනක් කථා නොකර සිටිය යුතුයැයි මා තීරණය කළේ එබැවිනි. ඒ ටික කලට ඔහු අප සැමට සමුදෙනු ඇතැයි නොසිතුවෙමි. එහෙත් ඔහු වැඩිකල් ජීවත් නොවන බවට ඔහු තුළ වූ අවබෝධය මා වටහාගෙන සිටියෙමි.

                පසුගිය විරු සමරු උත්සවය ඉහමළින්ම පැවැත්විය යුතුයැයි ඔහු තුළ බලවත් අදහසක් තිබුණි. ඒ පිළිබඳව කථාකරන විටෙක ඔහු සිනාමුසු මුහුණින් ලබන සැරේ මම ඉදියිද යනුවෙන් මා දෙස බැලීය. අපේ ආයුෂත් අරගෙන අයියා තව අවුරුදු 10ක් ජීවිත්විය යුතුයි යනුවෙන් මම පිළි.ුරු දුනිමි. එතෙක් කල් අපට රටත් තියේවිද’’ යනුවෙන් ඔහු පෙරලා ප‍්‍රශ්න කළේය. ‘‘ඉතිහාසයේ අපට වැරදුණු සෑම විටම ඒවා නිවැරදි කරන්න අපට ඉඩ ලැබුණා. ඒත් මේ සැරේ එහෙම වෙයිද කියා මට සැකයි. මේ ඉතිහාසයේ අවසානයක්ද විය හැකියි’’ජනතා විමුක්ති පෙරමුණ නැතිව මේ සැරේ අධිරාජ්‍යවාදී මොහෙයුම ආපසු හරවන්න බැහැ’’ කිසි දිනෙක නිශේධනාත්මක දේ නොකියන සිරි අියා පසුගිය නොවැම්බර් මාසයේදී කතා කළේ එසේය.

                සිරි අයියා රෝහණ විජේවීරනම් වූ ගුරුවරයා සේම උපාය මාර්ගික විශේශඥයකු වන්නේ ඔහු සතුරාගේ සපත්තු දමාගෙන සතුරාගේ මේසයේ වැඩි වී ප‍්‍රශ්නය දෙස බැලීමට ඉගෙන ගෙන තිබූ බැවිනි. ඒ නිසා අන් සමට වඩා ඔහුට දුර දැකිය හැකි විය. එදා 2003දී ධර්මපාලතුමාගේ අධිරාජ්‍යවිරෝධි බලවේගය සහ රෝහණ විජේවීරයන්ගේ අධිරාජ්‍යවිරෝධි බලවේගය එකට එකතු කොට නොර්වේජියන් බෙදුම්වාදී මෙහෙයුම පරාජය කිරීමට අවශ්‍ය තත්වයක් නිර්මාණය කිරීමට ඔහුට හැකිවන්නේ ඒ උපාය මාර්ගික ඥානය තුලිනි.    ඔහු එම උපාය මාර්ගික මෙයෙයුම නම් කළේ රතු කොඩිය හකුලා සිංහ කොඩිය දිග හැරීම යනුවෙනි. ඔහු විසින් සිදුකළ උපාය මාර්ගික තේරීම් නොවන්නට සටන් විරාම ගිවිසුම, තාවකාලික ආණ්ඩු යෝජනාව සහ සුනාමි සහන මණ්ඩල යෝජනාව පරදවා මහින්ද රාජපක්‍ෂයන් බලයට ගෙනවිත් යුද්ධය නිමා කරන්නට අවශ්‍ය පසුබිම සකස් වන්නේ නැත. ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණ උපාය මාර්ගිකව ස්ථානගත කරන්නේ ඔහු විසිනි. ඔහුගේ උපාය මාර්ගික දැක්ම මත ක‍්‍රියාකළ ජනතා විමුක්ති පෙරමුණ රටට පමණක් නොව තම පක්‍ෂයටද ජයග‍්‍රහණ රැුසක් හිමිකර දුනි. ‘‘නෝර්වේජියන් සාම මෙහෙයුම’’ හරහා සුඩානය දෙකඩ වන විට ශ‍්‍රී ලංකාව ඒ මෙහෙයුමෙන් ගැලවෙන්නේ ඔහුගේ නායකත්වයෙන් ජ.වි.පෙ විසින් ඉටුකළ යුතුකම් කොටස නිසාය. ඒ කොටස නොතිබෙන්නට අනෙක් කොටස්වලින් අපේක්‍ෂිත සමස්ථ ප‍්‍රතිඵලය ලැබෙන්නේ නැත. ඒ නිසා අප රටේ ජනතාව සෝමවංශ අමරසිංහයන්ට සදාකල් ණය ගැති විය යුතු යයි මම නොබියව පවසමි.

                ජනතා විමුක්ති පෙරමුණේ දරුවන් තම මහ ගෙදරින් එලවා දමන්නේ එසේ තම පක්‍ෂය නමු වූ දරු පවුලට පමණක් නොව රටටද පියෙකු වූ සෝමවංශ පියාණන්ය. එවැනි වූ පියෙකුට දැනෙන වේදනාව කොපමණදැයි මැනිය හැකි ජගතෙකු මේ මිහිපිට සිටීද? සෝමවංශයන් වසරක් තිස්සේ දරා සිටියේ ඒ වේදනාව නොවේද? මොළයේ එක් නහරයක් නොව ශරීරයම පුපරා යන වේදනාවක් ඔහු තනිව දරා සිටි බව මම ඉතා හොඳින් දැන සිටියෙමි. ඒ වේදනාවේ අවසන් ප‍්‍රතිඵලය කුමක්දැයි ඔහු ඉතා හොඳින් දැන සිටි බවටද සාක්‍ෂි ඇත. ඔහුගේ කාර්යාලය සහ නිවස ලෙස ඔහු භාවිතා කළ බැද්දගානේ නිවස ආපසු බාරදීමට සිදුවීමෙන් පසුව මෝටර් සයිකලයක නැගී වැස්සේ තෙමෙමින් රාජගිරියේ තම සොයුරාගේ නිවසට ගමන් කන විට ඔහු පැවසූ දේ සිත් කම්පාකරවන සුළුය. බයිසිකලය පැදවූ තම විශ්වාසවන්ත සොයුරාට ඔහු පවසා ඇත්තේ මා මියගියහොත් මටත් රටටත් හතුරුකම් කරන අයට මගේ මිනිය විකුණන්න ඉඩ දෙන්න එපා යනුවෙනි’’ ඒ ඔහු මරණය බාර ගැනීමට සූදානම් වූ අයුරුයි.

                ඊට වසර 13කට පෙර ඔහුට ‘‘බයිපාස්’’ හෘද සැත්කමක් සිදුකළ අවස්ථාවේදී ඔහුගේ අන්තිම කැමතිපත‍්‍රය ලියුම් කවරයක බහා එය ඇලවීමෙන් තොරව මා වෙත බාරදුනි. කිසිදිනෙක එය විවෘතකර බැලීමට සිදු නොවේවා යයි පතමින් එහි තිබෙන්නේ කුමක්දැයි මම විමසා සිටියෙමි. එවිට ඔහු සිනා මුසුව පැවසුවේ කිසිවෙකුට දෙන්නට මට දේපළක් නැහැ. මේ තිබෙන්නේ දේශපාලන ඉල්ලීම් ඔබ ඊට සාක්‍ෂිකරුවකු වන්න යනුවෙනි. ඔහුට සුවය ලැබූ සැනින් මහා බරකින් සැහැල්ලූ වුවාසේ මම එම ලිපිය තිබූ පරිදිම ඔහුට බාරදුනිමි. එහි තිබුනේ කුමක්දැයි දැන සිටියේ ඔහු පමණි. එදා බෙදන්නට දෙපළ කිසිවක් නොතිබූ සෝමවංශයන්ට වසර 13කට පසුව බැංකු ගිණුමක්වත් තිබුණේ නැත. ඉහත සඳහන් කළ විරු සමරුව සඳහා ජපානයේ ජීවත් වූ ඔහුගේ තවත් සටන් සගයකු එවූ ලක්‍ෂ 2 බැරකිරීමට ඔහු සතුව බැංකු ගිණුමක් තිබුණේ නැත.

                බැංකු ගිණුමක් නැති ඒ මහා දේශපාලන නායකයා බැද්දගාන කාර්යාලයේ ජීවත් වූ කාලයේදී දහවල් ආහරයට ගත්තේ උදේ ආහාරයෙන් ඉතිරිවූ දෙයකි. මා ඔහු මුණ ගැසුණු එක් විවේකි දිනෙක අපි අපේ වසර 33ක මිත‍්‍රත්වය පිළිබඳ අතීත ආවර්ජනයෙක යෙදුනෙමු. 1983දී ජනතා විමුක්ති පෙරමුණ තහනම් කළ පසුව ඔහු සහ මම බත්තරමුල්ලේ කුලී නිවසක වාසය කළෙමු. ඔහු කොළඹ සිටින සෑම දිනකම තේ හැදීම ඔහුගේ වගකීම වූ අතර කෑම පිසීම මාගේ වගකීම විය. රසවත් කෑමක රස හදුනන ඔහු මාගේ කෑම තවදුරටත් ඉවසාසිටිය නොහැකි වූ විට කෑම පිසීමේ වගකීමද කැමැත්තෙන් භාර ගත්තේය. බැද්දගාන නිවසේදී ඔහු එදා මෙන් රසවත් තේ එකක් සාදා මට පිළිගැන්වූ නමුත් අප දෙදෙනාට ආහාරයට තිබුණේ ඔහු උදේ ආහාරයට ගෙන ඉතිරි කළ පරිප්පු සහ සම්බෝල පමණි. අතීත අවර්ජනය නිසා පමණක් නොව ඔහුගේ දුෂකර ජීවිතය පිළිබඳ මාගේ දෑසට ඉනූ කඳුළු මට සැ`ගවිය නොහැකි විය. එවිට ඔහු සිනහ මුසුව පැවසුවේ දැන් මෙහෙම තමයි යනුවෙනි. ඒ පිළිතුර තුළ බොහෝ යථාර්තයන් සැ`ගවී තිබිණි. ඔහුගේ සුපුරුදු ක‍්‍රමයට අනුව මේවා මොනවාද? මේවා ඉවසිය හැකියි. රටට සිදුවන දේ මට ඉවසිය නොහැකියි යනුවෙන් ඔහු තමාගේ දුක ස`ගවා දේශපාලන කතාවට ප‍්‍රමුඛතාවය ලබාදුනි.

                ඔහුට සහ ඔහු විසින් ගොඩනැගූ කුඩා පක්‍ෂයට පසුගිය වසරක කාලය තුළ බරපතළ ආර්ථික අමාරුකම් තිබුණා වුවත් ඒවා පිළිබඳව ඔහු කිසිවිටෙක දුක් ගැනවිලි ඉදිරිපත් කළේ නැත. ඔහු කොතරම් කුසුගිනි වුවත් තණකොළ නොබුදින සිංහයෙකි. එහෙත් මිත‍්‍ර සමාගමේදී සහ මහා සමාජයේදී අහිංසක පූස් පැටියෙකි. එසේ වුවත් දේශපාලන ප‍්‍රතිවාදියා ඉදිරියේදී කඩා පනින වලසෙකි. එසේම තහනම් කළ භූගත දේශපාලනයේදී ඔහු අදුර විනිවද දැකිය හැකි දිවියෙකි. 1983දී ජනතා විමුක්ති පෙරමුණ තහනම් කළ පසුව පක්‍ෂයේ ආරක්‍ෂක උපාය මාර්ගික සැලසුම් වලදී ඔහු ප‍්‍රභල දායකත්වයක් සැපයීය. ඔහු ඉතා සුක්‍ෂමව ආරක්‍ෂාකාරීව රටපුරා ව්‍යාප්ත වූ වැඩ කොටසක් ඉටු කළේය. ඔහුගේ සුක්‍ෂම භාවිතාව නිසා අවස්ථා දෙකකදී ඔහු සිටි නවාතැන්වලට කඩා වැදි රහසිගතව සැගවී සිටි ආරක්‍ෂක හමුදා නිලධාරීන්ගෙන් බේරීමට ඔහු සමත් විය. ආරක්‍ෂාවට අදාළ වැරදි පිළිබඳව ඔහු රෝහණ විජේවීරයන් සම`ග පවා ගැටුණු අවස්ථා තිබුණි. ආරක්‍ෂක වැරදි දුටුුවිට ඔහු තමා තේරූ වැඩ අවලංගු කිරීමට පසුබට වූයේ නැත. සමස්ථ දේශපාලන මණ්ඩලය අත්අඩංගුවට පත්වෙද්දී   ඔහු පමණක් ආරක්‍ෂා වෙන්නේ ඔහුගේ සුක්‍ෂම ඉන්ද්‍රියන්ට පිංසිදුවන්නටය.  ඔහු මහගෙදරින් එළවා දැමූ ඔහුගේ දරුවන් ඔහුට සංවිධාන හැකියාවන් නැතැයි අවලාද නගන්නේ ඔවුන් ඔහුගේ සැබෑ අතීතය නොදන්නා බැවිනි.

                රෝහණ විජේවීරයන් අත්අඩංගුවට පත් වූ පසුව ජනතාව අමතා සිදුකළ ප‍්‍රකාශය (ආරක්‍ෂක හමුදා විසින් ප‍්‍රචාරය කළ* පක්‍ෂයේ ඉතිරි වූ නායකයින් නිවැරදිව කියවා ගත්තාද යන ප‍්‍රශ්නය අද ද විසදී නැත. රෝහණ විජේවීරයන් ඉතා සුක්‍ෂමව එම ප‍්‍රකාශය මගින් සියලූ සටන් ක‍්‍රියාමාර්ග අත්හැර පසුබසින ලෙස තම සංවිධානයට උපදෙස් ලබාදුනි. එහෙත් ඒ පණිවිඩය නිවැරදිව කියවා ගත්තේ සෝමවංශ අමරසිංහ නම් වූ උපායමාර්ගික විශේෂඥයා පමණක්යැයි මම අද ද විශ්වාස කරමි. 

                ඔහු ඒ සියළු සුවිශේෂී ගුණාංග ප‍්‍රගුණ කලද සාමාන්‍ය ජීවිතයේදී පස්පවින් වැලකී සිටි සිල්වත් උපාසකයෙකි. එහෙත් ඒ උපන්ගෙයි ගුණය ඔහුගේ නායකත්ව ගුණය දියාරු කලායැයි මම සිතමි. දැඩිව සිටිය යතු තැන්වල ඔහු ප‍්‍රජාතන්ත‍්‍රවාදීව තම පහළ සාමාජිකයාට ඇහුම්කන් දීමේ ගුණය සීමාව ඉක්මවා රැුකීමට උත්සහා කළ නිසා එවැනි ගුණ නොදන්න වුන්ගේ කඩු පහරට ඔහු ලක්වීය. තදින් සිටියුයතු තැන්වල ඔහු තදින් සිටියානම් අද ඔහු මෙන්ම රටටද මෙවැනි ව්‍යසනයකට තල්ලූ වන්නේ නැත. දෙවිදත්තරලාට බෝධිසත්ව ගුණ වැටහෙන්නේ නැත. ඔහු දෙවිදතත්රලාට සමාව දුන් නමුත් ඔහහු පෙරළා ඔහුට පහර දුනි. දරුවන් විසින් පියා මහ ගෙදරින් එළවා දමනු ඇතැයි ඔහු කිසිවිටෙක සිතුවේ නැත.

                ඔහු බෝධිසත්වයකුවීමට පෙරුම්පිරූ ආකාරය මම අත්දැක ඇත්තෙමි. මා 2006දී ඔහු බැලීමට ලන්ඩන් නුවරට ගියෙමි. ඔහු, අක්කා සහ පුතා සම`ග මම දින ගණනාවක් ගත කළෙමි. 1971දී සිරගත වූ ඔහු නිදහස් වී පැමිණෙන තුරු අක්කා ඉවසීමෙන් බලාසිටි අයුරු සහ ඉන් පසුව 1989 මර්දනය හමුවේ ඇයට විදින්නට සිදුවූ දුක්ගැහට ගැන ඔහු දිර්ඝ අතිතාවර්ජනයක යෙදුනි. අක්කා යසෝදරාවක් දැයි මා විමසූ විට එහෙම වෙන්න අයියා බුදු වෙන්න  ඕන නේද යනුවෙන් විහිළු කළ අක්කාට අයියා කියා සිටියේ තව පෙරුම් පුරන්න කොච්චර තිබෙනවාද යනුවෙනි. ඉන් ටික කලකට පසු පිළිකා රෝගයෙන් බරපතළ ලෙස රෝගාතුරු වූ අක්කාගේ කැත කුණු සියල්ල අතගාමින් වසර කිහිපයක් ඇය තනිවම බලාගත්තේ ඔහු විසිනි. ඒ දුක් විදින අතරතුර සැම විටම මා වෙත ලියා එව්වේ අක්කා ඔහු වෙනුවෙන්  කළ පරිත්‍යාග වල ණය ගෙවා නිමකළ නොහැකි බවය. ඔහු ඒ ණය ගෙවා අවසන් වීමට පෙර අක්කා මිය ගියේය. ඔහු වැනි බෝධිසත්ව ගුණ ඇති අන් අයකු මා ඇසුරු කොට නැත්තෙමි.  ඔහුගේ ඒ ගුණ සුවඳ නොදත්තවුන් මොන තරම් අවාසනාවන්තයින්ද?

                ඔහු අපෙන් සමුගන්නේ ඔහු වැනි උතුම් මිනිසුන් සහ උපාය මාර්ගික ඥණය ප‍්‍රගුණ කළ දේශපාලන නායකයන් වඩවඩාත් රටට අවශ්‍ය කාලයකය. ඔහු තමාට වැරදුනු තැන් පිළිබඳව නැවත මෙනෙහි කරන්නට පසුගිය වසරක දුක් බරිතකාලය යොදාගත් බව මම දනිමි. එහෙත් ඒ දැනුම දැන් ඔහු සම`ගම වැළලී යනු ඇත. මා ඔහුට දුරකථනයෙන් කථාකල අවසන් අවස්ථාවක මා කියූ දෙයකට ඔහු දුන් පිළිතුරකින් මෙම ලිපිය අවසන් කරමි. ‘‘අපට වැරදුනු තැන් ගැන මතක් කරනවානම් හැම දවසකම උදේට පැයක් අ`ඩලා වැඩ පටන් ගන්න  ඕන. ඒත් එහෙම කලා කියලා ඒවා නිවැරදි කරන්න ඉතිහාසය අපට ඉඩ දෙනවාද?’’

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර             

Comments

Popular posts from this blog

හම්බන්තොට වරාය චීනට, කොළඹ වරාය ඉන්දියාවට, මත්තල ගුවන්තොට ඇමෙරිකාවට : ඊළඟට කුමක්ද?

දේශීය ව්‍යවසායකයා හාන්සි කළ මිල විකෘතිය

යටත් කිරීමට පෙර යටත්වීම සහ බොරු වලවල් කැපීම: